වාර්තා වන අන්දමට මෙලෙස මියගොස් ඇත්තේ කාමච්චෝඩේ වෙළඳපල භූමිය ආශ්‍රිතව , ඇති ඇලෙක්ස් පාරේ විසූ
” මොහොමඩ් සලීම් මොහොමඩ් අන්වර් ” නමැති 21 හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඔහු උණ රෝගයෙන් පෙළී ඇති අතර පසුගිය 22 වැනි දා (22/07/2025) මීගමු රෝහලට ඇතුලත් කර ඇති අතර (24/07/2025) රාත්‍රී ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී මීගමු රෝහලේදීම මිය ගොස් තිබේ. ඔහුගේ මරණය මී උණ රෝගය වැළඳීම සහ එම රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් සිදු වු මරණයක් බවට වාර්තා වේ.
වාර්තා වන අන්දමට මෙලෙස මිය ගිය තරුණයා විසු නිවස පිහිටි කාමච්චෝඩේ වෙළඳ පොල ආශ්‍රිත ප්‍රදේශය දැඩි අපවිත්‍ර හා අපිරිසිදු ප්‍රදේශයක් ලෙසද සැලකිය හැකිය. එහි වැසි ජලය හා අප ජලය බැස යාමට විධිමත් සහ ක්‍රමවත්, නිසි කානු පද්ධතිය නොමැති වීමත් , එමෙන්ම නිතරම අප ද්‍රව්‍ය වලින් හා කැලිකසළ වගේ ගහන ප්‍රදේශයක් වීම නිසාත් මෙහි මැසි මදුරු උවදුරු මෙන්ම මීයන්ගේ ගහණයද ඉතා අධික ලෙස පවතී. මේ හේතුව නිසා නිරන්තරයෙන් මේ ප්‍රදේශයේ පමණක් නොව කාමච්චෝඩේ වෙළඳපොළ භූමිය ඒ ආශ්‍රිත ප්‍රදේශද දැඩි අනාරක්ෂිත තත්ත්වයක් සේම දැඩි අවදානම්කාරී ප්‍රදේශයක් ලෙසද නම් කළ හැකිය.අපිරිසිදු බව හා අපවිත්‍ර බව මෙන්ම නිසි කානු පද්ධතියක් නොමැති වීමෙන් අප ජලය මාර්ගවල විසිරී තිබීමද මේ ප්‍රදේශය තුළ නිතරම දැකිය හැකි සුලබ දර්ශනයක් වී තිබේ. මේ ප්‍රදේශයේ වෙසෙන ජනතාව මෙන්ම ,වෙළද පොලට පැමිණෙන වෙළඳ ව්‍යාපාරිකයන්ද, වෙළඳපොළට පැමිණෙන පාරිභෝගික ජනතාව ද මේ හේතුන් නිසා නිරන්තරයෙන් දැඩි ලෙස පීඩා විඳිති.
නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා මීගමු නගරාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු පසුගිය 25 වැනිදා (25/06//2025) මීගමු නගරය තුළ නිරීක්ෂණ චාරිකාවක් සිදුකළේය. ඔහු සමගින් ජන බලවේග පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු මීගමු මහ නගර සභාවේ නිලධාරී කණ්ඩායමක්ද මෙම චාරිකාවට එක් වූහ.එහිදී නගරාධිපතිවරයාගේ නිරීක්ෂණ චාරිකාවේ ප්‍රධානතම මර්මස්ථානය බවට පත්වූයේ මීගමුව කාමච්චෝඩි පොළ සහ ඒ අශ්‍රිත ප්‍රදේශයයි. මෙහිදී එම පොළ භූමියත්, එම භූමියේ ඇති වෙළඳාම් කිරීමට පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ගොඩනගන ලද ගොඩනැඟිලි මෙන්ම, එම වෙළඳපොලේ වැසිකිලි කැසිකිලි සහ මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් පිළිබඳවද නගරාධිපතිවරයාගේ සහ ඔහු සමඟින් ගිය නාගරික මන්ත්‍රීවරුන්ගේ මෙන්ම නගර සභා නිලධාරීන්ගේ ද දැඩි නිරීක්ෂණයට ලක් වූහ
මෙහිදී නගරාධිපතිවරයා කාමච්චෝඩේ වෙළඳපොළට පැමිණ සිටි පාරිභෝගික ජනතාව සමඟ මෙන්ම විශේෂයෙන්ම එහි වෙළඳාම් කටයුතුවල යෙදෙන එම ව්‍යාපාරික පිරිස සමගද කතාබහක නිරතවිය. එහිදී විශේෂයෙන්ම එම වෙළෙඳ ව්‍යාපාරික පිරිස ඔවුන්ට මෙම වෙළඳපොලේ වෙලදාම් කිරීමට ඇති බාධා සහ වෙළෙඳපොලේ ඇති පහසුකම් පිළිබඳව ද දැඩි ලෙස නගරාධිතිවරයා සමග අදහස් හුවමාරු කරගත්හ. එමෙන්ම වෙළෙඳපොළ ආශ්‍රිත භූමියට ආසන්නයේ ඇති නිවාස වල සිටින ජනතාව සමගද නගරාධිපතිවරයා කතාබහක නිරත විය. විශේෂයෙන්ම නගරාධිපතිවරයා මෙහිදී එම වෙළදපොලෙහි ඇති පහසුකම් හා, වෙළඳපොළ භූමියේ ඇති කැසිකිලි වැසිකිලි සහ මාර්ග පද්ධතිය සම්බන්ධයෙන්ද විශේෂයෙන් වෙළඳ ව්‍යාපාරිකයන්, පාරිභෝගිකයන් ,සහ ඒ ආශ්‍රිත නිවාස වල වෙසෙන ජනතාව සමඟද කතාබහක නිරත විය.
මෙහිදී නගරාධිපතිවරයා කාමච්චෝඩයේ වෙළඳපොළ භූමියේ ඇති වෙළඳාම් පිනිස තනා ඇති ගොඩනැගිල්ලක් ආශ්‍රිතව ඇති මාර්ගයක වැසි වතුර පිරී තිබෙනු දැක ඔහු ප්‍රකාශ කළේ
” කාමච්චෝඩේ වෙළඳපොළ යනු මිහිපිට අපායක්” බවයි. ඒ අනුව නගරාධිපතිවරයා මීගමුව ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී වෙත උපදෙස් දුන්නේ එළඹෙන ජුලි 02 දින කාමච්චෝඩි වෙළඳපොලේ සියළු ව්‍යාපාරිකයින් සහ ඒ ආශ්‍රිතව නිවාස වල වෙසෙන ජනතාව ද සමඟින් සුහද සාකච්ඡාවක් සංවිධානය කරන ලෙසයි. එලෙසම එම සාකච්ඡාව සඳහා ප්‍රදේශයේ සියලු ආගමික පූජකවරුන්ටද ආරාධනා කරන ලෙස නගරාධිපතිවරයා දන්වා සිටියේය. එහිදී නගරාධිපතිවරයා පැවසුවේ සියලු අයගේ අදහස් උදහස් යෝජනා පාදක කරගනිමින් කාමච්චෝඩේ වෙළඳ පොල සහ පොල භූමිය විධිමත්, පිරිසිදු මීගමු නගරයේ ආර්ථික මර්මස්ථානයක් බවට පත් කිරීමට සැලසුම් ඉක්මනින්ම පිළියෙල කරන බවයි. ඒ අනුව රජය විසින් අරඹා ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මෙම වෙළඳපොළත්, පොළ භූමියක් පවිත්‍ර කර විධිමත්ව ගොඩනගන බවත් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහෙත් මේ වන විට එම නිරීක්ෂණ චාරිකාව අවසන් කර මසකට ආසන්න කාලයක් ගත වී ඇතත් නගරාධිපතිවරයා එදින උපදෙස් දුන් පරිදි වෙළෙඳුන් සහ ඒ ආශ්‍රිත නිවැසියන් සමග සිදු කරන්නට යෝජනා වූ එම සාකච්ඡාව මෙතෙක් පවත්වා නොමැත. අඩුම තරමින් එම සාකච්ඡා රැස්වීම නැවත පවත්වන්නට නිශ්චිත දිනයක් හෝ මෙතෙක් නියම කර ගෙන නොමැත.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී නගරාධිපතිවරයා හමු වූ වෙළඳුන්, පාරිභෝගිකයින් මෙන්ම එය ආශ්‍රිතව වෙසෙන නිවැසියන් පවා ඔහුගෙන් ඉල්ලා පොළ භූමියේ රැඳෙන අප ජලය සහ වැසි ජලය බැස යාමට නිසි ලෙස යම් සැලසුම් සහගත ක්‍රමවේදයක් ස්ථිර ලෙස ස්ථාපිත කර දෙන ලෙසයි. එම ජලය බැස යාමට දැනට යොදා ඇති කානු පද්ධතිය අක්‍රමවත් හා අවිධිමත් ලෙස ගොඩනගා ඇති බවත්, එම කානු පද්ධතිය හරහා ජලය බැසීම සිදු නොවන බවත්, කාණු ඉතිරී එම ජලය පොළ භූමියේ මාර්ගවල රැඳී තිබීම හේතුවෙන් දැඩි අපහසුතාවයකට හා දැඩි ගැටලු ගණනාවකට තමන් මුහුණ දෙන බව එම පිරිස නගරාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළහ. එමෙන්ම තව පිරිසක් සඳහන් කළේ මෙලෙස වෙළඳපොළ භූමියේ මාර්ගවල ජලය බැස නොයා, ජලය රැස්වී තිබීමෙන් උග්‍ර පාරිසරික මෙන්ම, සෞඛ්‍යමය අර්බුද රැසකට තමන්ට මුහුණ දීමට සිදුවන බවයි. එහිදීද නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉතා ඉක්මනින්ම විධිමත් වැඩපිළිවෙළක් යටතේ මේ සියලු ගැටලු සහ අර්බුදයන්ට නගරාධිපතිවරයා ලෙස මීගමු මහ නගර සභාව යටතේ ඉක්මන් විසඳුම් ලබාදෙන බවකි.
එහෙත් කාලය ඉක්ම ගොස් තිබේ. මේ වන විට වාර්තා වන්නේ නගරාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක් වූ පොල භූමියේ මාර්ගයක ජලය බැස නොයාම හේතුවෙන් එම ස්ථානය මැසි මදුරුවන් සහ මීයන් වැඩි වශයෙන් බෝවීම හා ගැවසීම නිසා එම ප්‍රදේශයේ ජනතාව දැඩි සෞඛ්‍ය ප්‍රශ්න ගණනාවකට මුහුණ පා සිටින බවයි
මෙහිදී අපට දැනගන්නට ලැබුණේ පොළ භූමියේ ඇති මේ තත්ත්වයන් පිළිබඳව පොල ටෙන්ඩර් කරුවන්ද, වෙළෙඳුන්ද ප්‍රදේශයේ ජනතාවද නිරන්තරයෙන් මීගමු මහ නගර සභාවට අනුයුක්ත මහජන සෞඛ්‍ය නිලධාරීන්වද දැනුවත් කර ඇති බවකි.
එහෙත් ඒ කිසිදු ජනතා ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමට කලින් තිබූ කොමසාරිස් පාලනය තුළින්ද ,වර්තමාන නගරාධිපති පාලනය තුළින්ද මුල පිරීමක් හෝ සිදුවී නොමැති බව කණගාටුවෙන් හෝ සඳහන් කිරීමට සිදුව ඇත.
මේ අනුව ඒ ප්‍රදේශයේ වෙසෙන බහුතර ජනතාව නගරාධිපතිවරයා ඇතුළු මහ නගර සභාවේ බලධාරීන්ගෙන් අසන්නේ , කාමච්චෝඩේ පොල භූමියේ ඇති ප්‍රශ්න සහ ගැටලු විසඳීමට නම් තවත් මිනිස් ජීවිත කීයක් අවැසි ද යන්නයි.












