සිවරාම් : මරා දමා විසි වසකට පසු මතක ආවර්ජනයක්


එහෙත් පේරාදෙණිය සරසවිය තුලත්, ඉන් පිටතත් ඇවිලුණු දෙමළ ජන විරෝධය හමුවේ උපාධිය පසෙකලා ඔහු දේශපාලනය තෝරාගත්තේය. පිඩිත දෙමළ ජනයාගේ රැකවරණය හා සුබ සාධනය වෙනුවෙන් ක්‍රියා කළ වෛද්‍ය රාජසුන්දරම්ගේ ගාන්ධියම් ව්‍යාපාරයට එක්ව ක්‍රියාකළේය.
එහෙත් 1983 වන විට පැවති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් ගාන්ධියම් ව්‍යාපාරය වෙත මර්දනය දියත් කරන්නට විය. වෛද්‍ය රාජසුන්දරම් ඇතුළු මුල් පෙලේ ගාන්ධියම් නායකයන් අත්අඩංගුවට ගෙන සිරගත කෙරිණි. වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ප්‍රකට මිනිස් සංහාරයේදී වෛද්‍ය රාජසුන්දරම් ඇතුළු බොහෝ දෙනෙක් මරා දැමුනු අතර තවත් ගාන්ධියම් නායකයෝ කිහිපදෙනෙක් දිවි ගලවා ගැනීමට සමත්වූහ.
සිය සගයන් සිරමැදිරියක් තුල මරා දැමීමේ කම්පනය සිවරාම්ට, දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානයේ [PLOTE] සටන්කරුවෙකු වන්නට බල කෙරිණි. එම සංවිධානයේ දේශපාලන හා මිලිටරි අංශ දෙකින්ම කැපී පෙනන නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරන්නට සිවරාම් සමත් විය.
1987 අත්සන් තැබුණු ඉන්දු -ලංකා ගිවිසුමෙන් පසු ගොඩනැගුනු ප්‍රජාතන්තරවාදී ජනතා විමුක්ති පෙරමුණේ [DPLF] ප්‍රධාන ලේකම්වරයා වන්නේ ද සිවරාම්ය. මෙය ප්ලොට් සංවිධානයට අනුබද්ධ දේශපාලන පෙරමුණ විය. ප්ලොට් සංවිධානයේ නායක උමා මහේෂ්වරන් සමග ඇතිකරගත් මතබේද හමුවේ සිවරාම් වැඩි කලක් නොගොස්ම එම සංවිධානය අත්හැර දැමිණි.

සිවරාම්ට ඉන් පසු මාධ්‍ය වෙත නැඹුරු වීමට අවස්තාව ලැබෙන්නේ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා හරහාය. DPLF ලේකම්වරයා ලෙස රිචඩ්ව හඳුනා ගෙන සිටී සිවරාම්ට `දී අයිලන්ඩ්` පුවත් පතට නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස එක්වීමට ඒ මිතුදම ඉවහල් විණි.
යුද -දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස නම් රැඳ වූ සිවරාම් අයිලන්ඩ් පමණක් නොව සන්ඩේ ටයිම්ස්, මිඩ් වීක් මිරර්, ඩේලි මිරර්, වීරකේසරී සහ ටැමිල් ටයිම්ස් වෙත ද ලිපි සම්පාදනය කළේය.
1997 දී `ටැමිල් නෙට්` වෙබ් අඩවියේ සංස්කාරක වන ඔහු යුද්ධයෙදී දෙමළ ජනයාගේ පාර්ශවයෙන් ජාත්‍යන්තරය පිළිගත් මුලාශ්‍රයක් බවට එය ගෙනඒමට සමත්වුයේ ඉතාමත් කෙටි කලකිනි. ඒ අතර තුර 2001 දී තවත් ප්‍රකට දෙමළ මාධ්‍යවේදියෙකු වන ජේ.තිස්සනායගම් එක්ව `නෝත් ඊස්ටන් හැරල්ඩ්` පුවත් පත පළ කළේය. අනතුරුව එය මාසික සඟරාවක් බවට පත්වුයේ “නෝත් ඊස්ටන් මන්ත්ලි“ ලෙසය.
පැහැර ගෙන යාම
කලින් යොදා ගත් පරිදි 2005 අප්‍රියෙල් 28 වැනිදා සිවරාම් හා හිරු පුවත්පතේ සංස්කාරක රෝහිත භාෂණ අබේවර්ධන අතර හමුවක් යොදා ගෙන තිබිණි. එහෙත් අහඹු සිද්ධියක් නිසා එය වැළකිණි. එදින රාත්‍රියේදී සිවරාම් පැහැර ගැනිණි. සිවරාම් හා නියමිත හමුව වැළකුණු අයුරු ගැන පසුව භාෂණ විසින් මෙසේ සටහන් තබා තිබිණි.
“ඒ ඉරනම්කාරී 28 වැනිදා සිවාගේ පලමු SMS පණිවිඩය මට ලැබුනේ උදෑසන 11.00 ටය. `මම ඉන්නේ කොළඹ. උඹට විවේක නම් හවසට අපට හමුවිය හැකියි` ඔහු දන්වා තිබිණි. හවස පහට හමුවෙමුයි මම දන්නා යැවීමි. `5.30 සිට 7.00 දක්වා මට රැස්වීමක්. උඹට රෑ හතෙන් පසු වේලාවක් යොදා ගත නොහැකිද / රැස්වීම අවලංගු කරන්න උත්සහා කළ හැකියි. එය ස්ථිර කරන්නට බැහැ.“යි ඔහු ප්‍රතිචාර දක්වා තිබිණි.
ඒ සවස දෙකටය.`එසේ නම් සිකුරාදා හමුවෙමු දැයි මා විමසීමි. සිවා අවසාන පණිවිඩය එවන ලද්දේ ඊට පිළිතුරු වශයෙනි. ඒ සවස හතරටය. `හතෙන් පස්සේ වෙලාවක් ඇතොත් හොඳම දවස අදයි.මම උඹට පණිවිඩයක් ඒවා විවේකදැයි බලන්නම්.හෙට යොදා ගත්තොත් උඹට ආමර් විදිය පැත්තට එන්න වේවි. මම හෙට වීරකේසරී එකේ වැඩ.` ඉක්බිති මම හවස හමුවීමට එකඟතාව පළ කළෙමි.
අනතුරුව රාත්‍රී හතවන විට කාර්යාලයෙන් බැහැරට ගොස් සිවා හමුවීමට සුදානම්ව ඔහුගේ ඇමතුමක් අපේක්ෂාවෙන් සිටියෙමි. රාත්‍රී හතට දුරකථනය නාද විය. සිවාගේ මිත්‍රශීලි රළු හඬ ඇසිනි. `මචං මම බම්බලපිටිය හන්දියේ ඉන්නේ. උඹට එන්න පුළුවන් ද / හැබැයි මට දැන් කුසල් පෙරේරා හමුවුණා.උඹට එන්න බැරි නම් මම කුසල් එක්ක කතා කරලා කොටුව පැත්තට එන්නම්. ෆෝන් එක ඕෆ් කරන්න එපා. කොටුවට ඇවිත් මම කෝල් කරන්නම්.` සිවා කීය. මම එකඟ වීමි.
අනතුරුව දිගු විරාමයකි. මම රාත්‍රී 9.30 ට යළිත් සිවාට පණිවිඩයක් යැවීමි. `උඹ තවමත් බොනවාද` නමුත් පිළිතුරක් නොලැබුණි. රාත්‍රී 10.30 වන තෙක්ම පිළිතුරක් නොවුයෙන් මම පිටතට යාමේ අදහස අත්හැර දැමීමි.“
[ රෝහිත භාෂණ අබේවර්ධන/ `සුළඟ එනු පිණිස`/හිරු -සිවරාම් සමරු කළාපය /2005 ]
බම්බලපිටිය තැබෑරුමට ගොඩවූ සිවරාම් හා මාධ්‍යවේදී කුසල් පෙරේරා සමග සිටී වෘත්තීය සමිති ක්‍රියාධරයෙකු වූ රවී කුමුදේශ්, සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ප්‍රසන්ත රත්නායක මධුවිත සාමීචිය මධ්‍යම රාත්‍රීය ආසන්න වන තෙක්ම පැවතිණි. අවසන නිවෙස් බලා යාමට වීදියට පිවිසි ඔවුන්ගෙන් කුමුදේශ් හා ප්‍රසන්ත දෙදෙනා මුලින්ම සමුගත්හ.
සිවරාම්, කුසල් සමග සිටිය දී හදිසියේ ඔවුන් ඉදිරියේ නැවැත්වූ මොන්ටෙරෝ වර්ගයේ රථයකින් බැසගත් පිරිසක් සිවරාම් ව බලහත්කාරයෙන් ඒ තුළට දමා ගෙන වේගයෙන් පළා ගියේය. පැහැර ගැනීම වුයේ අගනුවර ජනාකීර්ණ විදියක, බම්බලපිටිය පොලිසිය ඉදිරිපිටය. සිදුවීමෙන් කලබලයට පත් කුසල් පෙරේරා සිය නිවෙස බලා ගිය අතර පසුව ඔහු ප්‍රකාශ කර තිබුනේ සිය ජංගම දුරකතනයේ ඇමතුම් ගැනීම විසන්ධිව තිබු බවකි.
වෙඩි තබා නිසල කළ සිවරාම් පාර්ලිමේන්තුව අසලින්
සිවරාම් පැහැරගත් සිදුවීම දැනගත් හැම කෙනෙක්ම ඔහුගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් මහත් වෙහෙසක් දරා තිබිණි. දේශපාලන වශයෙන් සිවරාම්ගේ පස මිතුරෙකු වූ එවකට “සන්ඩේ ටයිම්ස්“ පත්‍රයේ නියෝජ්‍ය සංස්කාරක රාජ්පාල් අබේනායක පවා හමුදාපති වෙත ඉල්ලීම් කළේ සිය සගයාගේ ජීවිත රැකවරණය උදෙසාය.

සියළු උත්සහයන් එළ රහිත කරමින් පසුදා එනම් අප්‍රියෙල් 29 වැනිදා උදෑසන පාර්ලිමේන්තුව පේනමානයේ පිහිටි කිඹුලා ඇළ ප්‍රදේශයෙන් වෙඩි තබා නිසල කළ සිවරාම්ගේ සිරුර හමුවිණි. පණිවිඩය ලද විගස එහි ගිය ජායාරූප මාධ්‍යවේදියෙකු මෙන්ම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාධරයෙකු වූ බුද්ධික වීරසිංහ විසින් එය හඳුනා ගැනිණි.
මහජන ගෞරවය වෙනුවෙන් රත්මලාන,පන්සල පාරේ නිවසේ තැන්පත් කර තිබු සිවරාම්ගේ නිසල දේහය, පසුව මිහිදන් කරනු ලැබුවේ ඔහුගේ උපන් බිම වූ මඩකලපුවේ, ආළ අඩිචෝලේ දී ය.
කොටුවේ ගුරු මැදුරට රැස්වූ දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ හිරු කණ්ඩායම ඇතුළු දේශපාලන පක්‍ෂ,කණ්ඩායම්,බහුජන, මාධ්‍ය හා වෘත්තීය සමිති නියෝජිතයෝ තීරණය කළේ ලෝක ජනමාධ්‍ය දිනය එළඹෙන මැයි 03 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමටය.
ඒ අනුව පළමු වරට මාධ්‍යවේදීන් විසින් සෙසු පාර්ශවයන්ගේ ද සහාය ඇතිව අගනුවර විදී හරස් කරමින් සිවරාම් ඝාතනයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් හා පෙළපාලියක් පැවැත්විණි. ඊ. තම්බයියාගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා එක්ව පී. චන්ද්‍රසේකරන්ගේ කඳුරට ජනතා පෙරමුණ විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් මැයි 22 වැනිදා වතු කම්කරු ජනයාගේ සහභාගිත්වයෙන් හැටන් නගරයේදී පැවැත්විණි.

අනතුරුව ඝාතනයට මසක් ගත වෙද්දී මැයි 28 වැනිදා පාර්ලිමේන්තු වටරවුමේ පිහිටි “අහිංසකයන්ගේ ආරාමය“ [අද ඒමත දියත උයන ඉදි කර තිබේ ] අසලින් ඇරඹි පෙළපාලිය ඇද හැලුණු ධාරාණිපාත වැසි නොසළකා සිවරාම් මරා දමා තිබුණු කිඹුලා ඇළ ප්‍රදේශය වෙත ගොස් ඉටි පහන් දල්වා අනුස්මරණය කෙරිණි.
මේ අතර සිවරාම් මරා දැමීමේ වගකීම බාර ගෙන තිබුනේ “ථේරපුත්තාභය බළකාය“ නම් කවුරුත් නොදන්නා සංවිධානයකි.
දේශීය හා ජාත්‍යන්තරව එල්ලවූ බලපෑම මත එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ ආණ්ඩුව සිවරාම් ඝාතනය ගැන පරීක්ෂණ ආරම්භ කෙරිණි.
ප්ලොට් – පීටර් සැකපිට අල්ලයි

ත්‍රිකුණාමලයේ උපන් පීටර් ප්ලොට් සංවිධානයට එක්වී ඇත්තේ 1984 වසරේදීය. ඒ සංනිවේදන ඒකකයට ය. අනතුරුව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හිදී ප්ලොට් නායක උමා මහේශ්වරම් යටතේ අවි පුහුණුව ලැබූ ඔහු යළිත් අනුබද්ධ කෙරුනේ සන්නිවේදන ඒකකය වෙතය. ඉන්දිය සාම සාධක හමුදා [IPKF] ලංකාවට පැමිණි සමයේ පීටර් වන්නියේ මුල්ලයාවලෛ, මන්නාරමේ කුන්ජිකුලම් හා චෙට්ටිකුලම් ප්ලොට් කඳවුරු වල සේවයට එක්විය.
මාලදිවයින් රාජ්‍ය අත්පත් කර ගැනීමට උත්සහා කළ, ප්ලොට් සංවිධානයේ අසාර්ථක කුමන්ත්‍රණයට එක්වූ ඔහුට සිරදඩුවම් නියම විය. අනතුරුව ලංකාවට පැමිණි පීටර් ආරෝවක් ඇති කර ගත්තේ සන්නද්ධ නායක මානික්කදාසන් සමගිනි. වවුනියාවෙන් පිටමන්ව කොළඹට පළා ආ ඔහුට මානික්කදාසන්ගේ තර්ජනයෙන් මිදීමට නොහැකි විණි. පීටර්, මානික්කදාසන් ඝාතනය වීමෙන් අනතුරුව නායකයා වූ සිද්ධාර්තන්ගේ රියදුරා වන්නේ අනතුරුවය.
අත්අඩංගුවට ගත් පීටර් ළඟ තිබී සිවරාම්ගේ 0777311380 ජංගම දුරකතනයට අයත් ඩයලොග් සිම් කාඩ්පත සොයා ගැනිණි. එය තමන්ට දුන්නේ “රාජු “ නැමැත්තෙකු බව ඔහු රහස් පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත.

සිවරාම් ගේ ජංගම දුරකථන සිම්පත හමුවුයේ සිද්ධාර්තන්ට අයත් WP HT 6276 අංක දරන ඉන්දියාවේ නිෂ්පාදිත ස්කොපියෝ වර්ගයේ රථය තුල තිබීය. පැහැර ගැනීමට යොදා ගත්බවට සැක කොට පොලිස් බාරයට ගත් එහි ලියාපදිංචිය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලිපිනය ය. එහෙත් මෙහි ඇති ගැටළු කාරිත්වය වුයේ සිවරාම් පැහැර ගන්නා රාත්‍රියේ ඇසින් දුටුවන්ගේ සාක්ෂි අනුව මිට්සුබිෂි මොන්ටෙරෝ වර්ගයට අයත්, රිදී පැහැති, WP GL 1….. වැනි අංකයක් සහිත රථයකි. එහි පිටුපස අමතර රෝදයක් ද සවිකොට ඇත. සිවරාම් හා සිද්ධාර්ථන් අතර සැලකිය යුතු සමීප බවක් මිස විරසකයක් තිබී නොමැත. කෙසේ වෙතත් මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කර, වසර ගනාවක් පුරාම පරීක්ෂණ පවතින්නේ අකර්මන්‍යවය.

“සිවරාම් කලෙක සහෝදරයෙකි. පසුව දේශපාලන සතුරෙකි. එහෙත් හැම කල්හිම මිතුරෙකි.“ මෙසේ ලියා ඇත්තේ කලක් ඔහු සමග සමගාමී දේශපාලනයක නිරතවූ දයාන් ජයතිලකය. “ ඔහු නොමැති සමාජය වඩාත් දුප්පත්ය. මට පාළුව වැඩියෙන් දැනෙන බව මම දනිමි. බුද්ධියෙන් හා පෞර්ශයෙන් ඔහුට සමානයෙක් අපට කිසි දිනෙක හමු නොවනු ඇත.“ ඔහු කියයි. [සෑම කොටියෙක්ම තාරකී කෙනෙක් නොවේ- දයාන් ජයතිලක /හිරු – සිවරාම් සමරු කළාපය/ 2005 ]
නිලාන්දන්කොටි සංවිධානයෙන් කරුණා අම්මාන් පාර්ශවය බිඳීමෙන් අනතුරුව සිවරාම් විසින් සම්පාදිත “කරුණාට විවෘත සංදේශයක්“ නම් ලිපිය දෙමළ ඊළාම් අරගල ඉතිහාසයේ මෙතෙක් ලියන ලද ඉතා වැදගත් ලිපි අතරින් එකකි. ඒ ගැන අවධාරණය කරනුයේ ඊළනාදම් පුවත් පතේ දේශපාලන විශ්ලේෂක නිලාන්දන් ය. ඔහුට අනුව කරුණාගේ බිඳීමේදී සිවරාම්ගේ දැඩි ස්ථාවරය ඔහු වන්නියට සම්බන්ධ අයෙක් බවට පත් කළේය. ඒ සමගම ඔහු කරුණාගේ ඉලක්කයක් බවට පත්වූවා විය හැකිය යනුවෙන් නිලාන්දන් අනුමාන කරයි. [ සිංහලයන් පිලිබඳ විශ්වාසය තැබු අවසාන දෙමළාගේ මරණය – නිලාන්දන් /හිරු -සිවරාම් සමරු කලාපය /2005 ]
රිචඩ් ද සොයිසා මගින් සිවරාම් හඳුනාගත් ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය නායකයෙකු ප්‍රතාප් ද සිල්වා 88-89 භීම සමයේ දිවි ගලවා ගත්තෙකි. ඒ රිචඩ් ගේ ඉල්ලීම පරිදි සිවරාම් ගේ උපකාරයෙනි. සිවරාම් ඝාතනය කණ වැකුණු ඔහු තැවුල් සිතින් මෙසේ ලියයි.
“88-89 යුගයේදී රාජ්‍ය ත්‍රස්තවාදයේ බියකරු සෙවනැලි අප ජිවිත වසාගත් අවදියේදී සිවා කිසිදු කට්ටිවාදයකින් තොරව කොළඹ පමණක් නොව නැගනහිරත් අපව සඟවා ගත්තේය.එදා අප ආරක්ෂා කරගත් සිවා අද නැත.
භීෂණ යුගයේදී ඔහු අප අතර ගොඩනැගුනු විශ්වාසය මත පදනම්ව ගොඩනැගෙන සිංහල නිර්ධන පංතික ව්‍යාපාරයක් ගැන බලාපොරොත්තුවක ජායාවක් ඔහු සිත හැමවිටම හොල්මන් කළ බව ඔහුගේ අවසාන ලිපිවලින් මට තේරුම් ගියේය.

නමුත් එදා ඇප ආරක්ෂා කරගත් ඔහු ආරක්ෂා කිරීමට අපි අසමත්වීමු. අසමත්වුවා පමණක් නොව අපේ පැරණි දේශපාලන සගයන්ට අනුව සිංහල ජනයාගේ ලොකුම් සතුරා ඔහු විය.“ [සහෝදරත්වය වෙනුවෙන් සටන් කළ අවසාන සහෘදයාගේ නික්මයාම – ප්‍රතාප් ද සිල්වා/හිරු-සිවරාම් සමරු කළාපය/ 2005 ]සිය පියාට ප්‍රණාමය පළ කිරීමෙන් පමණක් නොනැවතී යුද්ධයෙන් පිඩිත සමස්ත දෙමළ ජනයාගේම යුක්තිය වෙනුවෙන් පෙනී සිටින ලෙස ඉල්ලමින්, ඝාතනයට පහළොස් වසක් ගතවෙද්දී නව යොවුන් වියේ පසුවවන වෛශ්නවී ,වෛතකී හා ඇන්ඩෘ ඔහුගේ දරුවන් තිදෙනා විසින් JDS වෙබ් අඩවියේ ලිපියක් පළ කොට තිබිණි.
“විශේෂයෙන්ම මුල්ලිවයික්කාල් යුද්ධයේදී සංහාරය කරන ලද දහස් සංඛ්‍යාත දෙමළ ජනයා ඇතුළු යුද සමයේ මරණයට පත් සියළුම දෙනා ස්මරණය කිරීම අත්‍යවශ්‍ය වෙතැයි අපට හැඟෙන්නේ ඒ නිසා ය. මුල්ලිවයික්කාල් සංහාරයේදී සිදුකළ යුද අපරාධ පිළිබඳව ශ්‍රී ලංකා රජය වගඋත්තරදායක කිරීම වනාහී මේ යුගයේදී අපේ තාත්තාට යුක්තිය ඉටු කිරීමකි. සන්නද්ධ ගැටුමේ අවසාන අදියරේදී හමුදාවන්ට යටත්වීමෙන් පසු තවදුරටත් අතුරුදහන්ව සිටින සිය ආදරණීයයන් අහිමි වූ දෙමළ පවුල් වෙනුවෙන් යුක්තිය සහ වගඋත්තරදායකත්වය අවශ්‍යව තිබේ. තවදුරටත් අවතැන්ව දිවි ගෙවන පවුල් සහ උතුරු – නැගෙනහිර පළාත්වල රාජ්‍ය පීඩනය යටතේ දිවි ගෙවන්නා සියල්ලන්ට යුක්තිය අවශ්‍යව තිබේ.

(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
නිදහස් මාධ්‍යවේදිනිishanka.singhe@gmail.com
[මෙම ලිපිය ‘අනිද්දා’ සතිඅන්ත පුවත්පතේ පළ වුවකි]