ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යකරණයේ වෘත්තීයභාවය සහ ආචාරධාර්මික භාවිතයන් නංවාලීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඩිජිටල්
මාධ්‍යකරණයේ නියුතු වෘත්තිකයන් වෙනුවෙන් “ශ්‍රී ලංකා ඩිජිටල් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය” (Digital Journalists Association of Sri Lanka) නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම නව සංවිධානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ, ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වෘත්තීයභාවය, ආචාරධාර්මික භාවිතාවන් සහ වගවීම් සහගත වාර්තාකරණය ප්‍රවර්ධනය කිරීමයි.
සංගමයේ දියත් කිරීමේ උත්සවයේදී අදහස් දැක්වූ එහි උපදේශිකා, ප්‍රවීණ මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම, මෙවැනි සංවිධානයක අවශ්‍යතාව දීර්ඝ කාලයක සිට පැවති බව අවධාරණය කළාය. විශේෂයෙන්ම, ඔන්ලයින් ආරක්ෂණ පනත වැනි මාධ්‍ය ක්ෂේත්‍රයට සෘජුව බලපාන නීති සම්පාදන ක්‍රියාවලීන්හිදී ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ හඬ නියෝජනය වීමේ පැහැදිලි හිඩැසක් පැවති බව ඇය පෙන්වා දුන්නාය. “අදාළ අමාත්‍යවරයාගෙන් අප විමසූ විට, ඩිජිටල් මාධ්‍යවේදීන් ලෙස සාකච්ඡා කිරීමට නිල ආයතනයක් නොමැති බව පැවසුවා. එම අඩුපාඩුව පිරවීම මෙම සංගමයේ මූලික අරමුණක්,” යනුවෙන් ඇය සඳහන් කළාය.
සංගමය සියලු ජන වර්ග සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නියෝජනය වන පරිදි, සියලු දෙනා ඇතුළත් කරගන්නා ව්‍යුහයක් මත ක්‍රියාත්මක වන බවද මන්දනා ඉස්මයිල් අබේවික්‍රම වැඩිදුරටත් අවධාරණය කළාය.
මෙම අවස්ථාවට එක්වෙමින්, සංගමයේ සභාපති මංජුල බස්නායක ප්‍රකාශ කළේ, ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ සත්‍ය සහ අසත්‍ය තොරතුරු අතර වෙනස හඳුනාගැනීම වර්තමානයේ ප්‍රධාන අභියෝගයක් වී ඇති බවයි. “අතීතයේ තොරතුරු හිඟකම අභියෝගයක් වුවත්, අද වන විට තොරතුරු බහුලත්වය සහ එහි නිරවද්‍යතාවය තහවුරු කිරීම අභියෝගයක් වෙලා. මෙම තත්ත්වය තුළ, යම් නියාමන ක්‍රියාවලියක් සහ ආචාරධර්ම පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වීමට අපි බලාපොරොත්තු වෙනවා,” යැයි ඔහු පැවසීය.
සංගමයේ ලේකම්, තුෂාරා සෙව්වන්දි සඳහන් කළේ, තොරතුරු දැනගැනීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරක්ෂිත කරමින්, වගකීම් සහගත සහ සංවර්ධනාත්මක මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සංගමයේ අරමුණ බවයි. උතුරු, නැගෙනහිර, වතුකරය ඇතුළු දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය වන පරිදි දෙමළ සහ මුස්ලිම් මාධ්‍යවේදීන් ද සංගමයට සම්බන්ධ වන ලෙසද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
මෙම සංගමය, ඩිජිටල් මාධ්‍යවේදීන්, යූටියුබ් නාලිකා හිමිකරුවන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අතර වෘත්තීයමය වෙනසක් ඇති කරමින්, ආචාරධාර්මික රාමුවක් තුළ කටයුතු කිරීමට මග පෙන්වීම අපේක්ෂා කරයි. එමෙන්ම, ඩිජිටල් මාධ්‍යකරණය හා සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ නීති සම්පාදනයේදී රජය සහ අනෙකුත් පාර්ශ්ව සමඟ සෘජුව මැදිහත් වීමට ද සංගමය සූදානමින් සිටී.
ශ්‍රී ලංකා ඩිජිටල් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය:
උපදේශිකා: මන්දනා ඉස්මයිල් අබේවික්‍රම
සභාපති: මංජුල බස්නායක
උප සභාපති: නිරෝෂ් මෛත්‍රී
ලේකම්: තුෂාරා සෙව්වන්දි
උප ලේකම්: අභිෂේක් ප්‍රනාන්දු
කැඳවුම්කරු: මනෝජ් රත්නායක
භාණ්ඩාගාරික: සචිත්‍ර වික්‍රමනායක















