
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සහ ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය කමිටුවේ සභාපති වන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඊයේ (26/08/2025) සවස මීගමුව දිස්ත්‍රික් මහා රෝහල වෙත පැමිණ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය . මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා, මීගමුව ආසනය භාර, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාද සහභාගි විය.
මීගමුව, දිස්ත්‍රික් මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පුෂ්පා ගම්ලත් මහත්මිය සහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම එහි කාර්ය මණ්ඩල ප්‍රධානීන් ඇතුළු පිරිසක් අමාත්‍යවරයාගේ මෙම රෝහල් නිරීක්ෂණ චාරිකාව සංවිධානය කර තිබිණි .
මෙහිදී මුලින්ම රෝහල් අධ්‍යක්ෂකවරිය විසින් එම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටි අමාත්‍යවරයා ඇතුළු පිරිස ට මීගමුව දිස්ත්‍රික් මහා රෝහල පිළිබඳව ඉතිහාසය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳවත් එලෙසම රෝහලේ අනාගත අභිවෘද්ධීන් පිළිබඳව සහ දැනට රෝහලට සාක්ෂාත් කර ගැනීමට ඇති අභියෝගයන් පිළිබඳවද කෙටි සමාලෝචනයක් ඉදිරිපත් කලාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂකවරිය රෝහලේ භූගෝලීය පිහිටීම පිළිබඳවත් මීගමුව වැනි සුවිශේෂී ප්‍රදේශයක මෙම රෝහල ස්ථාපිත වීම , මෙම රෝහල කෙතරම් ප්‍රමුඛ සහ ලක්ෂ සංඛ්‍යාත වු පිරිසකට වැදගත් රෝහලක් බවට වී ඇති ආකාරය පිළිබඳවද පැහැදිලි කළාය.
ඉන් පසුව රෝහලේ දැනට පවතින අඩුපාඩුකම් සහ අනාගතයේ සපුරා ගත යුතු අඩුපාඩුකම් රැසක් පිළිබඳවද අමාත්‍යවරයාගේ අවධානයට ලක් කෙරිණි. විශේෂයෙන්ම රෝහල තුළ විශේෂඥ වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම ඖෂධවේදීන්, රසායනාගාර කාර්මික ශිල්පීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවේ ඇති පුරප්පාඩු පිළිබඳවද එලෙසම කම්කරුවන් හා උපස්ථායකවරුන් ඇතුළු සුළු සේවක පුරප්පාඩු පිළිබඳවද තවද රෝහලේ අනිකුත් සේවා සපයන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු පිළිබඳවද මෙහිදී විශේෂ ආකාරයෙන් අවධානයට ලක් කෙරිණි.
මෙහිදී රෝහල් අධ්‍යක්ෂවරිය පෙන්වා දුන්නේ පසුගිය කාලය තුළ රෝගී ජනතාවට සුව සේවා සැපයීම සඳහා රෝහල් පරිශ්‍රය තුල තහඩු යොදා සැදූ ගොඩනැගිලි මේ වන විට ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වෙමින් ඇති බවයි. ඒ අනුව විධිමත් යෝජිත නව ගොඩනැගිල්ලක් රෝහලට අවැසිම කාලය එළඹ ඇති බවද ඇය සඳහන් කළාය. එලෙසම දැනට වැඩ නිම කරවා ගත නොහැකිව තිබෙන මෘත ශරීරාගාරය ඇතුළු අධිකරණ විශේෂඥ වෛද්‍ය සංකීර්ණයද ,අඩුපාඩු සහිතව ඇති හෘද රෝගී ඒකකය පිළිබඳවද මෙහිදී අවධානයට ලක් කෙරිණි.
ඉන් පසුව රෝහල තුළ දැනට මහත් අඩුපාඩුවක්ව පවතින සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් මේ වසර තුළ හෝ ලබා ගැනීමට යම් මැදිහත්වීමක් කරන ලෙස රෝහල් අධ්‍යක්ෂකවරිය විසින් අමාත්‍යවරයාගේ විශේෂ ඉල්ලීමක් ද කළාය. එහිදී අදහස් දැක්වූ රෝහලේ විකිරණවේදී විශේෂඥ වෛද්‍ය වසන්ත හේවාපතිරන මහතා සඳහන් කළේ වසර කිහිපයක් තිස්සේම අවස්ථා ගණනාවකදීම මීගමු රෝහලට සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රකාශ කළ ද කුමන හෝ හේතුවක් නිසා එය අවසානයේ සිදු නොවන බවයි. විශේෂයෙන්ම ඔහු වැඩිදුරටත් එහිදී අවධාරණය කළේ කටුවපිටිය දේවස්ථානය තුළ සිදු වූ බෝම්බ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී මීගමුව රෝහලට සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් තිබුණේ නම් තවත් ජීවිත ගණනාවක් බේරා ගැනීමට හැකියාව තිබූ බවයි. එලෙසම මෙම සාකච්ඡාවට එක්වෙමින් අදහස් දැක්වූ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් විජේතුංග මහතා පැවසුවේ රෝහලේ මේ වන විට දැඩි ඖෂධ හිඟයක් පවතින බවයි. විශේෂයෙන්ම රෝහලේ ප්‍රතිජීවක ඖෂධයන් වල දැඩි හිඟයක් පවතින බවත් විශේෂයෙන්ම මිල ගණන් අඩු ඖෂධ හෝ රෝහලේ නොතිබීම නිසා ප්‍රතිකාර පතා රෝහල වෙත පැමිණෙන ජනතාවට විශාල අපහසුතාවන් වලට ලක් වීමට සිදුවන බව ප්‍රකාශ කළේය . එවැනි පසුබිමක් තුළ රෝගී ජනතාව හමුවේ රෝහලේ වෛද්‍යවරුන්ද දැඩි අපහසුතාවයකට පත්වෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙය රෝහලේ වෛද්‍යවරුන් මුහුණ දෙන සුවිශාල ගැටලුවක් බවත් අඩුම තරමින් අඩු මිල ගණන් යටතේ ඇති ඖෂධ හෝ අඛණ්ඩව රෝහලට සපයා ගැනීමට මැදිහත්ව, ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් ඔහු අමාත්‍යවරයාගෙන් මෙහිදී ඉල්ලීමක් ද කළේය.
මෙම සාකච්ඡාමය අවස්ථාවෙන් පසු අමාත්‍යවරයා මීගමු රෝහලේ බොහෝ අංශයන් සහ අඩුපාඩු පිළිබඳව නිරීක්ෂණයට ලක් කළේය.
ඉන්පසුව රෝහල් නිරීක්ෂණ චාරිකාව වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මීගමු රෝහල සම්බන්ධව සිය අදහස් මෙලෙස ප්‍රකාශ කළේය.
” මම ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් නිරීක්ෂණය කරනවා,රෝගීන් වෙනුවෙන් කරන්ඩ පුළුවන් දේ ගැන සොයා බලනවා, මෙය ප්‍රාදේශීය රෝහලක් නෙමේ, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන රෝහලක්,
මෙම රෝහලට සී.ටී ස්කෑන් යන්ත්‍රයක් නැති බව දැනගන්ඩ ලැබුණා,මම අදත් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ මේ ගැන කතා කළා,අනිවාර්යෙන්ම ලබන වසරේ මුල මෙම රෝහලට සී.ටී. ස්කෑන් යන්තරයක් ලබාදීමට කටයුතු කරනවා,මෙම රෝහල කටුනායක ගුවන්තොටුපොළ ආසන්නයේ තිබෙන ප්‍රධාන රෝහලක්,යම් අවස්ථාවක ගුවන් අනතුරක් සිදුවුවහොත්, එම අයට ප්‍රතිකාර කිරීමට තිබෙන්නේ මෙම රෝහලයි, ඒ නිසා මෙම රෝහල උසස් තත්වයෙන් තිබීම ඉතා වැදගත් වෙනවා,අඩුපාඩු තියෙනවා ටික ටික විසඳාගමු.
රෝහලේ වෛද්‍ය මණ්ඩලේ අඩුවක් නැහැ, එහෙත් හෙදි කාර්ය මණ්ඩලයද සුව සේවකයන්ගේ ද අඩුවක් තිබෙනවා, එම අය බඳවා ගැනීම යම් ක්‍රියා පිළිවෙතකට අනුව සිදුවිය යුතුයි,ඒ ගැනත් කඩිනම් විසඳුම් දෙනවා,විශේෂයෙන් අධ්‍යක්ෂක තුමිය කිව්වා නව ගොඩනැගිල්ලක් සඳහා සැලැස්මක් හදලා තියෙනවා කියලා,එය සිදුකළහොත් පවතින අඩුපාඩු බොහොමයක් විසඳා ගැනීමට හැකි වෙයි, “












