හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේදි සමාව ඉල්ලයි!

0
103

දෙහිවල පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අද (මාර්තු 23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායල ධජයට අනතුරක් සිදු කරන ආකාරයේ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස නවයක් රිමාන්ඩ් භාරයේ පසු වූ මාවනැල්ල ප්‍රදේශයේ තරුණයකු වන මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහෙල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමන් සමාව අයැද සිටින බවයි.

එමෙන්ම, මෙම ක්‍රියාවලින් අදාළ තරුණයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන දෙකක වන්දියක් තමන් විසින්ම ගෙවන බවත්, එවක දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එච්.එම්.ඒ.බී. හේරත් මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව, එම මුදල් අදාළ වගඋත්තරකාර ස්ථානාධිපතිවරයා විසින් විවෘත අධිකරණයේදී තරුණයාට භාර දෙන ලදී.

නඩුව සමථයකින් අවසන් කිරීමට එකඟතාවය

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් භාරයට පත් කිරීමට එරෙහිව එම තරුණයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී මෙම ප්‍රකාශ සිදු කෙරිණි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සම්කාර තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණයට දන්වා සිටියේ, වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් මහේස්ත්‍රාත් අධිකරණයට වැරදි කරුණු වාර්තා කර තම සේවාදායකයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස නවයකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ තබා ඇති බවයි.

නීතිපතිවරයා විසින් තම සේවාදායකයාට එරෙහිව නඩු පවරන ලෙස උපදෙස් නොදීමෙන් අනතුරුව ගාල්ලේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු නිදහස් කර ඇති බවද නීතිඥවරයා පැවසීය.

කෙසේ වෙතත්, මෙම නඩුව සමථයකින් අවසන් කිරීමට හැකියාව ඇති බවට වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු දන්වා ඇති බවද නීතිඥ හිස්බුල්ලා මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

(Sri Lanka Brief)

බීබීසී සංහල සේවය ඇසුරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here