මාස 5කට මිගමුවට දැනෙන දෙයක් තාම සිද්ධ වෙලා නෑ-එම්.සකාවුල්ලා

0
348
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

මීගමුව පෝරුතොට ප්‍රදේශයේ උපන් ඔහු මොහොමඩ් සලීම් මොහොමඩ් සකවුල්ලා. දුවන කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා, වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ ඔහු දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකු විය. මෙරට පවත්වන ජාතික මට්ටමේ සහ සමස්ත ලංකා තරගවලදී පවා ඔහු ජෝසප් විදුහල නියෝජනය කරමින් ක්‍රීඩා කළේය මොහොමඩ් සකාවුල්ලා මහතාගේ මව පියා සහ එකම වැඩිමහල් සොහොයුරියද වෘත්තියෙන් ගුරුවරුන්ය. ඒ මඟ යමින්  ඔහු ද ශාරීරික අධ්‍යාපන සහ ක්‍රීඩා ගුරුවරයකු ලෙසට සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
ඉන්පසුව  හිටපු අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ මගපෙන්වීම සහ සහයෝගය මත  දේශපාලනයට පිවිසුණු අතර මීගමු මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙසට සහ පසුව නියෝජ්‍ය නගරාධිපතිවරයා බවටද පත්විය. එලෙසම ඔහු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන්ද කටයුතු කළේය.  පසුගිය කාලයේ ක්‍රියාකාරී දේශපාලනයේ යම් නිහඬතාවයක් පෙන්නු මොහොමඩ් සකවුල්ලා  මහතා මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා, මීගමු මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම් අංක 07 යටතේ තරඟ කරයි.  එම් සකාවුල්ලා මහතා සමග කරන ලද සාකච්ඡාවක් පහත පළවේ. 

saka 1

 

ඔබ ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීම හා ඒ ආශ්‍රිත විස්තර ටිකක් දැනගන්න කැමතියි ?

මම මුලින්ම දේශපාලනය ආරම්භ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ හිටපු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමා සමගයි. මුලින්ම ගම් මට්ටමේ දේශපාලනයේ නිරත වුණා. ඉන්පසුව සරත් කුමාර ගුණරත්න ඇමතිතුමා සමග මම එතුමාට ශක්තියක් වෙන්න එතුමාගේ දේශපාලන වැඩ කටයුතුවල නිරත වුණා. ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තරම් මගේත් මගේ පවුලේ අයගෙත් එතරම් ලොකු කැමැත්තක් තිබුණේ නෑ නමුත් සරත් කුමාර ගුණරත්න ඇමතිතුමාගේ උවමනාවට සහ ඉල්ලීම මත තමයි මම ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුනේ.

ඒ වගේම එතුමාගෙන් විශාල සහයක් ලැබුණා මට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම සඳහා.
ඒ අනුව 2006 වසරේ මම මුලින්ම මීගමුව මහා නගර සභාවට නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස පත්වුණා. ඊට වසර 05 කට පස්සේ ඒ කියන්නේ 2011 වසරේ මම මීගමුවේ දෙවැනි පුරවැසියා බවට පත් වුනා. ඒ කියන්නේ මම නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්වුණා. .ඉන්පසුව මම 2015 වසරේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදිහට තේරී පත්වුණා.ඉන් පසුව පළාත් සභාවේ 2019 අප්‍රේල් 21 වෙනිදා  කාලය අවසන් වුනා .එතකොට මම ඒ වෙනකම් මම ජනතාවගේ, දේශපාලන ක්‍රියාකාරිකයෙක් විදිහට  මම කටයුතු කරල තියෙනවා.

මේ රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරපු ඔබ, ඇයි ස්වාධීන කණ්ඩායමකින් මෙවර මීගමුව මහා නගර සභාවට හෙවත්  පළාත් පාලන මැතිවරණයට තරග කරන්න  තිරණය කලේ ?.

මේ රටේ- තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් ආණ්ඩු පිහිටුවලා තියෙනවා. ආණ්ඩු කරලා තිබෙනවා. ඒ වගේම ලංකාවේ තියෙන  ප්‍රධාන පක්ෂ ඇතුළු තවත් පක්ෂ ගණනාවක් මුස්ලිම් කොංග්‍රස් , හෙළ උරුමය වාගේ පක්ෂත් ආණ්ඩු පිහිටුවන්නට සහාය දක්වලා උදව් කරලා තියෙනවා. ඒ වගේ ම ඒ ආණ්ඩු වල කොටස්කරුවන් බවට පත්වෙලා තියෙනවා. දැන් ජේ.වී.පී එක ගත්තත් පෙර තිබුණු චන්ද්‍රිකා රජය පිහිටවන්න ඒ අය සහය දක්වලා තියෙනවා.
එහෙම බලපුවම මේ රටේ සියලුම පක්ෂ ආණ්ඩු පිහිටුවන්න කොටස්කාරයෝ වෙලා තියෙනවා. නමුත් මේ ලංකාවේ ජනතාවගේ මතයක් තිබුණා මේ කොයි කුමන පක්ෂයක් ආණ්ඩු කෙරුවත් විපක්ෂයේ ඉඳලා විශාල හඬක් නගන ජේ.වී.පී .එක එහෙම නැත්නම් එන්.පී.පී.එක විතරයි  තනිව ආණ්ඩුවක් කරලා නැත්තේ.එයාලා විපක්ෂයේ ඉන්න කොට මෙහෙමනම් ආණ්ඩුවක් කෙරුවනම් කොහොම කරයිද කියලා රටේ බහුතර ජනතාව තුල ලොකු විශ්වාසයක් මතයක් තිබුණාා .
දැන් ඒ පක්ෂයටත් රට බාර දීලා , මේ වෙද්දී මාස 05 ක වගේ කාලයක් ගෙවිලා ගිහින්. එහෙම ගත්තහම දැන් මේ ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ ආණ්ඩු කරලා තියෙනවා, ඒ වගේම ආණ්ඩු කරන්න කොටස්කරුවන් බවට පත්වෙලා තියෙනවා.
  • ඉතින් දැන් මේ වෙද්දි මේ ප්‍රධාන පක්ෂ පිළිබඳව ජනතාව තුළ ලොකු විශ්වාසයක් නැහැ. එතකොට ඒ ප්‍රධාන පක්ෂ පිළිබඳව විශ්වාසයක් නැති නිසා ජනතාව අද විකල්පයක් හොයනවා.අන්න ඒ විකල්පය නිසා තමයි අද අපිට ස්වාධීන කණ්ඩායමක් හරහා මේ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්නට වෙලා තියෙන්නේ. අපි මෙවර ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වෙන්න බලපාපු ප්‍රධාන හේතුව තමයි ඒක.Cardinal in poruthota
ඒ වගේම පක්ෂ දේශපාලනය තුළ නියෝජනය වීම නිසා පසුගිය කාලයේ පෞද්ගලිකව මට ඉතාම අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ජනතා නියෝජිතයෙක් විදිහට අපි හරි දේ වෙනුවෙන් පෙනි හිටින්න ඕන. නමුත් අපි ඒ ආකාරයට හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න සූදානම් වුනත්  දේශපාලන පක්ෂයක් නියෝජනය කරද්දි ,දේශපාලන පක්ෂයේ මතය වෙනුවෙන් තමයි අපිට පෙනී හිටින්න වෙන්නේ. සමහර වෙලාවට ඒ පක්ෂයේ මතයට එරෙහි වුනොත් විනයානුකූලව පියවර අරගෙන අපිව ඒ පක්ෂයෙන් නෙරපලා අර ලැබුණු මන්ත්‍රී ධූරය පවා නැතුව යන්න ඉඩ තියෙනවා.
උදාහරණයක් හැටියට ගත්තොත්  2011 වසරේ මම මුස්ලිම් ජාතිකයෙක් වුනත්  මට මේ මුළු මීගමුවේම සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් වගේම, බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම්  ආගමිකයින්  බහුතරයක් මට මනාප ලබාදෙනවා. ඒ වෙලාවේ මම මේ මුළු මීගමුවේම දෙවනියට මනාප ගන්නවා. නමුත් පක්ෂය ගන්නවා තීන්දුවක් මනාප ලයිස්තුවේ 07 වෙනියට ඉන්න කෙනාට නගරාධිපති ධුරය ලබාදෙන්න.
ඉතින් මට ඒ වෙලාවේ පක්ෂයත් එක්ක ගැටෙන්න විදිහක් නෑහැ. මම සාමාන්‍ය මට්ටමේ ජනතා නියෝජිතයෙක්. එදා  ඒ පක්ෂයේ මතයට එරෙහි වුණා නම් සමහර වෙලාවට මට නියෝජ්‍ය නගරාධිපති ධුරයත් නොලැබෙන්නත් ඉඩ තිබුණා. එහෙම වුනානම්  ජාති භේද ආගම් භේද නැතුව මට මනාප ලබාදුන් මගේ ඡන්දදායකයන්  ඇතුළු මේ මීගමුවේ සියලු ජනතාව වෙනුවෙන් මට වැඩ කරන්න තියෙන අවස්ථාව මම නැති කරගත්තා වෙනවා. එහෙම වුනානම් මම ඒ මගේ ඡන්දෙ දායකයන්ට වගේම සමස්ත මීගමු ජනතාවටම කරන ලොකු අසාධාරණයක් බවටත් පත්වෙනවා.  පක්ෂයක් ඒ වගේ තීන්දු තීරණ ගන්න හොඳ නැහැ. පක්ෂයක් සෑම විටම ජන මතයට හිස නමන්න ඕන. මට දෙන්න ඕන එක 07 වෙනියට දෙන්න උවමනාවක් නැහැ. ඒක මට මනාප දීපු ජනතාවට කරපු ලොකු අසාධාරණයක්. පක්ෂයේ මතය නිසා මම එය විඳ දරාගෙන හිටියා.
ඉතින් බොහෝ වෙලාවට පක්ෂයක් කණ්ඩායම් රැස්වීමක් කැදවලා මේ දේට හරි කියලා, මේ දේට වැරදියි කියලා සභා රැස්වීම්වලදී කියන්න කියනවා. අපිට බැහැ පක්ෂයක මතයට වහල් වෙලා  ජනතාවගේ ආත්මය පාවා දෙන්න. ජනතාවගේ ඡන්දය පාවලා දෙන්න. මෙන්න මේ හේතුව නිසා තමයි අපි මෙවර ස්වාධීන කණ්ඩායමක් හරහා ජනතාවගේ මතයට ගරු කරමින් හරි දේට හරි කියන්නත්, වැරදියට වැරදියි කියන්නත්, විවේචනය කරන්න ඕන තැන විවේචනය කරන්නත් හැකිවන විදිහට ස්වාධීනව මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කෙරුවේ.

IMG 20160518 WA0005 1024x768 1

IMG 20160518 WA0007

හැබැයි ඔබ ස්වාධීන කණ්ඩායම් ගැන ඔහොම අදහස් ප්‍රකාශ කලත්, වි⁣ශේෂයෙන්ම ස්වාධීන කණ්ඩායම් ගැන මිගමුවේ තියෙන්නේ නරකම මතයක් නේද ?

දැන් මම ඔබට, මුලිනුත් කිව්වේ,අපි පක්ෂ දේශපාලනය තුළ නිරත වෙද්දි පක්ෂයේ මතය සහ පක්ෂයේ අදහස් වලට නතු විය යුතුයි.ඒ තීන්දු තීරණ හරි වුනත් වැරදි වුණත්  පක්ෂ දේශපාලනයේ ස්වභාවය ඒකයි. ඒක තමයි ඇත්ත යථාර්ථය.නමුත් ස්වාධීන කණ්ඩායම් එක ගොඩට දාලා මේ අහවල් අයගේ ස්වාධීන කණ්ඩායමක් කියලා  කියන්න පුළුවන් කමක් නැහැ. මොකද  පොදු අරමුණු වෙනුවෙන් ගොඩනැගිච්ච ස්වාධීන කණ්ඩායම් තියෙනවා..ඒ වගේම පුද්ගලික අවශ්‍යතා පදනම් කරගෙන පටු   පෞද්ගලික දේශපාලන වාසි සඳහා ඉදිරිපත් වුණු ස්වාධීන කණ්ඩායමුත් තියෙනවා වෙන්න පුළුවන්.  එතකොට ඒ අයගේ මතයයි, ඒ අයගේ තියෙන අරමුණයි නෙමෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නෙ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ කිරීමේ අරමුණ විතරයි.ජනතාව අපිට දෙන්නා වූ වගකීම හරිහැටි ඉෂ්ට කිරීමේ වගකීම තමයි අපිට තියෙන්නේ.ඒ වගේම අපේ ස්වාධීන කණ්ඩායමේ තියෙන ස්වාධීන කියන වචනයේ නිර්වචනය නිසියාකාරව ඒ කියන්නේ කිසිම කෙනෙකුගේ වහල් භාවයකට ලක් නොවී, ස්වාදනව. හරි දෙය වෙනුවෙන් පෙනී සිටීම තමයි අපේ වගකීම සහ අරමුණ බවට පත්වෙන්නේ.
ඒක තමයි අපේ ස්වාධීන කණ්ඩායමේ වගකීම එහි නායකයා හැටියට ඒ වගකීම මම භාර ගන්නවා. ඔන්න ඔය දේ තමයි මට මගේ නායකත්වයෙන් යුත් අපෙ ස්වාධීන කණ්ඩායම ගැන කියන්න තියෙන්නේ.

ඔබ හිටපු උපනගරාධිපතිවරයෙක්. ඔබ හිතන්නේ මෙවර මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයට ඔබ ඉන්නම අවශ්‍යයි කියලද ?  ඇයි ඔබ ඒ විදිහට හිතන්නේ ?

මෙහෙමයි. 2019 පළාත් සභා විසුරුවලා හැරියට පස්සේ මම ක්‍රියාකාරී දේශපාලනයේ මම හිටියේ නැහැ. මොකද පාස්කු ප්‍රහාරය වගේ ජනවර්ග අතර ගැටුම් ඇතිවුණු සහ ඒ වගේම දේශපාලන කරළිය තුළ ඇතිවුණු වෙනස්වීම් ඒත් එක්කම දේශපාලන අරගල ඒවා හේතු කරගෙන මම විශාල කලකිරීමකට ලක්වෙලා ක්‍රියාකාරී දේශපාලනය තුළින් මම ඉවත් වෙලා හිටියේ.පාර්ලිමේන්තු මැතිවරණයේදී හෝ ජනාධිපතිවරණයේදී හෝ මම ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනේ නැහැ.

නමුත් මට හිතවත් බොහෝ පිරිස් ඒ කියන්නේ මට පක්ෂග්‍රාහී වෙන බොහෝ පිරිසක් මගෙන් ඇවිල්ල ඇහුවා මෙන්න මේ විදිහට  ජනතාවට හිතැති ජනතාවගේම ආණ්ඩුවක් බිහිවෙන්න යනවා, රට ගම නගරය ගැන ආදරේ හිතෙන එනිසා අපි මේකට ගිහින් ඡන්දේ දුන්නට කමක් නැද්ද කියලා මගෙන් ඇහුවා. අපි කවදාවත් පුද්ගලික වාසි තකා දේශපාලනය කරපු අය නෙමෙයි. මම දේශපාලනය කළේ මගේ හෘද සාක්ෂියට එකඟව. .මට මගේ පවුල් පසුබිමත් එක්ක දේශපාලනයෙන් කියල කිසි දෙයක් මට ලබා ගන්ඩ දෙයක් නෑ.එනිසා ජනතාව ඇවිල්ලා මාත් එක්ක රට ගැන ආදරෙන් කතා කරද්දි, , රට ගැන හිතලා ඔයාලට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න ඒකට මම විරුද්ධ නෑ කියලා.,මම ඒ අයට කිව්වා.මම කිසිම පක්ෂයකට ලැදි වෙලා කතා කරලා නැහැ.. අපිටත් විශ්වාසයක් ඇතිවුණා ,මේ රට හොඳ දිශාවකට යයි කියලා. ඒක නිසා ඡන්දේ දීම ප්‍රශ්නයක් නෑ කියලා අපිට හිතුනා.

නමුත් අද වෙද්දී මාස 05ක් ගෙවිලා ගිහින් ඒ ජනතාව මට කතා කරලා කියනවා මන්ත්‍රීතුමා අද වෙද්දි අපට අපේ ප්‍රශ්නයක් ගැන කියන්න අපේ ජනතා නියෝජිතයෙක් නැහැ කියලා.අපි තනතුරු තානාන්තර අරගෙන ගිහිල්ලා ජනතාවට වැඩ කළ යුතුයි.ඒක ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන්, පළාත් සභාව වෙන්න පුළුවන් ,එහෙම නැත්නම් පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්.

ඉතින් එහෙම තියෙද්දි මැතිවරණයක් ආපු වෙලාවක ජනතාව ඉල්ලීමක් කළොත් ,ඒ මැතිවරණයට ඉදිරිපත් වෙලා,ජනතාව වෙනුවෙන් සේවය කිරීම තමයි මගේ අරමුණ වෙන්නේ.ගියපාර පැවතිච්ච මහ මැතිවරණයෙන් මීගමු ප්‍රදේශයේ ජනතාව 54000 කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාදීලා මේ මීගමුව ආසනය  රජය ජයග්‍රහණය කෙරෙව්වා.. අද මීගමුවේ කෙනෙකුට ගිහින් එයාගේ ප්‍රශ්නයක් ගැටලුවක් කියන්න කෙනෙක් නෑහැ.ඒ කියන්නේ මන්ත්‍රීවරයෙක් නෑහැ. අද මේ මීගමුවට මන්ත්‍රී කෙනෙක් නැත්තේ මේ ජනතාව දුන්න ඡන්දේ නිසා නෙමෙයි, මීගමුවට මන්ත්‍රීවරයෙක් ලබාගන්න ,මේ ආණ්ඩුවේ නායකයෝ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට යවන්න ඒ අයව පෙළගැස්සුවේ නෑහැ.

සමහර ආසනවල මන්ත්‍රීවරු දෙන්නෙක් ඉන්නවා.සමහර මන්ත්‍රීවරුන්ව ආසන තුන හතරකට ගෙනිච්චා .ඒ සම්බන්ධීකරණය කරලා ආණ්ඩුවේ ප්‍රබලයෝ සහ නායකයෝ මීගමුවට පිට වෙනත් අයව දිනවන්න ආසනයෙන් පිට දිස්ත්‍රික්කය පුරාම රැගෙන ගිහිල්ලා මනාප අරන් දුන්නා නමුත් මීගමුවේ  අපේක්ෂකයන්ව මීගමුවට විතරක් සීමා කෙරුවා.පිට ආසනවලින් ආපු අපේක්ෂකයෝ මීගමුවට ඇවිල්ලා මනාප අරන් ගියා.

මීගමුවෙන් ආණ්ඩු පක්ෂයට ඡන්ද 54000 වගේ ප්‍රමාණයක් එද්දී මීගමුවට එක  මන්ත්‍රීවරයෙක්වත්  නෑ. එනිසා අද වෙද්දි මීගමුවෙි ජනතාවට  දුකක් කියන්න තැනක් නෑහැ.අද මන්ත්‍රීවරයෙක් ගාවට ගියහම කියනවා අපි නීතියට අතගහන්නේ නෑ කියලා. නීතියට අත නොගැහුවට කමක් නෑ ,හැබැයි නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම්. හරි නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් හරි  ජනතාව දුක කියන්න යන්නේ මහජන නියෝජතයන් ගාවට.මහජන නියෝජිතයා නීතියට අත නොගැහුවට කමක් නෑ ,හැබැයි ජනතාවට අසාධාරණයක් වෙද්දි අපි ජනතාව වෙනුවෙන් ඒ මහජන නියෝජිතයෝ  ඉන්න ඕනා.නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙනවා නම් ,මහජන නියෝජිතයෝ අවශ්‍ය නැහැ.

නීතියට පිටින් ගිහිල්ලා ජනතාවට උදව් කිරීම මහජන නියෝජියාගේ කාර්්‍යභාරය නෙවෙයි .නීතිය හරියට ක්‍රියාත්මක නොවෙනකොට රජයේ නිලධාරීන්  ඒ නීතිය එයාලගේ අතට අරගෙන එයාලට ඕන විදිහට වැරදි තීන්දු තීරණ ක්‍රියාත්මක කරනවා.  එතකොට ජනතාව අසරණභාවයට පත්වෙනවා.එයාලට යන්න එන්න තැනක් නෑ. අද මීගමුවට වෙලා තියෙන්නේ ඒකයි . ඒ නිසා මම විශ්වාස කරනවා මෙවර මම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස ජනතාවට සිදුවන අසාධාරණයන් වලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරන්න මම එතැන සිටිය යුතුයි කියලා.

 

දැන් අද වෙද්දි මීගමුව සෑම ක්ෂේත්‍රයකින්ම පාහේ යම් පසුබෑමකට ලක්වෙලා තියෙනවා

ඒවගේම කාලෝචිතව සිදුවිය යුතු සංවර්ධන වැඩ කටයුතු සිදුවන්නේම නැති තත්ත්වයට පත්වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් මීගමුව යළි අලුතෙන්ම ගොඩනඟන තත්ත්වයට අද වනවිට පත්වෙලා තියෙනවා ඒ අතින් ගත්තොත් මිගමුව ගොඩනගන සැලැස්මක් ඔබ කණ්ඩායමට තියෙනවද?

මීගමුව කියන්නේ මේ රටේ ප්‍රධාන පෙළේ ආර්ථික මරමස්ථානයක්, එහෙම නැත්නම් රටේම ප්‍රධාන වෙළඳ නගරයක්. ඉතින් මීගමුව සංවර්ධනය කරන්න අපි වගේ ස්වාධීන කණ්ඩායමකට වඩා මේ ආණ්ඩුවට හොඳ සැලැස්මක් තියෙන්න ඕනේ,කියලයි අපි විශ්වාස කරන්නේ.  මොකද අපි ස්වාධීන කණ්ඩායමක් විදිහට නගර සභාවට තේරී පත්වෙලා ගිහිල්ලා , මීගමු නගරයේ සංවර්ධනය කරලා, සුරපුරයක් කරනවා කියලා බොරු කියලා ජනතාවගේ ඡන්දේ ගන්න අපිට කිසිම උවමනාවක් නෑහැ.
දැනට  මාස 05 කට උඩදී මීගමුවේ ජනතාව ඡන්දය දුන්නේ මහ මැතිවරණයේදී නොයෙකුත් ලොකු බලාපොරොත්තු හිතේ තියාගෙන. දැන් අද වෙද්දි මීගමුවේ සංවර්ධන කමිටුවක් තියෙනවා ,ඒක නියෝජනය කරන්න නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් ඉන්නවා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් ප්‍රාදේශීය ලේකම් සහ නාගරික කොමසාරිස් ඉන්නවා.එතකොට මේ රැස්වීම තියෙන දවස්වලට උදේම ඇවිත් ෆයිල් අරගෙන ඇවිල්ලා, ඒවා අත්සන් කරලා යනවා පමණයි වෙන්නේ. එදා දවසම ඔය රැස්වීමට නාස්ති වෙනවා.
එදා දවසෙ මහජන රාජකාරි වලින් ඉවත් වෙලා තමයි ඔය රැස්වීමට ඔය රජය නිලධාරින් සියලුම දෙනා පැමිණෙන්නේ.
ඒ අය  ඔතනට ඇවිත් නිකන් වාඩිවෙලා හිටියත් ඒ අයට වැටුප් දිය යුතුයි. එදා දවසේ වෙනත් මහජන සේවාවක් ඉටුවෙන්නෙ නැති තරම්. ඒක විශාල පාඩුවක් ජනතාවට. එතකොට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් සහ රජයේ උසස් ශ්‍රේණිවල ඉන්න පරිපාලන නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එකතු කරගෙන ඔය කරන සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් දැන් මාස 05 ක් වගේ කාලයක් තිස්සේ  මේ මීගමුවට වෙනුවෙන් ගත්තු තීන්දු තීරණ මොනවාද  කියලා කවුරුත් දන්නේ නෑහැ.
මොකද රජයේ නිලධාරීන් සහ  අමාත්‍යවරුන් එකට එකතු වෙලා රැස්වීම් තියල සාකච්ඡා කරලා  තීන්දු තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එක විශාල අපරාධයක්. අද වෙද්දී ගමක පාරක් ,බෝක්කුවක් පාලමක් හදලා තියෙනවද,  මොනවා හෝ මීගමුවේ යම් සංවර්ධන ක්‍රියාවක්  අඩුම තරමින් කානුවක්වත් හදලා තියෙනවද. මීගමුවේ මේ කිසිම දෙයක් ජනතාවට පේන්න අද සිදුවෙලා නැහැ.දැන් නියෝජ්‍ය අමාත්‍යවරු   දෙන්නෙක් හිටියට අඩුම තරමින් මේ දෙන්නා මීගමුවේ හතර කොනවත් දන්නේ නැති දෙන්නෙක් තමයි මේ ඉන්නේ. රාජ්‍ය නිලධාරීන්ට දොස් කියලා වැඩක් නැහැ මෙතන මොකද එයාලා කාලෙන් කාලයට වෙනස් වෙනවා. මාරුවීම් හම්බෙනවා අලුත් අය එනවා  එයාලා මීගමුව සම්බන්ධව හැම දෙයක්ම දන්නේ නැහැ.අනික් දෙය තමයි මීගමුවේ සංවර්ධනය කරන්න නම් මීගමුවේ ඉතිහාසය හරි හැටි දන්න කියන කෙනෙක් ඉන්න ඕන. එහෙම කෙනෙක්වත් මේ සම්බන්ධීකරන කම්ටුවේ නැහැ. මහජන නියෝජිතයා මීගමුව ගැන නිවැරදිව අධ්‍යයනය කරලා මේ වගේ කමිටු රැස්වීම් වලට ඇවිල්ලා එතනදි ගන්න තීන්දු තීරණ මීගමුවට යහපතක් වෙයි කියලා මම නම් හිතන්නෙ නෑහැ.
අඩුම තරමින් රාජ්‍ය නිලධාරීන් පවා මීගමු ගැන හරි හැටි දැනුවත් වෙලා ඇවිත් මේ රැස්වීමේ තීන්දු තීරණ ගන්නවනම් ඒක ඊට වඩා යහපතක් වෙනවා ඒක මේ මීගමුවට. ඒ නිසා ධීවර කර්මාන්තය ගත්තත් කරවල කර්මාන්තය ගත්තත් සංචාරක කර්මාන්තය ගත්තත්,වෙනත් වෙළඳ ව්‍යාපාර පැත්තෙන් ගත්තත්  මීගමු නගරයේ සහ මීගමු ප්‍රදේශය  ගත්තත් මීගමුව සංවර්ධනය කරන්න නම් රජය අනිවාර්යෙන් අත දිය යුතුයි.
අනිත් එක තමයි පළමුවෙන්ම ඒ සඳහා රජයට වැඩපිළිවෙළක් තිබිය යුතුයි.
වැඩපිළිවෙළක් හදන්න  දැනුමක් නැති පිරිසක් තමයි ඔය සම්බන්ධීකරන කමිටුවේ ඉන්නේ දැනුම කියන්නේ අධ්‍යාපනය කියන එක නෙමෙයි මම මෙතනදි අදහස්කි කරන්නේ. මීගමුව සම්බන්ධයෙන් අත්දැකීම් නැති අර මම  කලින් කිව්වා වගේ මේ ගමේ හතර කොන දන්නැති, දැනුමක් නැති පිරිසක් තමයි  මේ  සංවර්ධන කමිටුවේ ඉන්නේ. ඒවාගේම මීගමුවට පිටින් ඇවිල්ලා මීගමුවේ ජනතාවට දේශපාලනය උගන්වන්න යන එක ගැනත් මම කණගාටු වෙනවා.
ඒ වගේ තත්වෙකට මීගමුව තල්ලු වීම ගැන. ඒක නිසා ආණ්ඩුව විසින් මීගමුව සංවර්ධනය කරන්න හොඳ යහපත් චේතනාවෙන් යුතුව ගෙනෙන යෝජනාවන් ආවොත්  මීගමුවේ ඉපදිලා මීගමුවේ හැදිලා වැඩිලා මීගමුවේ දේශපාලනය කරපු අපි  යහපත් දේට හොඳයි කියන්නත්,  වැරදි  දේට වැරදියි කියන්නත්  අපිට පුළුවන්. ඒ වගේම මීගමුවට යහපත් දෙයක් ගෙනාවොත් අපි මීගමුව ගැන හොඳින් දන්න අය හැටියට කොන්දේසි විරහිතව අපේ අත් දෙකම උස්සලා අපි ඒ යෝජනවන් වලට අපේ කැමැත්ත අපි නොබියව සහයෝගය දක්වන්න  අපි ඕනම වෙලාවක සූදානම්.

අද වන විට මහත්  ආන්දෝලනයකට තුඩු දී ඇති බිච් පාර්ක් එක මිගමුව දේශපාලනයේ මර්මස්ථානයක්.
ඒත් මේ වර්තමාන ආණ්ඩුවට තවමත් බැරිවෙලා තියෙනවා  ඒක ජනතා අයිතියට පවරගන්න. ඇත්තටම මෙහෙම වුණේ ඇයි ?

පසුගිය කාල වේදිකාවල මෙයාලා මොනවද කිව්වේ, වංචනිකයෝ ,ඉන්නවා කිව්වා, හොරු ඉන්නවා කිව්වා, රාජ්‍ය දේපළ වංචනිකව අල්ලන් ඉන්න අය ඉන්නවා කිව්වා. අපි බලයට ආපුහම මේවා සියල්ලක්ම නතර කරනවා කිව්වා. ඒක අහගෙන හිටපු ජනතාව අප්පුඩි ගැහුවා. ජනතාව ලොකු විශ්වාසයක් තියාගෙන හිටියා.  ඒ දේ කරයි කියලා. දැන් මට හිතෙනවා එක්කෝ ඒ කියපු දේවල් බොරු. එහෙම නැත්තම් කියාපු දේවල් ඇත්ත ,ඒක ඇත්ත නිසාම මේ අය, ඒ අයත් එක්ක ඩීල් එකක් දාගෙන ඉන්නවා. මං මේ කියන දෙකෙන් එකක් වෙන්න ඕනේ.මම දැක්කා පහුගිය කාලේ සමාජ මාධ්‍යවල දාලා තියෙනවා, මිගමුව බීච් පාර්ක් එක නැවත පවරගත්තා කියලා. සමාජ මාධ්‍යය තුළ මේ නිවුස් එක හුගාක් සැරිසරනවා මං දැක්කා. මට මතක විදිහට 1997 ඉඳලා මේ බීච් පාර්ක් එකේ ටෙන්ඩරය දෙන්නේ වැසිකිලි පද්ධතිය සහ රථ ගාල  සඳහා. මේක සුළු තක්සේරුවක් කරලා තමයි දෙන්නේ. ඒක කාලෙන් කාලෙට සියයට ගානක් එකතු කරලා එක් පුද්ගලයෙකුගේ උවමනාවට යම්කිසි පුද්ගලයෙක්ව යොදවලා ගන්න ටෙන්ඩර් එකක් මේක. ඒක කාලයක් එක්ක 2023 වෙද්දි ඒ කාලේ මම නගර සභාවේ හිටියේ නෑ.
යම්කිසි යෝජනාවක් ගෙනල්ලා ලිපි ගනුදෙනුවක් වෙලා. මේක නාගරික සංවර්ධන අධිකාරියට එහෙම නැත්නම් යු.ඩී. එකට පවරගන්ඩ කියලා යෝජනාවක් එනවා.මට මතක විදිහට 1997 ඉඳලා 2023 වෙනකම්ම මේ ටෙන්ඩරය හරහා මේකට සුළු වශයෙන් හරි ආදායමක් ලැබුවේ මීගමුව මහ නගර සභාව. ඒ ලබා ගත්තු ආදායම් පිළිබඳව අපට ප්‍රශ්න තියෙනවා. නමුත් ආදායම 2023 වෙනකන් මීගමු නගර සභාවට ලැබුණා. එහෙත් මේ මාලිමා ආණ්ඩුව එන්න ඔන්න මෙන්න කියනකොටම මේක යු.ඩී එකට   දුන්නා කියලා කියනවා.නගර සභාවටත් ආදායම නැතිවෙලා යනවා.මීගමු මහා නගර සභාවට බීච්  පාර්ක් එක සම්බන්ධව ෆයිල් එකක් තියෙනවා. එදා ඉඳලා අද දක්වාම සිදුවන දේවල් ඒ පයිල් එකේ රිපෝට් වෙනවා. එතකොට මේ බීච් පාර්ක් එක  කාට හරි පැවරුවනම්, මේ ෆයිල් එකේ ඒක තියෙන්න ඕනේ. දැන් කඩයක් බදු දුන්නත් ඒ බදු දුන්නු පුද්ගලයත් එක්ක අපි ගිවිසුම් ගතවෙනවා. එතකොට අපි අවුරුදු ගණනාවක් ආදායම් ලැබූ දෙයක් කිසිම ලියවිල්ලක් නැතුව කාටවත් පවරලා දෙන්න බෑනේ. එතකොට ඕක වෙන කාලෙ හිටියේ කොමසාරිස්තුමෙක්. හැබැයි දැන් ඉන්නේ කොමසාරිස්තුමියක්. එතකොට කූඨ ලේඛන හදලා කියන කතාවකුත් තියෙනවා. නමුත් වර්තමාන කොමසාරිස්තුමියට පුළුවන් ඒ වැරැද්දක් තියෙනවා නම්  ඒක නිවැරදි කරන්න දැන්.

ඒ මොකද  බීච් පාර්ක් අපි කාටවත් ඩොකියුමන්ට් එකකින් එහෙම නැත්නම් ගිවිසුමකින්   යු.ඩී.එකට හරි වෙනත් ආයතනයකට හරි නිසි විදිහට පවරලා දීලා නැත්නම් ඒ අයිතිය තාමත් තියෙන්නේ අපිට. දැන් වර්තමාන කොමසාරිස් තුමියට පුළුවන් එහෙම ගිවිසුමක් තියෙනවනම් ඒ ගිවිසුම අපිට ඉදිරිපත් කරන්න. මොකද මේක කොමසාරිස්තුමියගේ දේපොළක් නෙමෙයි. මේක මීගමුවේ ජනතාවට අයිති දේපළක්. අපි කියන්නේ මේ ඩොක්කිමන්ට් එක ඉදිරිපත් කරන්න එතකොට අපි පිළිගන්නවා, මේක යූ.ඩි. එකට පවරදලා දීලා තමයි තියෙන්නේ.
ඒකේ අයිතිය තියෙන්නේ යූ.ඩී. එකට තමයි  කියලා, අපි පිළිගන්නවා. එහෙම කිසිම ගිවිසුමක් නැති තාක් කල් මේකේ අයිතිය තියෙන්නේ මීගමුව මහ නගර සභාවට පමණයි. කවද හරි වර්තමාන කොමසාරිස්තුමියටත් ,මේක අහක බලාගෙන මීගමුවේ බීච් පාර්ක් එකේ ආදායම වෙනත් කෙනෙකුට ගන්ඩ ඉඩහැරිය කියන චෝදනාව කවද හරි එතුමියටත් එල්ල  වෙනවා.
ඒකටත් එතුමිය වග බලාගන්න කියලා ,එතුමියට මම මේ වෙලාවේ මතක් කර සිටිනවා.

  විශේෂයෙන්ම අද වෙද්දී මිගමුව ගැන සහ  පළාත් පාලනය ගැන අවබෝධයක් තියෙන අයද මෙදා පාර මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නේ ?

පළාත් පාලන ආයතනයක් කියන්නේ ප්‍රාදේශීය ආණ්ඩුවක්.දැන් මීගමු මහ නගර සභාව ගත්තොත් මේක විධායකයා තමයි නගරාධිපති. රටේ ජනාධිපතිවරයාට තියෙන විධායක බලතල වගේ නගරාධිපතිවරයාට තියෙනවා විධායක බලයක් ඒ ප්‍රදේශයට. ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් ඕන විදිහකට. යහපත් පැත්තටත් පුළුවන් අයහපත් පැත්තටත් පුළුවන්. අපේ ඉතිහාසය ටිකක් ගත්තහම අපේ මන්ත්‍රීවරු පහුගිය කාලේ මුදල් විසි කරලා ජනතාවට විවිධ බලාපොරොත්තු දීලා. ජනතාවගේ දුප්පත්කම නූගත්කම හොඳට අඳුනගෙන ඒ අයව කොතනින් හරි උපක්‍රමශීලීව ඡන්දය ලබා ගන්න පාවිච්චි කරලා නගර සභාවට තේරී පත්වෙනවා.පත්වුණාට පස්සේ රොබෝ කෙනෙක් වගේ අත උස්සන්ට කියද්දි අත උස්සනවා. අත පහතට දාන්න කියද්දි අත පහතට දානවා.එවැනි නගර සභාවක් තමයි පහුගිය කාලේ මීගමුවේ තිබුණේ. නගර සභාවේ ප්‍රධානියාගේ ඉඳලා පළාත් පාලන විෂය සම්බන්ධව සහ නගර සභාවට ආදායම් එන මාර්ග පිළිබඳව ද හොඳ දැනුමක් තිබිය යුතුයි. දැන් නගර සභාවට ආදායම් එන මාර්ග තමයි ,බදු මුදල් ඒ කියන්නේ පරිපනම් බදු. ඊළඟට තියෙනවා ඉඩම් ලියපුවහම ඒවායින් එන මුද්දරා ආදායම. ඊළඟට තියෙනවා මීගමුව ප්‍රදේශයේ පොලිසි වලින් එන දඩ මුදල්. ඒ වගේම නගර සභාවට තවත් විවිධ ආදායම් තියෙනවා .ඒ වගේම පළාත් සභාවෙන් නගර සභාවේ සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට  වැටුප් ගෙවන්න ප්‍රතිපූර්ණය කරනවා. ඒ වගේම තමයි පළාත් පාලන ආයතනයක් කියන්නේ අපිට අවශ්‍ය නීති රීති සම්පාදනය කරගන්න පුළුවන් හැකියාවක් තියෙන තැනක්.අපේ තියෙන භූ පිහිටීම,  ඒවගේම අපට තියෙන ජන ව්‍යුහයත් එක්ක අපිට ගැළපෙන නීති හදාගන්න පුළුවන් පළාත් පාලන ආයතනය තුළ.එවැනි දැනීමක් අද වෙද්දි කීයෙන් කී දෙනෙකුට තියෙනවද තියෙන්නේ කියන්න මම දන්නෙ නෑ. මම විශ්වාස කරනවා උගත්කමට වඩා යමක් කිව්වහම තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙන, විශේෂයෙන්ම හොඳ සහ නරක දේ මොනවාද කියන දේ තේරුම් ගන්න පුළුවන්  පුද්ගලයෝ නගර සභාව නැත්නම් ප්‍රාදේශීය දේශපාලනයට ඇතුළු වුනහාම අයහපත් සහ  අහිතකර තත්ත්වයන් ඇති වෙන්නේ නෑ.එක පැත්තකින් පළාත් පාලන ලිඛිත නීතිය,යම් දැනුමක් අවබෝධයක් තියෙන්නම ඕනේ.
පළාත් පාලන චක්‍රලේඛන,පළාත් පාලන පනත, ඒ වගේම පාර්ලිමේන්තුවේ කාලෙන් කාලෙට විවිධ අන පනත් සංශෝධනය සිදුවෙනවා. මෙන්න මේ වගේ දේවල් ගැන හොඳින් අධ්‍යනය කර යම්කිසි අවබෝධයක් තියෙන අය  පළාත් පාලන ආයතන වලට ගියා නම් ජනතාවට වඩාත් මිත්‍රශීලී සහ යහපත් පළාත්වලන ආයතනයක් බිහි කරන්න හැකියාවක් තියෙනවා.ඒ වගේම තමයි ජනතාවගේ දුක අපි හෘද සාක්ෂියට අනුව තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕනේ. නීතියට එහා ගිහිල්ලා ජනතාවට උදව් කරන්න අවශ්‍යතාවයක් නැහැ. රජය නිලධාරී නීතිය අතහැරලා පක්ෂග්‍රාහීව  කිසියම් වරදාන වරප්‍රසාද සහ අත යට ගනුදෙනු වෙනුවෙන් යම් පුද්ගලයෙකුව නොමග යවලා අපහසුතාවයට පත් කරලා  ඒ  රාජකාරිය නොකර ඉන්නවා නම් ,ඒ වෙනුවෙන් මහජන නියෝජිතයා ගිහිල්ලා ඒ පුද්ගලයා වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. ඒකට ආණ්ඩු බලය අවශ්‍ය නෑ .විපක්ෂයේ ඉඳලා හරි ඒ දේ කරන්න පුළුවන් මහජන නියෝජිතයෙකුට.

ඒ නිසා මහජන නියෝජිත‍යෝ  ඡන්දෙන් යනවා නම් ,තමුන්ට ජනතාව වෙනුවෙන් හරි  දේ වෙනුවෙන් පෙනී හිටියොත් හැමදාම තමුන්ට මහජන නියෝජිතයෙක් විදිහට මේ භූමියේ ජීවත් වෙන්න පුළුවන් ඒ වගේම ජනතාව වෙනුවෙන් අපිට කතා කරන්න පුළුවන්.ඒ වගේමයි ජනතාවත් එවැනි මහජන නියෝජිතයන්ට ආදරය කරන තත්ත්වයට පත්වෙනවා.

දැන් මේ මාලිමාවේ. එහෙම නැත්නම් මේ ජාතික ජනබලවේගේ කණ්ඩායම් නායකයා මිගමුවේ කෙනෙක් නෙමේ කියලා කසුකුසුවක් පැතිරෙනවා.,මේ දවස් වල . මේක මාලිමා පක්ෂයටත්, මිගමුවටත් බලපාන්නේ කොහොමද?
දැන් මේ මාලිමාවට එහෙම නැත්නම් ජන බලවේගයට ඡන්දය දුන් ජනතාවගේ ඒ සිතුම් පැතුම් බලාපොරොත්තු භංග වෙලා තියෙන්නේ මේ වෙද්දී. ඒ නිසා අද වෙද්දි ජනතාව මේ ගැන ලොකුවට කතාබහ කරන තත්ත්වයකට පත්වෙලා ඉන්නේ. ඒ නිසයි මම මුලිනුත් කිව්වේ මීගමුවේ කෙනෙක්ව 54000 ගණනක් ඡන්දා අරගෙනත් පාර්ලිමේන්තුවට යවාගන්න මාලිමා රජයට උවමනාවක් තිබුණෙ නෑ. අද වෙද්දී තැන තැන කතාබහ වෙනවා මටත් එහෙම අහන්න ලැබිලා තියෙනවා මීගමුවේ නොවන  ,මීගමුවේ ඡන්දේ වත් නැති ,මීගමුවෙි ස්ථිර පදිංචියක්වත් නැති ඒ වගේම මීගමුව ගැන හරිහමං විදියට දන්නේ අඳුරන්නැති කෙනෙක්ව ගෙනල්ලා මීගමුවේ නගරාධිපති අපේක්ෂකයා හැටියට ගෙනල්ලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා.
ඉතින් මෙහෙම දෙයක් මේ වර්තමාන මේ ආණ්ඩුවට අලුත් දෙයකුත් නෙමෙයි. මම මුලින්ම කිව්වා වගේ මීගමුවෙන් 54000 රජයට ඡන්දේ වැටෙනකොට, මීගමුවේන් මන්ත්‍රී කෙනෙක් නැතුව, මීගමුවට පිටින්  ඇවිල්ලා මන්ත්‍රීවරු පත්වෙනවා නම් , ඒ වගේම මීගමුවේ මන්ත්‍රී අපේක්ෂකයන්ව මීගමුවෙන් පිටට අරන් ගිහිල්ලා ප්‍රොමෝට් කරන්න මාලිමාවේ නායකයෝ උනන්දුවක් දැක්වූයේ නැහැ. ඒ කියන්නේ එයාලට වුවමනාවක් නෑ මීගමුවෙන් මන්ත්‍රීවරයෙක්ව පාර්ලිමේන්තුවේ නියෝජනයක් කරන්න.ඒ කියන්නේ ඒ පක්ෂයට උවමනාවක් නෑ මේ මීගමුවෙන්  මන්ත්‍රීවරයෙක්ව පත් කරන්න.ඉතින් මාස කීපයකට කලින් මහ මැතිවරණ වෙලාවෙදි එහෙම හැසිරිච්ච පක්ෂයක් පිටින් පුද්ගලයෙක්ව ගෙනල්ලා මීගමුවේ නගරාධිපති අපේක්ෂකයා කරනවා කියන එක ගැන පුදුමයට පත්වෙන්න ඕන කාරණයකුත් නෙමෙයි.එනිසා මේක මේ ජනතාව බුද්ධිමත්ව තීරණය කරන්න ඕනේ , මීගමුවේ අපිට දේශපාලනය උගන්වන්න පිටින් අය අවශ්‍ය නැහැ. හරි හෝ වැරදි අපේ ජනතාව හරි පැත්ත අරගෙන හරි තීන්දුව ගත්තා නම්, ඒ ඇති. මොකද මේක ඉතිහාසයේ පළමු වතාව නෙමෙයි මීගමුවට ඇවිත්  ඡන්දේ අරගෙන, ගියා ගියාම තමයි.නමුත් මීගමුවේ  කිසිම සංවර්ධන කටයුත්තකට දායක වෙන්නේ නෑ.

දැන් අපි හිතමුකෝ මේ නියෝජිතයා තේරී පත්වුණා කියලා ,ඊට පස්සේ මෙතුමාට හැමදාම මේකේ ඉන්න බෑ, මෙතුමා ඊළඟ පාර තේරී පත්වුණා හරි, ඡන්දයේ නොඉල්ලා හරි, මෙතුමා එයාගේ ගම් පළාතට යයි.එතකොට ඒකේ හොඳ නරක භුක්ති විඳින්න ඕනේ මීගමුවේ ජනතාව තමයි. එනිසා මේ තත්ත්වය ගැන අපි හරි විදිහට බුද්ධිමත්ව තීරණය කරන්න ඕන.  පක්ෂය ද  විපක්ෂයේද කියලා බලන්නැතුව මේ ගමේ ඉපදිච්ච මේ ගමේ හැදී වැඩුණු ,මීගමුව ගැන හොඳට දන්න හඳුනන කෙනෙක් මීගමුවේ ප්‍රධාන පුරවැසියා බවට එහෙම නැත්නම් නගරාධිපතිවරයා බවට පත් වෙන්න ඕනේ.එහෙම වුනොත් තමයි ,මීගමුවට ආදරය කරන්නේ. මීගමුවට ආදරය කරන්නේ මීගමුවේ කෙනෙක් පමණයි ඒ අරුණහම  පිට මිනිස්සු නෙමෙයි. එනිසා මීගමුවට ආදරේ කරන කෙනෙක්ව මේ තනතුරට පත්වුණොත් විතරයි , මීගමුවේ සංවර්ධනය වෙනුවෙන් කැප වෙන්නේ. එනිසා මේ මැතිවරණය තීරණාත්මක මැතිවරණයක් බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන.මොකද අද  උගත්තු කියලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ,කරන දේවල් අපි දකිනවා. උගත්කම උවමනයි.නමුත් උගත්කම පොතපතින් විතරක් නෙවෙයි, සමාජ දැනුම, දේශපාලන අත්දැකීම, ප්‍රායෝගික දැනුම සහ ඒ වගේම ජනතාවගේ දුක හඳුනන හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න පුළුවන් මහජන නියෝජිතයෝ පත්වුණොත් විතරයි  මිගමුවට යහපතක් වෙන්න කියන එක තමයි, මට අවසනයේ කියන්න තියෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here