1990 සුවසැරිය’ සේවාවට නව ගිලන් රථ 100ක්: ඉන්දීය මූල්‍ය ප්‍රදානයට කැබිනට් අනුමැතිය

0
54

 

​දිවයින පුරා ක්‍රියාත්මක ‘1990 සුවසැරිය’ ජාතික හදිසි පූර්ව රෝහල් ගිලන් රථ සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පූර්ණ වෛද්‍ය පහසුකම්වලින් සමන්විත නව ගිලන් රථ 100ක් මිලදී ගැනීමට ඉන්දීය රජයෙන් මූල්‍ය ප්‍රදානයක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
​සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර මීට අදාළ අවබෝධතා ගිවිසුමකට (MoU) එළැඹීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. රුපියල් මිලියන 1,725.7කට අධික මුදලක් ණය මුදලක් ලෙස නොව, සම්පූර්ණ ප්‍රදානයක් (Grant) ලෙස ඉන්දීය රජයෙන් හිමිවීම විශේෂත්වයකි.
​

වර්තමානය වන විට සුවසැරිය සේවාව සතුව පවතින ගිලන් රථ 322 මඟින් දිනකට හදිසි රෝගී ප්‍රවාහන අවස්ථා 1,000ත් 1,200ත් අතර සංඛ්‍යාවක් හසුරුවනු ලබයි.
​ මෙම ගිලන් රථ සමූහය වාර්ෂිකව කිලෝමීටර මිලියන 9කට අධික දුරක් ධාවනය වේ.
​මෙලෙස අඛණ්ඩව අධික ධාවනයක යෙදවීම හේතුවෙන් දැනට භාවිත වන ගිලන් රථවල නිතර කාර්මික දෝෂ හටගැනීමේ ප්‍රවණතාවක් මතුව තිබිණි.
​මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජය කළ විශේෂ ඉල්ලීමකට අනුව, නව ගිලන් රථ 100ක් මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇති අතර, විනිවිදභාවයෙන් යුතුව තරගකාරී ටෙන්ඩර් කැඳවීමේ ක්‍රමවේදයක් හරහා අදාළ ගිලන් රථ මිලදී ගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here