මීගමුව දිස්ත්‍රික්කයක් කරන්න ! – එම්මානුවෙල් පියුම්වර්ධන

0
1304

එම්මානුවෙල් පියුම්වර්ධන මහතා මීගමුව කලාපීය ශසනාරක්ෂක  කතෝලික බලමන්ඞලයේ ලේකම්වරයායි. ඔහු වෘත්තියෙන් ජනමාධ්‍යවේදියෙකු හෝ මාධ්‍ය වාර්තාකරුවෙකු නොවුනත් ඥානාර්ථ ප්‍රදීපය ඇතුළු බොහෝ පුවත්පත් සඳහා වැදගත් ප්‍රවෘත්තීන් ඇතුළු විවිධවු විශේෂාංගයන්, පලකරන ලේඛකයෙකු ලෙසද ප්‍රකටය.

මධ්‍යම පාන්තික පවුල් පසුබිමක් ඇති පියුම්වර්ධන මහතා බෝලවලාන  විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත්, මීගමු ශාන්ත මරියා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා පසුව ශ්‍රී ලංකා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඉලෙක්ට්‍රොනික් අංශයේ රැකියාවක නිරත විය. ඔහු අනතුරුව විදේශගත රැකියාවන්වල ද නිරත විය.. අවසානයේ ඔහු බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි “තෝමස් ඩිලාරෝ ” නැමැති මුදල් නෝට්ටු මුද්‍රණය කරන විදේශීය ආයතනයක,  ඉලෙක්ට්‍රොනික් අංශයේ රැකියාවක ද නිරතව ඇත. මේ වන විට තමාගේ ව්‍යාපාර කටයුතුවල නිරත වෙමින් විවේක සුවයෙන් පසුවන එම්මානුවෙල් පියුම්වර්ධන මහතා මීගමු ප්‍රදේශය  තුල සිදුවන පොදු වැඩ වලදී මෙන්ම සමාජ සේවාවේ ද නිරත වන අයෙකි.
කතෝලිකයන්ගේ උරුමයන් සහ අයිතීන් වෙනුවෙන් මෙන්ම කතෝලික බැතිමතුන්ට මුහුණ දීමට සිදුවන  විවිධාකාර ප්‍රශ්න ගැටලු වලට මැදිහත් වෙමින් ඒවාට ඉක්මන් විසඳුම් සෙවීම සඳහා ඔහු මැදිහත්ව කටයුතු කරයි.  එලෙසම ඔහු   මීගමුව පිළිබඳවද දැඩි ආන්දෝලනාත්මක අදහස් නිර්භයව සමාජය හමුවේ ප්‍රකාශ කරන අයෙකු ලෙසද ප්‍රකටය. ඒ අනුව මෙවර
” මීපුර ” වෙබ් අඩවියේ පලවන “කතාබහ” තුළින් ඔහුගේ අදහස් වලට ඉඩහසර වෙන් කරන්නට තීරණය කෙලෙමු. මේ පහත පලවන්නේ ඔහු සමගින් සිදුකළ කතාබහේ සංක්ෂිප්ත සටහනකි..

ඔබ ලේකම් ධූරය දරන ” මීගමුව කලාපීය කතෝලික ශාසනාරක්ෂක බල මණ්ඩලය” කියන මේ සංවිධානය ගැනත් එහි අරමුණු සහ පරමාර්ථයන් ගැනත් දැනගන්න කැමතියි  ?
අපේ මේ ඉන්න නිවස පිහිටලා තියෙන ගල්කන්ද හන්දිය ප්‍රදේශය මුලින්ම අයත් වුනේ කුරන ශාන්ත ආනා දේවස්ථාන  මීසමට. මම එතකොට ඒ මීසම් සභාවේ ලේකම්. පසුව අපේ මේ පදිංචි ප්‍රදේශය බෝලවලාන දේවස්ථාන මීසමට තමයි සම්බන්ධ වුනේ. ඉතින් මම කුරන මීසමේ  අවුරුදු 10 ක් විතර ලේකම් තනතුරේ සිට ඉවත් වුණා. එහෙම ඉන්නැද්දි තමයි අපි කතෝලික ශාසනාරක්ෂක බල මණ්ඩලය කියලා සංවිධානයක් පිහිටුවා ගත්තා.මොකද ඒ වෙද්දි මීගමුවේ වෙසෙන කතෝලිකයන්ට විශාල කෙනෙහිලිකම් රාශියක් සිදුව තිබුණා. ඒ වගේම කතෝලිකයින්ට මුහුණ දෙන්න සිදුවුණු ප්‍රශ්න ගැටලු රාශියක්ද තිබුණා. ඒ ප්‍රශ්න ගැටලු කෙනෙහිලිකම් හුඟක්ම දේශපාලනමය පාර්ශවෙනුත් ඒ වගේම, වෙනත් ආගමික පාර්ශවයන්ගෙනුත් සිදුවුණා. ඒවා හුඟක්ම යටිකුට්ටු වැඩ විදිහට තමයි සිදුවුණේ. ඒවා හුඟක් අභ්‍යන්තරයෙන් තමයි සිදුවුණේ, එළිපිට සිදුවුණේ නැහැ. ඉතින් අපි ඒවා හඳුනගෙන ඒවට එරෙහිව අපි සටන් කරන්න පටන් ගත්තා. අපි පළමුවෙන්ම පිහිටුවා ගත්තේ
” හෙළ කිතුනු උරුමය ”  කියලා සංවිධානයක්. ඒ සංවිධානය අපි ආරම්භ කළේ ආනන්ද විතානගේ පියතුමාගේ මූලිකත්වයෙන්. ඒ සංවිධානය හරහා අපි කටයුතු කළේ මේ රටේ අපේ කිතුනුවන්ගේ උරුමය ආරක්ෂා කර ගැනිම සඳහා වන කාර්යභාරයන් තමයි..  ඒ අනුව අපි සෑහෙන කාලයක් අපේ ඒ සංවිධානය හරහා අපි වැඩ කටයුතු කරගෙන ගියා. ඉන් අනතුරුව ඒ කියන්නේ 2010 වර්ෂයේ විතර වගේ මීගමුව කලාප නාහිමි ලෙස  පැට්‍රික් පෙරේරා පියතුමා පැමිණියා.ඒ පියතුමාගේ පැමිණීමත් එක්ක 2011 වසරේ දී පමන  අපි කතෝලික සාසනාරක්ෂක බල මණ්ඩලය පටන් ගත්තා. දැන් ඔය සංවිධානයට තමයි පසු කාලයේදී ” මීගමුව කලාප කතෝලික සාසනාරක්ෂක බල මණ්ඩලය ”  කියලා නම වෙනස් වීමක් වුණේ. ඒ අනුව මේ සංවිධානයේ සභාපති විදිහට පියතුමෙක් ඉන්නවා. මම මේ සංවිධානයේ ලේකම්. මීගමුවේ සෑම මිසමක්ම නියෝජනය වෙන ආකාරයට  100 ක් පමණ සාමාජිකයෝ ඉන්නවා, මේ සංවිධානයට. ඉතින් මේ සංවිධානය පරමාර්ථය අර මා මුලින් කිව්ව විදිහට කතෝලිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සහ කතෝලිකයින් මුහුණ දෙන ප්‍රශ්න ගැටලු අර්බුදයන් අවස්ථාවලදී ඒවාට විසඳුම් සෙවීම සඳහා මැදිහත්වීම තමයි ,මේ සංවිධානයේ මූලික පරමාර්ථ බවට පත්වෙන්නේ.

ඔබ මේ මෑතකදී යම් දැඩි ප්‍රකාශයන් සිදුකළා මේ මීගමුවේ පරිපාලනය සහ මීගමුවේ සමහර භෞතිකමය දේවල් ඉක්මනින්ම වෙනස් විය යුතුයි කියලා. ඔබ එහෙම  ප්‍රකාශයන් කරන්නට හේතු පාදක වුන කරුණු මොනවාද ?.

159 The West Coast Negombo 154590 Main banner TWC Negombo

විශේෂකොටම මීගමුව කියලා කියන්නේම ගම්පහ කියන මේ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන සහ පළමුවැනි මහා නගර සභා බල ප්‍රදේශය වගේම වැඩි ජනතාවක් ජීවත් වන ප්‍රදේශය. හැබැයි අපි කතෝලිකයෝ වුන නිසා අපිට වෙච්ච අසාධාරණයන් තුළ මීගමු කියලා වෙනම දිස්ත්‍රික්කයක් විදිහට ස්ථාපිත කරන්නේ නැතුව ඒක ගම්පහට දුන්නා එක්තරා කාලවකවානුවකදී. එක්තරා ආණ්ඩුවක් ඒක ඒ විදිහට කෙරුවේ දේශපාලන වාසියට. ඒ හරහා මීගමුවට කුඩම්මගේ සැලකිලි ලැබෙන්න පටන් ගත්තා. මේ දිස්ත්‍රික්කයට අයත්ව තියෙනවා  හාපිටිගම් කෝරළය, සියෙනෑ ( නැගෙනහිර / බටහිර ) කෝරළය සහ  අළුත්කුර ( උතුර / දකුණ ) කෝරළය  වශයෙන්.  දැන් හාපිටිගම් කෝරලයට තියෙන්නේ එක ආසනයයි. ඒ මිරිගම ආසනය.  එතකොට ජාඇල, වත්තල , මිනුවන්ගොඩ , කටාන , මීගමුව,සහ  දිවුලපිටිය , කියන්නේ අළුත්කුර කෝරළයේ නාමයෙන් ප්‍රසිද්ධ ප්‍රදේශ. එතකොට අපිට හැඟීමක් ආවා මෙතන , අපිට අවශ්‍යයි මීගමුව කියලා දිස්ත්‍රික්කයක් කියන එක. මොකද හේතුව අපිට කෙනෙහිලිකම් කරලා සියලුම වරප්‍රසාද ලබාගන්නවා සියනෑ කෝරලය. එතකොට මේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් සියනෑ කෝරලයට තමයි ඒ වරප්‍රසාද වැඩිපුරම ගලාගෙන යන්නේ. මෙතනදී වරප්‍රසාද කියලා කියන්නේ දැන් උදාහරණයක් හැටියට කිව්වොත් රජයෙන්  ප්‍රාදේශීය ලේකම් කෙනෙක් එව්වොත් මෙහාට (මීගමුවට)  එවන්නේ අඩු ශ්‍රේණියේ ප්‍රාදේශීය ලේකම්වරයෙක්. දැන් තමයි ඔය පළමු ශ්‍රේණියේ ප්‍රාදේශීය ලේකම්වරියක් මෙහාට එවලා තියෙන්නේ.. ඒ වගේ ඔය පුරුදු පුහුණු වෙන්න ඉන්න නිලධාරීන්ව තමයි මෙහාට එවලා තියෙන්නේ. අධ්‍යාපන අංශයෙනුත් එහෙමයි. පොලිසියත් එහෙමයි. දැන් මේ කෙනෙහිලකම් මැද්දේ අපිට තේරුම් ගියා මේ මීගමුවට මේ විදිහට කුඩම්මගේ සැලකිලි ලැබෙන්නේ එක්තරා විදිහක බලපෑමක් හරහා කියලා.

විශේෂයෙන්ම  ඕකට බලපාන ප්‍රධාන හේතුවක් වුණේ ඉස්සර තිබුණා මේ ලංකාවේ ” හෙළ උරුමය ” කියලා එකක්. ඔය හෙළ උරුමය තුළින් තමයි මේ හැම දෙයකටම ඇඟිලි ගහලා , හැම තැනක්ම එයාලගේ පාලනයට නතු කරගෙන , එක්තරා විදිහකට පාලන බලයක් ඇති කරගන්න උත්සාහ කළා. හෙළ උරුමය කියලා කියන්නේ දේශපාලන පක්ෂයක්. ඒ හරහා සිදුවුණු යටි කූට්ටු සූස්තර වැඩ හරහා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල,ඒ වගේම වෙනත් රජයේ ආයතන වල වැඩ කටයුතු සිද්ධ වුණේ. මේ හෙළ උරුමය කියන එක මතු වෙන්නේ වර්ෂ 2000න් පසුව. එහෙම මතුවෙලා තියෙද්දි මේ මීගමු ප්‍රදේශයට සිද්ධ වුණේ ඒ අඩුපාඩුකම් මැද තමයි ඒ කියන්නේ අපේ අධ්‍යාපනය, අදත් අඩු වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ අධ්‍යාපනයට අවශ්‍ය නියම සුදුසුකම් තියෙන ගුරුවරු නෑහැනේ. මීගමුවේ  අධ්‍යාපනය තියෙන්නේ දැනුත් අඩු මට්ටමක.

මම මෙතනදී ඔබට පුංචි බාධාවක් කරනවා. ඔබ ඔහොම ප්‍රකාශයක් කෙරුවට, මීගමුව කියලා කියන්නේ ජනප්‍රියම පාසල්,  තව ජනප්‍රියතම ජාත්‍යන්තර පාසල් එහෙම තියෙන, අධ්‍යාපනයට ජනප්‍රිය ප්‍රදේශයක්නේ ?

එහෙම තමයි කවුරුත් කියන්නේ නමුත් ශිෂ්‍යත්ව ප්‍රතිඵල බැලුවාහම ඒක තේරෙනවා. ජනප්‍රිය පාසල් තමයි. ඒවා ජනප්‍රිය පාසල් වුනාට ඒ වගේ උගන්වන්න දාලා තියෙන ගුරුවරු කවුද . ඒ පිළිබඳවනේ. බලන්න ඕනේ.

ඔබ ගුරුවරු කියලා අදහස් කරන්නේ මීගමුවේ පාසල් වල ඉන්න රජයේ ගුරුවරු ගැන ද ?
ඔව් . රජයේ ගුරුවරු තමයි. ඒ රජයේ ගුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් දිහා බලපුවහම ගම්පහ පාසල් වල ඉන්න ගුරුවරු සහ මෙහේ ඉන්න ගුරුවරුත් එක්ක සම කරන්න කොහොමටවත් බැහැ. ඒ කියන්නේ ගම්පහ ඉන්නේ හොඳම පලපුරුදු ගුරුවරු. ඒ කියන්නේ ස්ප්‍රීට් ටික එහේ. ඉතින් මේ දේවල් වලට සටන් කිරීමේ ව්‍යාපාරයක් විදිහට තමයි ,අපි ඉල්ලන්න පටන් ගත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කඩලා අපේ මේ අලුත්කූර කෝරළය කියන කොටස අපට ” මීගමුව ” දිස්ත්‍රික්කය කරලා ලබා දෙන්න කියලා. ඉතිං , අපේ ඒ සටන තාමත් ක්‍රියාත්මකව තියෙනවා.  ඉතින් මේ ඉල්ලීම සම්බන්ධව අපි සංවිධානයක් හැටියට අපි හැමතිස්සෙම වගකිවයුතු හැම කෙනෙකුටම කියනවා ඒ වගේම අපි ඒ අයට හැම තිස්සෙම මේ ඉල්ලීම සම්බන්ධව ලියනවා. ඉතින් එහෙම නොකලා නම් උදාහරණයක් හැටියට කියනවා නම් මෙහේ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයෙක් මිය ගියා.ඔහු මිය ගියාට පස්සේ ප්‍රාදේශීය ලේකම්ලාට වැඩ පුරුදු වෙන්න මෙහාට එවනවා. ඉතිං අපි ඒක නැවැත්තුවා පස්සේ අපි රජයට ලිව්වා. මෙහෙම කරන්න එපා කියලා, අපිට පලපුරුදු ප්‍රාදේශීය ලේකම්වරයෙක් එවන්න කියලා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි වර්තමාන ප්‍රාදේශීය ලේකම්වරියව මෙහාට එවලා තියෙන්නේ.

ඒ වගේම මේකේ තව පැත්තක් තියෙනවා, අපි තේරුම් ගත්තු නැති මිගමුව කියලා කියන්නේ බුද්ධිමතුන්ගේ පුරවරයක් වගේම පාරම්පරික ධීවර කර්මාන්තයේ පුරවරයක් .මේකෙ බුද්ධිමතුන් ඉන්නවා. මේකේ ඉන්න සීයට හැටක් බුද්ධිමතුන්. කලාකරුවෝ කියන්නේ තව පිරිසක්. ඒ කියන්නේ ඉංජිනේරුවන් , වෛද්‍යවරුන්, තාක්ෂණ ශිල්පීන්, ඝණකාධිකාරවරුන් ඇතුළු විශාල පිරිසක් ඉන්නවා , මොලේ කොළඹ හරි කොහේ හරි අරන් ගිහිල්ලා, අලෙවි කරලා, සවසට ගෙදර එන අය. එතකොට ධීවරයෝ කියලා කියන්නේ රාත්‍රී කාලයට තමන්ගේ ඇඟේ පතේ වෙහෙස මහන්සියෙන්, පලපුරුද්දෙන් මේ රටට සේවය කරන අය. මෙතන දෙපිරිසක් ඉන්නවා, මේ මැද්දට ඇවිල්ලා ඉන්නවා අලුත් පිරිසක් සංචාරක ව්‍යාපාරය ප්‍රගුණ කරන පිරිසක්. ඒ අය ප්‍රගුණ කරන්න හදන්නේ මේ සංචාරක ව්‍යාපාරය. එතකොට මේ සංචාරක ව්‍යාපාරය ආරම්භය සිදුවන්නේ  1966 වසරේ ආපු පනතකින්. ඊට කලින් මීගමුව කියන්නේ සංචාරක පුරවරයක් නෙමෙයි. පළමුවෙන්ම මෙහේ  ආරම්භ වුණේ “බ්‍රවුන්ස් බීච්”  හෝටලයයි, තලාහේනේ ” බ්ලු මූන් ” හෝටලයයි. ඔය හෝටල් දෙකට පසුව තමයි අනෙක් හෝටල් සියල්ලක්ම ආරම්භ වුණේ. දැන් ඒකට සිද්ධ වෙලා තියෙන ප්‍රධාන විපත තමයි , අපේ ධීවර ගම්මාන පිටින්ම සංචාරක ව්‍යාපාරයට පුදලා. වැල්ලවීදියේ සිට පොරුතොට දක්වා ඒ තීරුවේ හිටපු ධීවර ජනතාවට මොකද වුනේ .

ඉතිං ඒ ධීවර ජනතාවත් ඔය හෝටල් ආශ්‍රිතවම ඉන්නවා නේද ?

sri lanka negombo fish market fishermen1negombo lagoon

නැහැ, කොහෙද ඉන්නේ. මට පෙන්නන්න එක ඔරුවක් තියෙනවද කියලා. එක ධීවර දැලක් තියෙන තැනක් පෙන්වන්න. දැන් ධීවරයන්ගේ ඔරු බෝට්ටු නතර කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඕලන්ද ඇලේ (හැමිල්ටන් ඇලේ). ඊට අමතරව මුන්නක්කරේ කලපුවේ. එතකොට මේක එක්තරා විදිහකට විශාල අගතියක්. මොකද ඒ මිනිස්සුන්ගේ පාරම්පරික පුරවරය තුළ ,ඒ මිනිස්සුත් ඉඳගෙන, සංචාරක ව්‍යාපාරය කළාට කමක් නෑහැ. ඒ කියන්නේ ධීවර කර්මාන්තයයි සංචාරක කර්මාන්තයයි එකට ගියාට කමක් නෑහැ. නමුත් දැන් වෙලා තියෙන්නේ, සංචාරක ව්‍යාපාරය නිසා සංචාරකයන්ට කැතයිලු, මුහුද අයිනේ ධීවරයා. දැන් හෝටල් බලධාරීන් මුහුදු වෙරළ අයිනේ එක දැලක් බේරෙන්න දෙන්න නැහැ. ධීවරයින්ගේ කිසි දෙයක් තියන්න දෙන්නෙත් නැහැ. දැන් ධීවරයන්ට ඉන්න තැනක් නැහැ. දැන් ධීවර පිරිස ඇලට බැහැලා ( හැමිල්ටන් ඇලට ). දැන් ඇල ශුද්ධ කරන්න හදනවා, සංචාරක ව්‍යාපාරයට ගන්න ඕනේ කියලා, ඇලේ තියෙන බෝට්ටු ටික ගන්න කියනවා. එතකොට ඒ මිනිස්සු බෝට්ටු ටික දාන්නේ කොහෙද එතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එනිසා අපි යෝජනා කලා ධීවර වරායක්. එහෙම ධීවර වරායක් නොදී සංචාරක ව්‍යාපාරයට කියලා ධීවරයන්ව ඉවත් කරන්න බෑහැ. සංචාරක ව්‍යාපාරය තියෙන්නේ මුදල් සොයන්න පමනයි. මම පැහැදිලිවම කිව්වා, සංචාරක කර්මාන්තය සම්බන්ධීත බලධාරියොත් එක්ක සාකච්ඡා කරද්දීත් කිව්වා, සංචාරක ව්‍යාපාරය කලත් කමක් නැහැ, හැබැයි මේ සංචාරක ව්‍යාපාරය හරහා මිනිස්සුන්ගේ සංස්කෘතිය හා වටිනා ජීවිත නැති කරන්න එපා කියලා

ධීවර කර්මාන්තයට වඩා, සංචාරක කර්මාන්තය තුළින් විශාල ආදායමක් රටටත්, මීගමු ජනතාවටත් ලබන්න පුළුවන් කියලානේ වගකිවයුතු බලධාරින් නිධාරින් ප්‍රකාශ කරන්නේ. ඔබට එහෙම අදහසක් නැද්ද ?

Hotel 1

එහෙමනම් ඉතිං අපේ ගෙවල්වල ඉන්න ගෑනුන්ව, මිනිස්සුනවත්  විකුණයිනේ  ලාභයි කියලා. එහෙම වෙන්නෙ නෑනේ . ඔබ කැමතිද , මම කැමතිද. අපි කවුරුත් කැමති නෑ. මම කියන්නේ පාරම්පරික දේ තියෙන්න ඕනා. පාරම්පරික දේ තියෙන්න ඕන වගේම, පාරම්පරික ධීවරයාව උගන්වලා දැනුවත් කරලා තාක්ෂණයෙන් ප්‍රගුණ කරලා ඒ මිනිස්සුන්ට ධීවර කර්මාන්තයේ යෙදෙන්න හැකි වාතාවරණයක් ඇති කරන්නත් ඕන රටේ. ඒ වගේම මේ බෝට්ටු රඳවා තබන්න පහසුකම් සහිත වරායක් මේ ගම තුළ ස්ථාපිත කළ යුතුයි. ඒ වගේම ශීතාගාර පහසුකම් වගේ නවීන තාක්ෂණික පහසුකම් ලබා දුන්නහම , ඔය ධීවරයන් ඕලන්ද ඇලට පැමිණෙන්නෙත් නැහැ,  මුන්කක්කරේ පැත්තේ කලපුවට යන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. අපි ඔය මිගමුවේ ධීවරයන්ට වරායක් හදනවා නම් ඒකට සුදුසු ප්‍රදේශයේ හැටියට  මීගමුවේ  මෝය කට ආශ්‍රිතව තමයි  ඒකට සුදුසු කියලා අපි යෝජනා කරන්නේ. එතන ගල්වැටි දාලා. බෝට්ටු නවතා  තබන්න පුළුවන් විදියට හදලා, ශීතාගාර පහසුකම් ලබා දීලා, ඒ වගේම ඒ අල්ලන මාළු විදේශ වලට අපනයනය කරන්න පුළුවන් පහසුකම් එතනම හදලා දීලා ඒ පහසුකම් සලසලා දුන්නොත් මේක මේ ධීවර කර්මාන්තය මීට වඩා දියුණු තත්ත්වයකට පත් කරන්න පුළුවන්, ඒ වගේම විශාල ආදායමක් ලබාගන්නත් පුළුවන්. එහෙම නොකර සංචාරක ව්‍යාපාරය පමණක් ඉලක්ක කරගෙන  මීගමුවට එන එකාට තමයි  අපි කැමති නැත්තේ. සංචාරක කර්මාන්තයේ ඉලක්කය සංචාරක ව්‍යාපාරය පමණයි, නමුත් පාරම්පරික ධීවරයාව විනාශ කිරීම තමයි මෙතැනදී සිද්ධ වෙන්නේ.. නමුත් ඒ ධීවරයව ආරක්ෂා කරන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ හේතු කාරණා නිසා, මොකද මේ රට සශ්‍රීකත්වයට පත්වුනේ කාරණා දෙකක් නිසා. ඔය තේ පොල් රබර් වලටත් කලින් අපේ රටේ තිබුණු කෘෂිකර්මාන්තය. ඒ එකක් අනිත් එක තමයි ධීවර කර්මාන්තය. එතකොට කෘෂිකර්මාන්තයත් , ධීවර කර්මාන්තයත් දියුණු කරන අතරේම තමයි අනිත් ව්‍යාපාර අපි  දියුණු කළ යුත්තේ. මොකද සංචාරක ව්‍යාපාර කියන ඒවායේ ඉක්මනට එකපාර කඩන් වැටෙන්න පුළුවන්. හැබැයි ධීවර කර්මාන්තය එහෙම කඩන් වැටෙන්නේ නෑහැ. ඒ වගේම අපේ කෘෂිකර්මාන්තය කඩා ගෙන වැටෙන්නෙත් නැහැ මොකද ඒකට හේතුව ඒකට අපේ පොළොවෙන්ම අපට අවශ්‍ය ඒ සම්පත දීලා තියෙනවා.. ධීවර කර්මාන්තයටත් අපේ මුහුදේ මේ සම්පත නිකන් දීල තියෙනවා. එනිසා ධීවර කර්මාන්තත් කෘෂිකර්මාන්තයක් ශක්තිමත් කරන අතරේ තමයි සංචාරක කර්මාන්තය වගේ දේවල් අපි කරගෙන යන්න ඕනේ.

දැන් ඔබගේ කතාවෙන් මට තේරුම් ගිය දෙයක් තමයි මේ පාරම්පරික ධීවරයව අපි ආරක්ෂා කළ යුතුයි නමුත් ඒ දේ වෙන්නේ නැත්තෙත්  ඔබ අර කලින් කියපු කුඩම්මගේ සැලකිල්ල නිසාද ?

NGB fishermen 9
ඒක තමයි මම මේ කියන්නේ හුඟක් අය හිතේ තියන් ඉන්නේ මෙහේ ඉන්න ධීවරයෝ බොහොමයක් නූගත්,  මෝඩයෝ  ඒ එක්කම හොරු බේබද්දෝ කියලා තමයි හිතේ තියාගෙන ඉන්නේ. ඒ වගේ තත්වෙකට එයාලාව පත්කළේ අපිමයි. එයාලගේ ජීවන රටාව හරියට  අපි හදලා දිලා නැහැ. ඒ අයට හොඳ ආදායමක් ලබාගන්න පුළුවන් විදිහට ඒ පහසුකම් හදලා දීලා තියෙනවා නම්, එතකොට ඒ ධීවරයන්ගේ දරුවන්ට ඔය පාරම්පරික ක්‍රමවේදයන් වලට යන්න බැරිනම් තාක්ෂණික වශයෙන් ඒ අයව දියුණු කරලා ධීවර විශ්ව විද්‍යාල වලට ගිහිල්ලා පහසුකම් සලස්වලා දීලා නෑ අපි තවම. දැන් බලන්න මීගමුවේ තිබුණු ධීවර විශ්වවිද්‍යාලය අරන් ගියා තංගල්ලට. අන්න එතන තමයි වැරැද්ද මම මේ කියන. මීගමුව තමයි ධීවර පුරවරය,  මුළු ලංකාවටම ධීවර කර්මාන්තය උගන්වපු ප්‍රදේශය. අද ඒ ධීවර විශ්ව විද්‍යාලය මෙහෙන් ගලවගෙන ගිහින් තියෙනනේ. දැන් අද මෙහේ තියෙන්නේ  ධීවර විශ්ව විද්‍යාලයක් නෙමෙයි, වෘත්තිය පුහුණු ආයතනයක්. මේ කරන්නේ තාවකාලික බොරුවක්.. එනිසා අපි අපේ මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් නොදී, ඒ අයව තාක්ෂණික වශයෙන් සහ දැනුම අතින් පෝෂණය නොකර මෙතන ඉලක්ක කරගන්නේ හැමතිස්සෙම සංචාරක ව්‍යාපාරය. .සංචාරක කර්මාන්තය හරහා සිදුවෙන අගතීන් කවුරුවත් කතා කරන්නේ නැහැනේ. දුරාචාරය, , මත්ද්‍රව්‍ය , ළමා අපචාරය , සහ ස්ත්‍රී දූෂණ . මේ සියලුම දේ අස්සේ තමයි සංචාරක ව්‍යාපාරය කරගෙන යන්නේ මේවා වහගෙන.

ඔබ කියන මේ කතාවත් එක්කම මට අහන්න තියෙන ප්‍රශ්නය තමයි, දැන් ගරු ජනාධිපතිතුමා කියනවා මීගමුව අද වන විට කුඩු පුරවරයක් කියලා නම් පවා පට බැඳිලා තියෙනවා කියලා.මේ ගැන ඔබේ අදහස් දැනගන්න කැමතියි?

ඔව් ඒ කතාව හරි. මොකද සංචාරක ව්‍යාපාරය නිසා ඕවා අභ්‍යන්තරයේ තියෙන දේවල් හොයන්න බලන්න කවුරුවත් යන්නේ නෑ.අපිට ඕන කරලා තියන්නේ සංචාරකයෝ ගෙන්න ගන්නනේ..සංචාරකයෝ කැමති මේ දූෂිත දේවල් තියෙන ඕනම තැනකට යන්න. ඒවා තියෙන තැන් වලට තමයි සංචාරකයොත් ඇදිලා යන්නේ. එහෙම නැත්නම් ඒ අය යන්නේ නෑ. ඒක නිසා තමයි ඕවා වහගෙන කරන්නේ. හැබැයි ඕක පාරට  බහින දවසක් එනවා.

දැන් වෙන ප්‍රදේශවල  සංවර්ධන ව්‍යාපෘතීන් හා එවැනි යෝජනා ක්‍රම ආරම්භ කරන්න කලින් ඒ ප්‍රදේශයේ පූජකවරුන්ටත් ආරාධනා කරලා ඒ අයාගේ අදහස් උදහස් අරගෙන තමයි බොහෝ වෙලාවට ඒ වැඩ කටයුතු කරගෙන යන්නේ.නමුත් මෙහෙ එහෙම වෙන්නේ නෑහැ. අපේ පියතුමෙකුටවත් කතා කරන්නේ නැහැ රැස්වීමකටවත්. කිසිම කතාවක් නෑ බොහොම නිශ්ශබ්දව යනවා .අපි ඇයි කියන්නේ මේ අපේ පූජ්‍යකයන්ව ඒ වගේ සාකච්ඡාවලට ගෙන්නන්න කියලා,ඒ කටයුතු සදාචාරාත්මක බවට පත්කරන්න. මොකද ඒවායේ තියෙන  නරක හා අශෝභන දේවල් හඳුන්වා දීලා ඒවා නොවෙන තැනට කටයුතු සිදු කිරීමටයි.නමුත් මෙහිදී මෙහේ ඉන්න පූජකයෝ පැත්තකටවත් ගන්නේ නෑහැ. නමුත් මීගමුව කියලා කියන්නේ දේදුනු නගරයක් කියලානේ හුඟ දෙනෙක් කියන්නේ. අපේ ආගමික උත්සව වලට බෞද්ධ භික්ෂූන් වහන්සේලා, පියතුමන්ලා මවුලවි තුමන්ලා, තව  පූජකතුමන්ලා වගේ සෑම ආගමකම පූජකවරු සහභාගි වෙනවා. ඒ වගේම රජයත් ඔය වැඩේ කරන්න ඕනා. ඒ කියන්නේ සාකච්ඡාවන් වගේ දේවල් වලට  සෑම ආගමික පූජකවරුන්වම ගෙන්වන්න ඕනා, ඒ වැදගත් තීන්දු තීරණයන් ගන්න.. ඒ වගේම විශේෂයෙන් තවත් දෙයක් කෙරෙන්න ඕනා. ඒක තමයි මේ පුරවරය ගැන දන්න මිනිස්සුන් ව මේකේ නායකයෝ කරන්න ඕනා.

ඇයි ඔබ මෙහෙම අදහසක් දරන්නේ ?

මේ මීගමුව ගැන අවට ප්‍රදේශය ගැන දන්න ප්‍රවීණ මිනිස්සු දේශපාලනය තුළ ඉන්නවා . නැත්තේ නෑහැ. හැබැයි අද ඒ මිනිස්සු අයින් කරලා දාලා.

මට මෙතනදිත් ඔබට බාධා කරන්න සිදුවෙනවා. දැන් අපි කාලයක් තිස්සේ මේ මීගමුව ගැන දන්න , මීගමුවේ ඉන්න අයව අපි බලයට පත් කරගත්තා. ඒත් අපි බලාපොරොත්තු වුණු දේවල් මේ වෙද්දී සිදු වෙලා තියෙනවා කියලා ඔබ හිතනවද ?.

ඒ දේවල් සිදුවුණේ නැත්තේ පහුගිය රජයන් වල තිබුණු දුර්වලතා හින්දනේ.එතකොට ඒක හඳුනගත් හින්දනේ අපි අලුත් ආණ්ඩුවක් බිහි කර ගත්තේ. ඉතින් මීගමු ගැන දන්නා ⁣ඩොක්ටර් හෙන්රි රොසාරියෝ, ඒ වගේම අරුණ ශාන්ත නෝනීස්,.  ඒ වගේ අයව මේ ප්‍රදේශයේ ප්‍රධානියා කරන එක ,සංවිධායකයා   කරන එක  යුතුකමක් ලෙස කරන්න ඕනා.

ජනතාව ගේ වැඩි ඡන්දය ඒ අයට ලැබුණේ නැති නිසා නේද  ඒ අයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් ලෙස පත්වෙන්න බැරුව ගියේ.  ?

ඒක වෙනම කතාවක්,නමුත් එතන ලොකු කඩා වැටීමක් තියෙනවා.ඒ කඩා වැටීම තුළ අපිට අපේ මිනිස්සු නැති වෙලා තියෙනවා. අපිව තේරුම් ගත්තු අපේ ප්‍රශ්න ගැන වැටහීමක් තියෙන මිනිස්සු අපිට නැති වෙලා තියෙනවා. මොකද රට අභ්‍යන්තරයේ ඉන්න මනුස්සයෙකුට තේරෙන්නේ නෑ, මීගමුවේ අපේ තියෙන ප්‍රශ්න. මේ මිනිස්සුන්ගේ හැසිරිම. ඒ මිනිස්සුන්ගේ අදහන ආගම තුළ ඇති ගති ලක්ෂණ. ඒවා හඳුනා ගත්තු අය අපේ නායකයෝ බවට පත්වෙන්න ඕනේ. ඒ වගේ තත්වෙකට පත්වෙන්න බලපාලා තියෙන ප්‍රධාන කාරණාවන් දිහා බලපුවහම , අපට කතා කරන්න සිද්ධ වෙන්නේ අපට  කෙනහිලිකම් සිද්ධ වෙනවා කියන එක තමයි.

මේ ආණ්ඩුවෙන් පමනක් නෙවෙයි කොයි ආණ්ඩුව ආවත් ඒක තමයි සිද්ධ වෙන්නේ. පහුගිය ආණ්ඩු කලේ සිද්ධ වුණේ. අපේ ඡන්ද ටික අරං ගිහින්  ගම්පහ පැත්තේ මිනිස්සුන්ව දිනා ගත්තා. අපේ පොකුණෙන් තමයි සේරම මාළු අල්ලන් යන්නේ. අපේ මිනිහෙකුට පාර්ලිමේන්තුවට යාගන්න බැරුව ගියා. දැන් බලන්න ගම්පහ හැම ප්‍රදේශයකින්ම වාගේ  මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා තියෙනවා. මීගමුවෙන් කවුරුත්ම නැහැ. එහෙම වුණාම වෙන්නේ අපේ ප්‍රශ්න විසඳාගන්නත් ඒවට විසඳුම් හොයාගන්නත් අපේ දියුණුව ගැන සොයා බලන්නත් කිසිම නියෝජිතයෙක් නැතුව යනවා.. ඉතිං මේවා අපේ  ප්‍රදේශයට අයහපත් ලෙස බලපාන බරපතල ප්‍රශ්නයක්.

මේ වර්තමාන මීගමු නගර පාලනය පිළිබඳව  ද ඔබේ අදහස් දැනගන්නත් කැමතියි ?.

ඒ අලුත් කට්ටියව අපි සාදරයෙන් පිළිගන්නවා. අලුත් පිරිසක් ආපු එක බොහොම හොඳයි. මොකද පරණ හංවඩු ගැහිලා හිටපු කට්ටිය ,මේක සූරං කාලා හොරා කාලා, විනාශ කෙරුවා. හැබැයි ඉතින් හොරා කාලා හරි කමක් නෑ අපිට ටිකක් හොඳ පාරක් තොයක් ඇතිවුන පරිසරයකුත් ඇතිවුණේ නැහැයි කියලා කියන්නත් බැහැ.මොනා වුනත් ඒ කාලෙදි යම් වැඩ ටිකක් කරලා තියෙනවා. ඒක නැහැයි කියන්න බැහැ. අපි, එහෙම වුණේ නෑ කියලා කියන්නත් හොඳ නැහැ. අපිට කොයි දේශපාලන පක්ෂයත් එකයි.

WhatsApp Image 2025 07 31 at 06.41.29 25cbc20f
නමුත් දැන් වෙලා තියෙන දේ තමයි “ක්‍ලීන් ශ්‍රී ලංකා ‘ කරන්ඩ ගිහිල්ලා, මාරිස්ටෙල්ලා විද්‍යාලය  වෙරල ශුද්ධ කරලා ආවට පස්සේ ආණ්ඩුවේ කට්ටිය ගිහිල්ලා ආයේ ශුද්ධ කරනවා. අනිත් පැත්තෙන් ගත්තහම එක එක පාරවල් ගිහින් ශුද්ධ කරනවා.  ඕවගේ උණුසුම තියෙන්නේ මාස 06 යි. .ඒ මාස 06 ට පස්සේ කැලේ වැවෙන හැටි බලාගන්ඩකෝ.. ඔය වගේ දේවල් හැම ආණ්ඩුවකින්ම කලා. දැනුත් කරනවා. බලයට පත්වුණාම, ඒ තියෙන උණට ඕවා කරනවා.

නමුත් මිගමුව නගරයේ ප්‍රධාන ප්‍රශ්නය වෙලා තියෙන්නේ,මීගමුවේ පාලනයට පත්වෙච්ච නවක නාගරික මන්ත්‍රීවරුන්ට එක පක්ෂයක නෙමෙයි, හැම දේශපාලන ක්‍රියාවලියක් සම්බන්ධවම දේශපාලන අවබෝධයක් නැහැ. .InShot 20250627 080615840WhatsApp Image 2025 07 06 at 09.55.25 df3ea046

ඒත් එක්කම දේශපාලන අවබෝධයක් නැතිකම සහ තමන්ගේ පක්ෂයට විතරක් වැඩ කරන පක්ෂග්‍රාහී මේනියාව  ඒ කියන්නේ අනිත් කෙනෙක්ට වැඩක් කරන්න බැහැ. එයා කතා කළොත් වැරදි ..සමිති සංවිධාන එයාලගේ නායකත්වයෙන් දුවන්න ඕනේ. ඔය ගමේ තියෙන පුංචි පුංචි සමිති තියෙනවනේ. දැන් තව ටික කාලෙකදි ළදරු සමිතියේ ඉන්න , ළදරුවෙකුත් ගනී දේශපාලනයට. .

දැන් එහෙම මේනියාවක් තියෙනවා. දැන් අනෙක් පැත්තෙන් ගත්තාහම ,දැන් ඉන්න මේ මන්ත්‍රීවරයෙකුට කතා කරපුවහාම සමහර අය එන්නේ ඇඟට..ඒක අත්දැකීමක් නැතිකම. දේශපාලන අවබෝධයක් තියෙන කෙනා හිනාවෙලා  එතනින් මාරු වෙනවා..දැන් සමහර අත්දැකීම් තියෙන අය එයාලට දොස් කියද්දි හෙමිහිට එතනින් යනවා. දැන් මේක එහෙම නෙවෙයිනේ වෙන්නේ ඇඟට එනවා පොල්ල අරගෙන.. ගහමරා ගන්න එන්නේ..ඒක දුර්වලතාවයක්. තමන්ට එන විවේචනය ඉවසා දරා ගන්ඩ බැරි වාතාවරණයක්. ඒක හොඳ දෙයක් නෙවෙයි. එහෙම වෙන්න හොඳ නෑහැ. අපි ඒ අයට ගරු කරනවා. අපි ඒ අයට ආදරය කරනවා. එතකොට ඒ අය අපිටත් ආදරෙන් කතා කරන්න ඕනේ. අනිත් එක ඒ අය මතක තියාගන්න ඕනේ එයාලාව තෝරලා යවලා තියෙන්නේ තමන්ගේ පක්ෂයේ අයට විතරක් වැඩ කරන්න නෙමෙයි කියන එක. නගරාධිපතිවරයා ඉන්නේ සහමුලින්ම මධ්‍යස්ථ මැද සිටිය යුතු කෙනෙක් විදිහට. කිසිම කෙනෙකුට පක්ෂග්‍රාහී නැති පුද්ගලයෙක් විදිහට. ඒ වගේම සියලු මන්ත්‍රීවරුන් තමන්ට ඡන්දේ දීපු අයට විතරක් නෙවෙයි ,තමන්ට ඡන්දේ නොදීපු සහ ප්‍රදේශයේ ඉන්න සියලු ජනතාවට සේවය කරන්නයි ඒ අයව පත් කරලා තියෙන්නේ..අරයට විතරක් ලයිට් එක දාන්නයි. එයාට හිනහ වෙන්නයි. අරයට ඔරවන්නයි නෙමෙයි,  ⁣මේ අයව පත් කරලා තියෙන්නේ.

අනෙක් කාරණාව තමයි මේ නගරාධිපතිවරයා හමුවන්න මහජනතාවට දිනයක් වෙන් කරලා තියෙනවානේ. ඒ දවසේ නගරාධිපතිවරයා වෙන වැඩ යොදා ගන්න හොඳ නැහැ. ඒ දවස මහජන දවස නම් , ඒක මහජනතාවටම වෙන් කරන්න ඕනාා.
අනෙක් කාරණාව තමයි නිරාගමික වෙන්න හොඳ නෑහැ.මේ ආගම් සහ ආගම් සංවිධාන හින්දා තමයි අපි ශීලාචාර  බවට පත්වෙලා තියෙන්නේ. මොන ආගමක් හෝ අදහන්නේ නැති දවසකට අශීලාචාර තත්ත්වයට පත්වෙනවා.අමනුෂ්‍යන් බවට පත්වෙනවා.ඒවා ගැන අපි හිතන්න ඕනා.

මේ කතාබහ අවසන් කරන්නට කලින් ඔබ කිව්වා ඉල්ලීමක් කරන්න තියෙනවා කියලා. මොකක්ද ඒ ඉල්ලීම /.

ඔව් අපේ ඉල්ලීමක් තියෙනවා අපි මේ ඉල්ලීම කෑගහලාම ඉල්ලනවා. ඒක තමයි අපිට මේ මීගමුව කියන මේ ප්‍රදේශය අපිට දිස්ත්‍රික්කයක් බවට පත් කරල දෙන්න කියන ඉල්ලීම. ඒ අනුව වත්තල,ජාඇල, මිනුවන්ගොඩ , කටාන දිවුලපිටිය ,සහ මීගමුව කියන ආසන 06 ඇතුලත් කරලා, ඒක  මීගමුව කියන දිස්ත්‍රික්කය බවට පත් කරලා දෙන්න .අනිත් ඕන දෙයක් අරං ගිහිල්ලා ගම්පහ දිස්ත්‍රික්කයේ තියාගත්තට අපිට කමක් නෑහැ. මොකද අපේ මේ පැරණි පුරවරය ආරක්ෂා කරගන්න ඕනේ. ඔය ගම්පහ කියන එක හැදුනේ 1922 වසරේ, ඒ කියන්නේ  ඔය සුද්දන් අපේ රට පාලනය කරද්දි, අපි සුද්දන්ට බනිනවා තමයි. සුද්දෝ තමයි ගම් 05 ක් එකතු කරලා ඒක ” ගම්පහ ” කියලා ප්‍රකාශයට පත් කෙරුවේ. ඒ අනුව 1922 ට පෙර ගම්පහ කියලා නමක් ලංකාවේ කොහෙවත් තිබුණේ නෑහැ.

ඒ අනුව  ඔය දුම්රිය ස්ථානයත් පළමුවෙන්ම  හැදුවේ හෙනරත්ගොඩ කියන ඔය උද්භිත උද්‍යානය තියෙන ගමේ.  ඒක දැන් දුම්රිය කෞතුකාගාරයක් බවට පත් කරලා. මොකද ගම්පහ දුම්රිය ස්ථානය හැදුවායින් පස්සේ.. එතකොට ඉතිහාසය තුළ අද ගම්පහට වයස කීයද අවුරුදු 103 යි. එතකොට අවුරුදු  103 ක නගරයක් කොහොමද දියුණු කරලා තියෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කය බවට පත් කරලා. එහෙම ගත්තහම ගම්පහ නෙමෙයි දිස්ත්‍රික්කය බවට පත් වෙන්න ඕනේ. මීගමුවයි දිස්ත්‍රික්කය බවට පත් විය යුත්තේ. අත්තනගල්ල හරි කැළණිය හරි කෙරුවා නම් තව කමක් නැහැ නියන්න පුළුවන්. නමුත් මේ කොහෙවත් නොදියුණු ගමක් අරගෙන ඒ කියන්නේ අද වන විටත් ඡන්ද දායකයෝ 50000 ක් වත් නැති ගමක් දිස්ත්‍රික්කය බවට පත් කරලා. මීගමුවේ මේ වෙද්දි ඡන්දදායකයෝ 150,000 ක් පමන ඉන්නවා..මේක තනිකරම දේශපාලන බලපෑමක් මත සිදුවුණු දෙයක්.

ඇත්ත වශයෙන්ම ගත්තොත් දේශපාලනය තමයි මේ හැම දෙයක්ම විනාශ කරන්නේ. දැන් මේ අයත් අපි විනාශ කරලා ගියොත් අපිට ඒ සැකයත්  තියෙනවනේ. දැන් මේ ගොල්ලොත් කියනවනේ අපිට ආගම ඕනේ නෑහැ.සදාචාරයක් ඕනේ නැහැ. මේකට කවුරු ආවත් කමක් නැහැ. සංචාරකයෝ ආවට කමක් නෑහැ. ධීවරයෝ ටික එහෙන් පන්නනවා . මොලකාරයෝ ටික මෙහේ පැත්තකට වෙලා ඉන්නවා.ඒ වගේ තත්ත්වයක් ඇතිවෙලා මේක විනාශ වෙයි කියන බයක් අපිට තියෙනවා. ඉතින් අපිට විශ්වාසයක් තියෙනවා මේ අලුත් ආණ්ඩුව ඒ  සියල්ලක්ම මැඬ පවත්වාගෙන පරණ දෘෂ්ටි කෝණයෙන් තිබුණ ,වල් වැදිච්ච මේ සමාජය යහපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම කරන්න කියන එක තමයි අපේ

අවසන් ඉල්ලීම. වෙනස හොඳයි. වෙනස හොඳයි කියලා නඩු කිය කිය ඉන්න එකවත්, කානු ශුද්ධ පවිත්‍ර කරන එකවත් ,වෙරළ ශුද්ධ කරන එකවත් නෙමෙයි සිදු විය යුත්තේ. සෑම අංශයක්ම සංවර්ධනය කිරීම තමයි අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තේ. ඉතිං අපේ අවසන් ඉල්ලීම මීගමුව කියලා අපි ඉල්ලන අපේ දිස්ත්‍රික්කය අපට  ලබා දෙන්න කියන ඉල්ලීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here