” kumbalangi Nights ” මලයාලි මායාව

0
512

🔥
ආදරය දෝතින් රැගෙන එන මලයාලම් සිනමාව කියන්නේම මායාවක්. සිනමාව කියන්නේ කොහොමත් අපේ ඇස් රවටන හිත රවටන එක්තරා මායාවක්. එවැනි සිනමාව සැබෑ වශියක් බවට පත් කරමින් අපිට තිලිණ කරන උන් ටිකක් නේ මලයාලම් කාරයෝ කියන්නේ… අපේ රටේ කේරළේ මිනිස්සු ඉස්සර ඉදන්ම කොහොමත් ප්‍රසිද්ද වශී ගුරුකම් වලට දක්ෂ මිනිස්සු විදියට . හැමෝම දන්න විදියට අන්න ඒ වශී කිරීමේ හැකියාව දැන් ඔවුන් යොදා ගන්නේ කේරළ සිනමාව තුලට. මලයාලම් සිනමාව වටා මේ තරම් රැල්ලක් ඇති වෙලා තියෙන්නේ ඔය කාරනාව නිසාම වෙන්න ඇති.

එහෙව් මලයාලම් සිනමාව තිලිණ කරපු හොදම සිනමාපට කීපය නම් කරන්න කියලා කුමන හෝ උතුමෙක් කිව්වොත් මම වගේම ගොඩක් අය නම් කරන ෆිලුම් කීපය අතරේ මේ නමත් රැව් පිලිරැව් දේවී කියලා මම විශ්වාස කරනවා. මොකද
” kumbalngi Night” කියන්නේ ඇත්තටම මලයාලම් සිනමාව තුල බිහි උන විශිෂ්ටතම සිනමාපටයක්.

2019 වර්ෂයේදි තිරගත වන ” kumbalangi Night ” සිනමාපටයේ අධ්‍යක්ෂනය කර තිබෙන්නේ Madhu c.Narayanan විසින්. කුම්භලන්ගියේ කතාව මේ අධ්‍යක්ෂකවරයාගේ කුළුඳුල් සිනමා නිර්මාණය බව බොහෝ අය නම් දන්නෙ නැතුව ඇති. ඒත් ඒක තමයි ඇත්ත කතාව. සිනමා ජීවිතයේ පලමු නිර්මාණය විදියට මනුස්සයා කරලා තියෙන්නෙ ඇත්තටම මැජික් එකක්. 🫶 කුම්භලන්ගි දූපත් වාසීන්ගේ මේ කතාව තිර පිටපත් විදියට නිර්මාණය කරන්නෙ නම් මලයාලම් සිනමාව තුල යම්තාක් හුරු පුරුදු තිර රචකයෙකු වන sham pushkaran විසින්.

කේරළයේ කුම්භලන්ගි නම් දූපත් සමූහට අයත් කුඩා දූපතක් තුල ජීවත් වන දඩබ්බර සහෝදරයින් හතර දෙනෙක්ගේ කතාවක් මේ තරම් අපිට සමීප වන්නේ මොන මගුලක් නිසාද. මනුස්සයෙක්ට ෆිල්ම් එකක් ආයෙ අයෙම බලන්න හිතෙනවා කියන්නේ ඒ සිනමාපටය තුල මොකක්ම හරි මගුලක් තියෙන්න ඕන නේද. ඒක ඇත්තටම මලයාලම් වශියක්වත්ද? ඔව් ඒක ඇත්තටම එහෙම තමයි.

” kumbalngi Night ” අපිව වශී කරන්න පලවෙනි මායාව බවට පත් වන්නේ සිනමාපටය තුල පවතින ඒ සුන්දර කතා තේමාව. මහ්‍රාප්‍රාණ වලින් ලියන්න තරම් බර කතාවක් නැති මේක සරල කතාවක්. ඒත් ඒ සරල කතාව තුල තියෙන්නෙ ලොකු කතා ටිකක් . කුම්බලන්ගිය තුල ප්‍රදාන චරිත බවට පත් වන්නේ සහෝදරයන් හතර දෙනෙක්. ඒ හතර දෙනා තමයි saji, bonny, bobby , Frankie කියන්නේ. මේ හතර කට්ටුව අතරින් බාලම එකා නම් තාම ඉගන ගන්නවා. අනිත් උන් හතර දෙනාම හරි හමන් රස්සාවක් නැති. ඒත් ජීවිතේ බරක් පතලකුත් නැති තුන් දෙනෙක්. ඒ වගේම එක්කෙනෙක් කතා කරන්න බැරි හාදයෙක්.

කුම්භලන්ගියේ සහෝවරයන්ගෙ මේ කතාව අපිට සමීප වන්නේ මෙන්න මේ නන්නත්තාර ගතියත් එක්ක. උන් හරියට අපි වගේ. ඔයාලට එහෙම හිතිලා නැද්ද . මටනම් හිතෙන්නෙම මුං හතර දෙනා ඇතුලේ ජීවත් වන ආත්ම අයිති මේ අපිටමයි කියලා. අපි ජීවිතේ හොයනවා වගේම සජීලා, බොනීලාත් ජීවිතේ හොයනවා. නගරවාසීන්ට වඩා ගම්වාසීන්ට මං මේ කියන කතාව දැනෙනවා ඇති. ඇත්තටම ගම්වල ජීවත් වන මිනිස්සුන්ගේ ජීවිත මෙන්න මේ වගේ. එහෙම නැතුව ඒ ජීවිත සමහර සිනමාපට තුල තිබෙනවා වගේ ඉරි තලලා වේලිලා ගිය වැව් වගේම නෙමෙයි. ගම් වල උන්ට තියෙන්නෙ මේ වගේ ජීවිත. ගම් වල ඉන්න,නගරෙත් ඉන්න ජීවිතේ එක්ක ඔට්ටු වෙන සජී වගේ මිනිස්සු උන්ට කෙලවුනා කියලා හැම වෙලේම අඩ අඩ උන්නෙ නෑ කාලක් ගෙනත් ඒක ගහලා ඒ දුක නිවාගන්න එක තමයි උන්ගෙ ආතල් එක. ” kumbalngi night ” අපිට මේ තරම් සමීප වෙන්න එක හේතුවක් ඒක. අපේ ජීවිත වල තියෙන අවුල් කෑලි ටික උන් හරි ආතල් විදියට කියනවා. ඒක හරියට අපේ ” තණමල්විල කොළ්ලෙක් ” ටෙලිය වගේ.. යකෝ මුංගෙ ඇතුලෙ ජීවත් වෙන්නෙ අපේම ආත්ම කියලා හිතෙන තරම් දැනෙන්න ඒ ආතල් එක උන් අපිට අරගෙන දෙනවා.

මේ සහෝදරයෝ හතර දෙනා ගත්තත් උන්ගේ සහෝදරත්වය වෙලාවකට ඕපපාතික උනාට සමාජයක් විදියට ගත්තොත් නම් මේ ඉන්නේ ඇත්තම සහෝදරයෝ හතර දෙනෙක්. මොකද අපි සන්තෝසෙන් ඉන්නේ අයියා මල්ලී වාගේ.. එක හැලියේ බත් කන්නේ.. එක පැදුරේ නිදියන්නේ කියලා ඉන්න උන්ට වඩා ඇත්තටම ඉන්නේ නිතරම මරාගන්න සහෝදරයෝ… ඒක තරහක් නිසා නෙමෙයි සහෝදරත්වයේ සංකේතයක් විදියට බහුතරයක් තැන් වල වෙන දෙයක්. මුං හතර දෙනත් ඒ වගේම තමයි. අරක්කු කාලට මරාගන්න, දැකපු තැන්දි අනිත් එකාව නෝන්ඩි කරන, අයියට නම කියලා කතා කරන. ඒත් අනිත් එකාට වැරදෙන්න ගියාම අනිත් උන් හැමෝටම කලින් දුවගෙන එන හරි අපූරු සහෝදරත්වයක් කුම්භලන්ගි සහෝදරයෝ අපිට සමීප කරනවා.” Kumbalngi night ” කියන්නෙ එක්තරා විදියකින් සහෝදරත්වයේ කතාවක්.

Love story එකක් විදියට ගත්තත් ” kumbalngi night ” කියන්නේ ලස්සන ආදර කතා කීපයක්ම තියෙන ආදරනීය පික්චර් එකක්. තමන්ගේ ලගින්ම ඉදපු යාලුවා තමන් අතින් වෙන වරදක් නිසා මැරිලා ගියාම ඒ මිනිහගේ ගෑනිව ලමයත් එක්කම ගෙදරට එක්කගෙන එන සජී, කුම්බල්න්ගි දූපත් බලන්න ආපු විදේශික කළු උනත් ලස්සන කෙල්ලෙක් එක්ක ආදරයක් පටන් ගන්න නිහඩ ආදරවන්තයා bonny . පාසල් කාලේ ඉදන් තමන් ගැන ආදරෙන් ඉදපු කෙල්ලෙක් එක්ක සෙට් වෙන bobby . මේ හැම ආදර කතාවක් අස්සෙම තියෙන්නෙ අපේ හදවතට සමීප ලෙන්ගතු බවක්. මේ කතා අතරින් ආතල්ම ආදර කතාව තියෙන්නෙ අපේ බොබියට. තමන් ආදරය කරණ කෙළ්ළගෙන් කිස් එකක් ගන්න එක තමයි කොල්ලෙක්ගේ පලවෙනි ටාගට් එක. කෙල්ලෙක්ට උනත් ඒක එහෙමම වෙන්න ඇති නේ…😉 බොබියා ඒ කිස් එක ගන්න ගිහින් ෆිල්ම් හොල් එකේදි කන කනේ පාර, කිස් එකක් නිසා තරහා වෙන එක, දෙන්නගෙම කැමැත්තෙන් පොඩී හාදුවක් දී ගන්න ගියත් ඒකට වැටෙන බාල්දි ටික ෆිල්ම් එක බලපු අයට මතක ඇති. කුම්භලන්ගියේ ආදර කතාව අපිට මේ තරම් සමීප වෙන්න මේවත් හේතු තමයි. ඒ දර්ශන ටික දැක්කම යකෝ මටත් මෙහෙමම වෙලා තියෙනවා නේද කියලා හිතෙන තරමට ඕවා මේ සමාජෙ බහුල කතා.. ඒත් ආදරනීය කතා. කලින් කිව්වා වගේම සජීට සිද්ද වෙන්නේ තමන්ගේ යාලුවගේ බිරිදව බාර ගන්න, bonny ට සිද්ද වෙන්නේ තාවකාලික සුවයකට ලං උන කළු සුද්දිව තමන්ගේ ගෙදරට එක්කගෙන එන්න. මේ වගේ උන අයත් ඇති.. යකඩෝ මූ මගේ කතාව කොපි කරලා නේද කියලා හිතෙන. මේ ෆිලිම් එක මේ තරම් අපිට සමීප අන්න ඒ නිසා… ලෝකෙට කෑ ගහලා නොකිව්වට හිත ඇතුලෙන් අපි අපිටම කියාගන්න ලස්සන ආදර love story ටිකක් මේකේ තියෙන නිසා.FB IMG 1762783921286 FB IMG 1762783911955 FB IMG 1762783905346

“Kumbalngi night ” සිනමාපටය වගේම මලයාලම් සිනමාව අපිට සමීප වෙන්න තවත් හේතුවක් තමයි. මලයාලම් සිනමාපට තුල අපිට දැක ගන්න ලැබෙන ඒ සුන්දර කොළ පැහැති පරිසර. ඒක අපේ ලාංකික සිනමාව අපිට අහිමි කරපු අපේ සුන්දර පරිසරය මලයාලම් සිනමාකරුවන් අපිට පෙන්වනවා වගේ වැඩක්. ලියවිල්ලට පාදක වන “kumbalngi night ” කියන්නෙත් ඒ වගේම කේරළයේ සුන්දර පරිසරය සුන්දර විදියට කැමරා කාචයට හසුවුන සිනමාපටයක්. මේ කියන්න යන කාරනාවෙදි නම් මේක ලියන මගෙයි .කියවන ඔබෙයි අදහස් වෙනස් වෙන්න පුළුවන්. මම පුත්ගලිකව මේ ෆිල්ම් එකට මේ තරම් වෙන්න තවත් එක හේතුවක් තමයි. නමේ තියෙන විදියටම මේක දූපත් කතාවක් වීමයි. අපි කොහොමත් උපතින්ම දූපත් වාසීන් නේ… ඒ නිසා අපි වගේම දූපත් වල හිර වෙලා ඉන්න උන්ගේ ජීවිත දිහා බලාගෙන ඉන්න එකෙත් අපිට පොඩි සොමියක් තියෙනවා. ඒක ඇත්තටම චාටර් සොමියක් නෙමෙයි ආතල් සොමියක්. අපි අයත් වෙන්නෙ පොඩි කාලේ ” රොබින්සන් අන්දරය ” හරිම ආසාවෙන් බලපු. ” මාස්ටර් මං රෙඩී ” වගේ පොත් පැල් බැදගෙන කියවපු පරම්පරාවකට. අපි ලොකු උනා කියලා අපි හිතුවත් ඔරු , පාරු එක්ක ගෙවෙන මේ වගේ කතා වලට අපි තාමත් හරි ආසයි. අපේ ඇතුලෙ ජීවත් වෙන මුහුකුරා ගියපු එකාව මරලා දාලා ඒ පොඩි එකාව මතුකර ගන්න අපි හරි ආසයි. ” kumbalngi night ” කියන්නේ මගේ ඇතුලේ උන්න ඒ පොඩි එකාව ආයෙ අයෙම අවදි කරන ෆිලුමක්. අනිත් කතා සේරම පැත්තකින් තිව්වත් සිනමාපටය පුරාම ජලයත් එක්ක ඒ තියෙන ගනුදෙනුව මම පුත්ගලිකව හරිම කැමති තැනක් ❤️

කුම්භලන්ගියේ කතාව අපිට මේ තරම් සමීප වෙන්න තවත් ප්‍රදානතම හේතුවක් තමයි සිනමාපටය තුල රංගනයෙන් දායක වන ඒ රංගන ශිල්පීන්ගේ විශිෂ්ට රංගනය.

° sobin shahir.
° Fahadh Faasil.
° shane Nigam.
° sreenath Bhasi.
° Anna Ben.
° Grace Antony.
° Mathew Thomas.

කියන මේ උද්වියගේ රංගනය ගැන නම් ඉතින් ආයෙමත් අමුතුවෙන් කතා කරන්න දේකුත් නැති තරම්. හතර දෙනාම සූරයෝ සහෝදරයො හතර දෙනා නම් කරන්නෙ අති විශිෂ්ට රංගනයක්. දුෂ්ටයා බවට පත් වෙන අපේ ෆෆාත් වැඩේ අත අරින්නෙම නෑ… කොහොමින් කොහොම උනත් මේ සෙට් එක අතරින් මට අංක එකට තියන්න පුළුවන් වාව්ම රංගනය දැකගන්න ලැබෙන්නෙ sobin shahir ගෙන්. මනුස්සයෙක්ට අඩන්න ඕන උනත් අඩාගන්න බැරි අවස්ථාවක් නිරූපණය කරනවා කියන්නේ ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ වගේ අවස්ථාවන් කොච්චර නම් සොබින් රහට ඉදිරිපත් කරනවද… සරවම saji කියන්නේ acting ඉගන ගන්න උන් ආයෙ ආයෙම බලන්න ඕන අද්‍යනය කරන්නම ඕන චරිතයක්. ඒක වචනෙකින් මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි තරම් විශිෂ්ට මට්ටමේ රංගනයක්. ඒ වගේම Fahadh faasil සිනමාව තුල මම දැකපු එපාම කරපු වගේම ආතල්ම දුෂ්ටයත් මෙම සිනමාපටය තුලින් නිර්මාණය කරනවා. සිනමාව තුල ආදරය කරපු ෆෆාට කෙලවෙයන් කියලා ඇගිලි ගැන ගැන බලන් ඉන්න තරම් එක මාරම චරිත නිරූපණයක්. ආතල්ම කෑල්ල තියෙන්නෙ උගේ හිනාව ඇතුලේ… වැඩි කතාවක් නැතුව මූනෙන් ,ඇස් වලින් , හැගීම් පෙන්වමින් චරිත නිරූපණය කරන්න මලයාලමේ ෆෆා හැර කව්ද ඉන්නේ…🫶 අනිත් උන් ටිකත් මරු තමන්ගේ පලවෙනි රංගනය විදියට Anna Ben කරන ඒ චරිතයත් එයා ලස්සනට නිරූපණය කරලා තියෙනවා.

කුම්භලන්ගි දූපත් අතරෙ මගේ ඇස් නතර උන තවත් තැනක් තමයි සිනමාපටය පුරාම ඒ තියෙන color ටික. සිනමාපටයේ වර්ණ සංයෝජනය කරපු හාදයා කව්ද කියලා නම් දන්නෙ නෑ… කවුරු කලත් ඒක මලයාලම් සිනමාව තුල දකින්න ලැබුන විශිෂ්ටතම වර්ණ සංයෝජනයක්. ඒ වගේම ඇදුම් නිර්මාණය සහා කළා අද්‍යක්ෂනයත් ඒකට තකට තක ගැලපිලා තියෙනවා ඕං. සිනමාපටකදි Art Director , costume Director , colorist වගේ ජොබ් රෝල් වැදගත් වෙන්නෙ මොන විදියටද කියලා කවුරු හරි ඇහුවෙත් මේක පෙන්නන්න. නිකං නෙමෙයි ටොක්කකුත් ඇනලම..😉

ඒ වගේම සිනමාපටය පුරාම අහන්න ලැබෙන sushin shyam ගේ ඒ මියුරු සංගීතය ගැනත් මතක් නොකරම බැහැ. ඒක දෙවියන්ගෙ දේශයේ ඒ සුන්දරත්වය සමග මනාව ගැලපුනු සංගීතයක්.shyju khalid ගේ cinematography ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ කියලා ” kumbalngi night ” නරබන්නට පිං කල ඇස් දන්නවා.
❤️

සිනමාපටය තුල මම දැකපු තවත් වැදගත්ම කොටසක් තමයි පොඩි කොටසක්වත් මිස් වෙන්න නොදීම. හැම පොඩි දර්ශනයක් තිලින් පවා සිනමාකාරයා වැඩේ තියෙන ආතල් එක අතහැරෙන්න දීලා නම් නෑ… ෆහාද් ෆාසිල් නිරූපණය කරන ඩයල් එක ඇවිත් කොන්ඩෙ රැවුල කපන එක රස්සාව කර ගත්ත බාබර් කෙනෙක්. වූට ඒ වැඩේදි වගේම අනිත් වැඩ වලදිත් හුරු පුරුදු දැලි පිහියම තමයි. ඒ නිසා පොර අවසන් සටනෙදි බෙලි කපන්න හිතාගෙන භාවිතා කරන්නෙත් රැවුල කපන දැලි පිහියම තමයි. සිබීලා , බොබීලා මාලු කාරයො උන් දක්ෂ මාලු අල්ලන්න, විසි දැල් දාන්න වගෙ දේවල් වලට ඒ නිසා සිනමාකාරයා හතුරව අල්ලගන්න අන්තිමට පාවිච්චි කරන්නෙත් බොබීලට හුරු පුරුදු විසි දැලක්ම තමයි… ඒ වගේ පොඩි පොඩි දේවල් පවා චරිත වලට සෙට් වෙන විදියට භාවිතා කර තිබීම සිනමාපටය පුරාම දැක ගන්න ලැබෙනවා. වැඩිය නොපෙනුනත් මේ වගේ පොඩි පොඩි දේවල් වලින් මේ ෆිල්ම් එකට ලැබෙන ආතල් එකත් පොඩි දෙය්ස්ක් නෙමෙයි. සිනමාපටය අපිට මේ තරම් සමීප වෙන්න මේ දේවල් පවා හේතු වෙන්න ඇති.

” kumbalngi night ” තාමත් ඒ සුන්දර දූපත් පාරාදීසයට ගොඩ වෙලා නැත්තම් ඒ දූපත් අතර ඔරුවකින් රවුමක් ගිහින්ම එන්න….

Article
චානුක විතාරන…..🖊️

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here