හිටපු අමාත්‍ය නිමල් ලන්සා 2006 වසරේ සිදු වු ගිනි අවි ආඥා පනතට යටත් වන සිදුවීමකට අදාළව අද දින (29/08/2025) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් එළඹෙන සැප්තැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
මෙම නඩුව කැඳවනු ලැබුවේ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා ඉදිරියේදීය. මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ හිටපු අමාත්‍ය නිමල් ලංසා සහ මීගමුව මහා නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න යන විත්තිකරුවන් දෙදෙනාව කොච්චිකඩේ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පසුගිය 2006 මාර්තු 08 වැනිදා රුද්‍රිගුගේ සුනිල් විල්බට් සිල්වා යන අයගේ නිවසට රාත්‍රියේ 100 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සමග ඇතුල් වී වෙඩි තැබීම, රුපියල් ලක්ෂ 28 ක දේපල හා රන් භාණ්ඩ මංකොල්ල කෑම ඇතුළු ගිනි අවි අඥා පනතේ 26 වන වගන්තිය යටතේ ඇප ලබා දීමට නොහැකි වරදක් සිදු කර ඇති බැවින් ඇප ප්‍රතික්ෂේප කරන බවත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ” බී ” වාර්තාවක් ගොනු කරමින් කොච්චිකඩේ පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරික්ෂක විල්ලෝරාආරච්චි මහතා කරුණු දක්වමින් සඳහන් කළේ 2006.03.08 දින රාත්‍රි 10.30ට පමණ ජොසප් මයිකල් පේරේරා මාවතේ නිවසකට ඇතුළු වී දේපල මංකොල්ලකෑම සහ අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 19 දෙනෙකු සැකකරුවන් කර නඩු පවරා ඇති අතර එම නඩුව සඳහා ඊයේ දින (28/09 /2025 ) නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු බවත් අනුව නිමල් ලන්සා සහ බන්දුල නාඔටුන්න යන පුද්ගලයන් දෙදෙනා අත තුවක්කු තිබු බව සාක්ෂිකරුවන් තිදෙනෙකුගේ සාක්ෂි මත පෙනී යන බැවින් ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව මේ පුද්ගලයන් දෙදෙනා අද (29/08) උදැසන කොච්චිකඩේ පොලිසියට පැමිණි බවත් එහිදී අත්අඩංගුවට ගත් බව පොලිස් පරික්ෂකවරයා සඳහන් කළේ ය. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ ගිනි අවි අඥා පනතේ 26 වෙනි වගන්තිය ප්‍රකාරව වරදවල් සිදුව ඇති බවත් තව දුරටත් විමර්ශන සිදු වන බැවින් සාක්ෂිකරුවන්ට බලපැම් සිදු විය හැකි බැවින් ඇප ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස යි.
මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ ඒකී ගිනිඅවි සොයා ගෙන ඇතිද යන්නයි. ඊට පිලිතුරු දෙමින් පොලිස් පරික්ෂක වරයා සඳහන් කළේ එම ගිනි අවි හෝ මංකොල්ල කෑ භාණ්ඩ මෙතෙක් සොයාගෙන නොමැති බවයි.
එහිදී සැකකරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ මේය දේශපාලන පලිගැනීමක් බවත්, මේ සිද්ධිය සිදුවන අවස්ථාවේ මෙම සැකකරුවන් දෙදෙනා පොලිසියේ සිටි බවට එවකට සිටි පොලිස් ස්ථානාධිපතිවරයා දුන් වාර්තාවක සඳහන් කර ඇති බවයි. එහිදී නීතිඥවරයා එම සටහන ඇතුළත් වාක්‍ය විවෘත අධිකරණයේදී උපුටා දැක්වීය.
එහිදී පැමිණිලිකරු වන සුනිල් විල්බට් සිල්වා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙම පැමිණිලිකරු සහ විත්තිකරුවන් ඒකල දේශපාලන පක්ෂ 02 කින් මැතිවරණ සඳහා ඉදිරිපත් වු බවත් මේ වන විට ඔවුන් හොඳ මිතුරන් බැවින් මෙම නඩුව සමථයකට පත් කරගැනීමට දැනට ඔස්ට්‍රේලියාවේ ජිවත් වන පැමිණිලිකරු එරට මහා කොමසාරිස් කාර්යාලය හරහා දිවුරුම් ප්‍රකාශයක් එවා ඇති බවයි.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ එලෙස සමථයකට පත් වන්නට යන්නේ වසර 19ක් ගතවන තුරු යුක්තිය ඉටු නොවීම පිළිබඳව කලකිරීමෙන් බවට, තම අධිකරණයට හැගී යන බවයි, එමෙන්ම වසර ගණනාවක් ගෙවී ගියද මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානය යොමු විම සම්බන්ධයෙන් තම අධිකරණය සලකා බලන බවයි. එමෙන්ම මෙහිදී වරදක් සිදු කර ඇති බව තම අධිකරණයට පෙනී යන බවත් එබැවින් ඇප ප්‍රතික්ෂේප කරන බවත් ඒ අනුව ලබන 12 දක්වා (12/09/2025) රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළේය. එමෙන්ම නීතිපතිවරයාට උදෘත යැවීම සඳහා කඩිනමින් විමර්ශන අවසන් කර විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කළේය.
මෙහිදී රක්ෂිත බන්ධනාගත කළ හිටපු ඇමති නිමල් ලංසාට වෛද්‍ය ප්‍රතිකාර සහ බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස ද විත්තියේ පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කලේ , අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් විත්තිකරුට සලසන ලෙසයි.
විත්තිකාර පාර්ශවය වෙනුවෙන් ශාන්ත නිරිඇල්ල , ඉන්දික සිල්වා, සහ එම්.බී.එම්.මාහීර් ඇතුළු නීතිඥමඩුල්ලක් පෙනී සිටි අතර පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.
කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙනුවෙන් අධිකරණය වෙත කරුණු දැක්වූයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක විල්ලෝරාආරච්චි මහතා සහ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ජනක ගුණසේකර මහතාය.
මෙම සිදුවීම සම්බන්ධව මීළඟ නඩු වාරය එළඹෙන සැප්තැම්බර් 12 වැනි දින (12/09/2025) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වේ.












