කටාන මිරිස්වත්ත, පුනරුත්ථාපන මධ්‍යස්ථානයක රැඳවියකුගේ සැක සහිත මරණයක්. …???

0
600

 

කටාන, මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි
” සියොන් ” නමින් හඳුන්වන පෞද්ගලික පුනරුත්ථාපන මධ්‍යස්ථානයක , පුනරුත්ථාපනය වෙමින් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකුට එහි සිටි තවත් රැඳවියෙකු කළ පහරදීමක් නිසා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය පුවතක් වාර්තා වුණි.ඒ පිළිබඳව සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ , කටාන මිරිස්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙන සහ මානසික රෝගී තත්වයන්ගෙන් පෙළෙන අය රඳවා සිටින ” සියොන් ” නැමැති පෞද්ගලික පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී මෙය සිදු වී ඇති බවයි. එම පෞද්ගලික පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ, පුනරුත්ථාපනය වීමට රඳවා සිටි පොළොන්නරුව,නව නගරයේ, අලුත් වැව හන්දියේ අංක 87/82 ස්ථානයේ පදිංචිකාරුවෙකු වු 45 හැවිරිදි චමින්ද කුමාර නානායක්කාර නැමැති අය මීගමු රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 29 වැනි දින (29/06/2025) මෙලෙස මිය ගොස් තිබේ.
වැඩිදුරටත් වාර්තා වන අන්දමට මෙම පෞද්ගලික පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 200 ක පමණ පිරිසක් මෙලෙස රඳවා සිටින අතර මෙලෙස මියගිය චමින්ද කුමාර නැමැත්තාට එම මධ්‍යස්ථානයේ රඳවා සිටින මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙකු යම් පහර දීමක් කර තිබේ. දින 02 කට පමණ පසු ඔහුට ඇති ව තිබූ රෝගී තත්වයන් උත්සන්න වීමෙන්, එම මධ්‍යස්ථානයේ හිමිකරු විසින් චමින්ද කුමාර නමැත්තාව ප්‍රතිකාර පිණිස මීගමු රෝහලට ඇතුළත් කර තිබේ. ඔහුව මීගමු රෝහලට ඇතුළත් කිරීමේදී ඔහුගේ රෝගී තත්ත්වය ලෙස රෝහලට දැනුම් දී තිබුණේ ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බවය. එලෙස රෝහලට ඇතුළත් කර රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබේ.
පසුව මීගමුව හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා, එම පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ හිමිකරුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමේදී ඔහු පවසා තිබුණේ මියගිය තැනැත්තාට, එම මධ්‍යස්ථානයේ රඳවා සිටින මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු මීට දින කිහිපයකට කලින් ඔහුගේ ඉන ප්‍රදේශයට යම් පහර දීමක් කර තිබු අතර ඒ සඳහා තමන් ” බාම් ” වර්ගයක් ආලේප කර එම තත්ත්වය සමනය කළ බවයි.

එහෙත් හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරිජයන්ත වික්‍රමරත්න මහතා මෙලෙස මියගොස් ඇති චමින්ද කුමාරගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා මීගමුව අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ. එහිදී මීගමුව අධිකරණ විශේෂඥ වෛද්‍ය සුජීව වික්‍රමාරච්චි මහතා, හදිසි මරණ පරීක්ෂකවරයාට දන්වා ඇත්තේ එම මෘත දේහය පරීක්ෂා කිරීමේදී ඔහුගේ උදර ප්‍රදේශයට ඉතා තද පහරවල් කිහිපයක් වැදී ඇති බවයි. එහිදී අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එම පහරදීම් හේතුවෙන් මෙලෙස මියගිය ගොස් ඇති චමින්ද කුමාර නැමැත්තාගේ බඩවැල් පුපුරා ගොස් ඇති බවයි.

ඒ අනුව හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා විසින් කටාන පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත දන්වා ඇත්තේ මේ සම්බන්ධව අධිකරණය වෙත පැමිණිලි කරන ලෙසයි.

ඒ අනුව වාර්තා වන අන්දමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ, වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රීමල් අමරසිංහ මහතා, මීගමුව රෝහලට පැමිණ මෙම මෘත දේහය පරීක්ෂාවට ලක් කොට ඇත. වැඩබලන මහේස්ත්‍රාත්වරයා මීගමු රෝහලට පැමිණෙන අවස්ථාවේදීත් එම මෘත දේහය අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාගේ වැඩිදුර පරීක්ෂාවට ලක් කෙරෙමින් තිබුණු බවද වැඩිදුරටත් වාර්තා විය. ඉන් පසුව වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රීමාල් අමරසිංහ මහතා මෙම මරණය සම්බන්ධව වැඩිදුර කරුණු විභාගය කිරීම සඳහා මියගිය චමින්ද කුමාර නැමැත්තාව රඳවා සිටි ,කටාන, මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි ” සියෝන් ” නැමැති එම පෞද්ගලික පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට ගොස් සාක්ෂි සටහන් කරගෙන ඇත. එහිදී වාර්තා වන අන්දමට එහි සිටි තවත් රැඳවියෙකු වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත සාක්ෂි දෙමින් පවසා ඇත්තේ මෙම මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයෙකු මියගිය චමින්ද කුමාර නැමැත්තාගේ උදර ප්‍රදේශයට පහර දෙන ආකාරය තමන් සියසින් දුටු බවයි.

මේ අනුව වැඩිදුරටත් වාර්තා වන අන්දමට මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක වන නිසා මියගිය චමින්ද කුමාරගේ මෘත දේහය අවසන් කටයුතු කිරීම සඳහා ඥාතීන්ට තවමත් භාර නොදී ඇති අතර මෘත දේහය මේ වන විට මීගමුව රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here