කුෂ්” සමඟ හසු වු “” චාලට් මේ ලී “” ජූලි 09 දා තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරයට . ….

0
611
“ඉකුත් මැයි 13 වැනි දින කටුනායක ,ගුවන් තොටුපළේදී “කුෂ්” නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 46, ග්‍රෑම් 60 ක් සමග අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික 21හැවිරිදි ” චාලට් මේ ලී ” නමැති තරුණියව නැවත වරක් එළඹෙන ජුලි 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව  මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරන ලදී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ, තවත් එක් නඩු වාරයක් අද දින (26/06/2025) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලා අංක 02 හි  විභාග විය. මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය නිවාඩු ගොස් ඇති නිසා මෙම නඩු වාරය වැඩ බලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා විසින් විභාග කරන ලදී.

අබිං සහ වෙනත් විෂ මත්ද්‍රව්‍ය  ඇතුළු අන්තරාදායක ඖෂධ පනතේ අංක 54(ඒ)  දරණ පනත අනුව ආනයනය කිරීම, ජාවාරම් කිරීම සහ සන්තකයේ තබා ගැනීම යන චෝදනාවන් යටතේ වැඩිදුර සවිස්තරාත්මක වාර්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, පොලිස් සැරයන් ආර්.එම්.එස්. කුමාර මහතා විසින්  අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී පොලිස් සැරයන්වරයා අධිකරණයට කරුණු වාර්තා කළේ අත්අඩංගුට ගත් “කුෂ් ” නමැති එම මත්ද්‍රව්‍ය  තොගය පසුගිය 11 වෙනදා (11/06) රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවත් ඉදිරි කාලයේදී එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවයි. එමෙන්ම මෙම සැකකාර බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ ජංගම දුරකථනය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත  යොමු කරන බවට සඳහන් කර ඇති බවත් , මේ වනතුරු එහි වාර්තාව ලැබී නොමැති බවත් සැරයන්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය. තවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සැකකාරියගේ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් ද වාර්තාවක් කැඳවා ඇති අතර  එම වාර්තාව ද මේ වනතෙක් ලබාගැනීමට හැකියාවක් නොලැබුණු බවයි.

එහිදී මෙම සැකකාර තරුණිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ , මෙම සැකකාර තරුණියගේ ජංගම දුරකථනයේ පිට කවරයේ ඇති ඡායාරූපය ඇයගේ ජීවිතයේ ඉතාම වටිනා මතකයක් බැවින් එය ඇය වෙත ලබාදීමට කටයුතු සලසා දෙන ලෙසයි. එහිදී වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එය ඇය වෙත ලබාදීමට හැකියාවක් ඇති දැයි , පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් විමසීමක් කළේය. එවිට එම කාර්යාංශ නිලධාරියා පැවසුවේ , මේ වන විට එම ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති බැවින් එහි විමර්ශන කටයුතු නිම වූ පසු එය මෙම සැකකාර තරුණිය වෙත ලබාදීමට කටයුතු කරන බවත්, ඒ පිළිබඳව සොයා බලා අධිකරණයට ද කරුණු වාර්තා කරන බවයි.

එමෙන්ම එම නිලධාරියා වැඩිදුරටත් අධිකරණය වෙත සඳහන් කළේ මෙම සැකකාර තරුණියගේ පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තාවන් ” සාක් ” කලාපීය රටවලින් සහ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයෙන්  ඉල්ලා ඇති අතර , එම වාර්තාවන්ද  ඉදිරි කාලයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවයි. තවද ඇය මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඇයගේ පෙර වැරදි සම්බන්ධයෙන්ද විමර්ශනය කරන බවද  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය. එහිදී වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ,පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියෝග කළේ එකී වාර්තා සොයා බලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
මේ සියලු කරුණු කාරණා සලකා බැලූ මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මේ අනුව නියෝග කළේ “චාලට් මේ ලි” නමැති මෙම සැකකාර බ්‍රිතාන්‍ය ජාතික තරුණියව එළඹෙන ජුලි 09 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

අද දින මීගමුව බන්ධනාගාරය විසින් මෙම සැකකාර තරුණියව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. මේ වනතුරුත් ඇයගේ පවුලේ කිසිවෙකු මෙරටට නොපැමිණීම සහ අධිකරණයට ඥාතීන් කිසිවෙකු නොපැමිණීම විශේෂත්වයක් ලෙසද වාර්තාවේ.
දකුණු ලන්ඩනයේ සිට මෙරටට පැමිණ තිබූ ” චාලට් මේ ලි ” නමැති මෙම සැකකාර තරුණියව කටුනායක ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකා රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට  ගෙන තිබුණේ නීති විරෝධී ලෙස මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමට උත්සාහ කළ බවට චෝදනා කරමින් වන අතර මත්ද්‍රව්‍ය පිරවූ මලු සමඟ ඇයව ඉකුත් මැයි 13 වැනි දින අත්අඩංගුවට ගෙන තිබිණි.
එහිදී ඇය ප්‍රකාශ කලේ ඇගේ ගමන් මලු වල මත්ද්‍රව්‍ය ඇති බව දැන සිටීම ඇය ප්‍රතික්ෂේප කරන බවත් , ඒවා කිසිවෙකු  විසින් එහි තැන්පත් කර ඇති බවයි.

බ්‍රිතාන්‍ය ජාතික චාලට් මේ ලී නමැති මෙම සැකකාර තරුණිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ  නීතිඥ සම්පත් පෙරේරා, ඇතුළු ගයාන් කලටුවාව, ඒෂාන් සඳුන්ගහවත්ත සහ මහීෂා මුදුගමුව යන නීතිඥවරු පෙනී සිටි අතර මේ වන විට මෙම සැකකාර  බ්‍රිතාන්‍ය ජාතික තරුණිය දින 40 කට අධික කාලයක්   රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.

මේ සිද්ධිය පදනම් කරගනිමින් බ්‍රිතාන්‍ය රජය විසින් මෙරට සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයන් හට සංචාරක උපදේශන මාලාවක් ද යාවත්කාලීන කර තිබෙන බව වාර්තා විය.  ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් කංසා ඇතුළු මත්ද්‍රව්‍ය රැගෙන නොයනා ලෙස බ්‍රිතාන්‍ය රජය එරට පුරවැසියන්ට දැනුම් දී තිබේ.ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළකදී මත්ද්‍රව්‍ය සමග අසුවුවහොත් අත්අඩංගුවට ගැනීමේ අවධානම පිළිබඳවද මෙම සංචාරක උපදේශන මාලාවෙන් අනතුරු අඟවා ඇත.
නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වුවහොත් දැඩි දඬුවම්වලට ලක් විය හැකි බවත්, ගුවන් තොටුපළ හරහා ගමන් කිරීමේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, භාවිතා කිරීම හෝ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ හොත් දිගුකාලීන සිරදඬුවමක් සහ ඉහළ අගයක දඩ මුදලක් අපේක්ෂා කළ යුතු බවද බ්‍රිතාන්‍ය රජය විසින් නිකුත් කළ එම සංචාරක උපදේශන මාලාවේ වැඩිදුරටත් සඳහන් වන බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here