..
සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසය යනු
ජාත්‍යන්තර, ළමා පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයයි. ඒ අනුව සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී මෙරට ” ළමා පිළිකාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා පවත්වන විශේෂ පා ගමන මෙවර මීගමුව, නගරය කේන්ද්‍ර කරගනිමින්
(13 /09/2025 ) දින 
පෙරවරුවේදී පැවැත්විණි.
ඒ අනුව 13 වන දින උදෑසනදී මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලීය පරිශ්‍රයෙන් ආරම්භ කළ මෙම දැනුවත් කිරීමේ පා ගමන ට අති විශාල පිරිසක් සහභාගි වූ අතර මෙම දැනුවත් කිරීමේ පා ගමන අවසන් වූයේ මීගමුව බස් පර්යන්ත ගොඩනැගිල්ල අසලිනි.
ඉන්පසුව මීගමුව බස් පර්යන්ත ගොඩනැගිල්ලට ආසන්නයේ පිහිටි තාවකාලික බස් රැඳවුම් භූමියේදී ළමා පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ දේශන මාලාවකින් සමන්විත විද්වත් සමුළුවක් ද පැවැත්විණි. ළමා පිළිකාවන් හී සෑම අංශයක්ම පිළිබඳව සවිස්තරාත්මකව පැහැදිලි කිරීම එම දේශන මාලාව තුළින් සිදුවිය. ඒ සඳහා පිළිකා රෝග සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරු ඇතුළු විද්වතුන් පිරිසක් සහභාගී වූහ.
එලෙසම දැනට ළමා පිළිකාවන් සඳහා ප්‍රතිකාර සහ උපදෙස් ලබාදෙන මහරගම අපේක්ෂා රෝහල සඳහා විශේෂ වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදුවිය.
ළමා පිළිකා ආසාදිත පවුලක් වටා ගෙතුණු කතා පුවතක් රැගත් සහ ළමා පිළිකාවන් පිළිබඳව දෙමාපියන් මෙන්ම වැඩිහිටියන් ඇතුළු සමාජයේ වෙසෙන සියලු දෙනා වෙත ළමා පිළිකා පිළිබඳව දැනුවත් කිරීමටත් , එමෙන්ම එම රෝගී තත්ත්වයන් කලින් හඳුනා ගැනීම තුළින් ළමා පිළිකාවන් සුව කර ගත හැකි බව, කියැවෙන , එම පණිවිඩය රැගත් ,මෙරට ප්‍රථම වතාවට ළමා පිළිකාවන් පිළිබඳව නිර්මාණය වු සුවිශේෂ ගීතයක් ද මේ වනවිට නිර්මාණය කර තිබේ, එම සුවිශේෂී ගීතය, වලස්මුල්ලේ, ගරු විමලධම්ම ස්වාමීන් වහන්සේ විසින් පද රචනය කර ඇති අතර එහි තනු නිර්මාණය කර ඇත්තේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන අනුරාධ අබේසිංහයන් විසිනි.මෙම සුමියුරු ගීතය ගායනා කර ඇත්තේ විශාරද නුවන්දිකා සේනාරත්න විසිනි. එම ගීතය එළිදැක්වීමද මෙම සමුළුවේදී සිදුවිය.
උපතේ සිට වයස අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩය තුල සිටින අයෙකුට ඇතිවන පිළිකා රෝගී තත්ත්වයන් ” ළමා පිළිකා ” ලෙස හැඳින්වේ . ළමා පිළිකාවන්, වර්තමානයේදී ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව දියුණු රටවල පවා ඉතා සීග්‍ර ලෙස වර්ධනීය තත්ත්වයකට පත්ව ඇත. එවන් තත්ත්වයක් තුළ මෙරට මෙන්ම ලොව බොහෝ රටවල ඇතිවන ළමා පිළිකා අතර රුධිර පිළිකා (ලියුකේමියා), එමෙන්ම අස්ථින් ආශ්‍රිතව ඇති වන පිළිකා සහ මොළයේ ඇති වන පිළිකා තත්ත්වයන් ප්‍රධාන වශයෙන් ඇතිවන ළමා පිළිකාවන් ලෙස හඳුන්වා දිය හැක. එලෙසම වැඩිහිටියන්ට පිළිකා රෝගී තත්ත්වයන් සඳහා නිශ්චිත හේතුවක් ප්‍රකාශ කිරීමට හැකි වුවත් ළමා පිළිකා ඇතිවීමේ නිශ්චිත හේතුවක් සඳහන් කිරීමට නොහැකි අතර එය කල්තියා හඳුනා ගැනීමෙන් බොහෝ ළමුන් සංඛ්‍යාවක් එම මාරාන්තික රෝගී තත්ත්වයන්ගෙන් සුවකර ගත හැක.

ඒ අනුව මීගමු නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ මෙම දැනුවත් කිරීමේ පා ගමන සහ මෙම විද්වත් සමුළුව ඇතුළු එම වැඩසටහන පැවැත්වීමේ ප්‍රධානතම අරමුණ වී තිබුනේද, එම ළමා පිළිකා රෝග ලක්ෂණයන් පිළිබඳව සමස්ත ජනතාව හට විශේෂයෙන්ම දෙමාපියන් හට අවබෝධයක් සහ දැනුවත්භාවයක් ලබාදී , කල්තියා එම රෝග ලක්ෂණයන් හඳුනා ගැනීමෙන් පසු නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දී මෙම මාරාන්තික රෝගයෙන් මෙරට ළමා පරපුර මුදවා ගැනීමයි.
මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික් 306 ඩී 05 ළමා පිළිකා කමිටුව, ජාතික පිළිකා මර්දන වැඩසටහන, පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික් 306 ඩී 03 විසිනි.
එලෙසම මෙම දැනුවත් කිරීමේ පා ගමන සහ විද්වත් සමුළුව ඇතුළු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව සංවිධානය සහ සම්බන්ධීකරණය සිංහ සමාජයේ දිස්ත්‍රික් 306 ඩී 05 ළමා පිළිකා කමිටුවේ ප්‍රධානි, සිංහ වෛද්‍ය ඉසුරු විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. තවද ත්‍රිවිධ හමුදා නිලධාරීන්,නිලධාරිනියන්ද එමෙන්ම මීගමුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන්ද, එලෙසම වෙනත් රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන ඇතුළු ස්වේච්ඡා සංවිධාන කිහිපයකම නිලධාරීන්ගෙන් සහ නිලධාරිනියන්ගෙන් විශේෂ සහයෝගයක් මෙම දැනුවත් කිරීමේ පා ගමන ඇතුළු මෙම වැඩසටහන සඳහාම ලැබී තිබිණි.












