යුක්තිය නොලබාම දිවියට සමුදුන් දොස්තර මනෝහරන්…

0
385

ඉදින් ඔහු භෞතික ජීවිතයෙන් නික්මගොස් ඇත.

පිටුවහල් දිවියේ සිටියදීම ය.

යුක්තිය නොලබා ම ය.

තම දුවා දරුවන්ගේ අකල් මරණයන්ට, විකල් අතුරුදන් කරවීම් වලට යුක්තිය නොලබා ජීවිතයෙන් සමුගත් අපමණ දෙමාපිය නාමකාය ලැයිස්තුවට අද සිට වෛද්‍ය කාසිපිල්ලෛ මනෝහරන් නාමය ද එක්වනු ඇත.

මෙ කව ලියැවුණේ දොළොස් වසකට ඉහතිනි. ඔහු කෙරෙහි වූ අපමණ ආදරය සනිටුහන් කරනු පිණිස යළිඳු ඔබ සමඟ බෙදා ගනිමි.

– මනෝරම්‍ය වෙද නළාව –

මනෝහරන් තාත්තාගෙ
වෙද නලාව ගොළු වුණාද
පුතුගෙ පපුවෙ ගැහෙන සුසුම
සැළෙන හදට නො ඇසුණාද
මනෝරම්‍ය රටක නො ඉඳ
කඳුළු රැගෙන පියැඹුවාට
මනෝහරන් තාත්තාගෙ
වෙද නළාව ගොළුව යාද?

පස්වහන් දහසකට බුදුවෙන්නට
අවසර සුවාමිනේ
පස් මහ බැලූම් පාවෙයි
තිරුකෝණමලෙයි උඩු ගුවනේ
පස් දෙනාට පස්වරුවේ
උණ්ඩ පහ බැගිනි ලැබුණේ
පන්සිල් ගන්න පන්සල් යන
අවියද මග මුණ ගැසුණේ

ගාන්ධි පිළිරුව පාමුල
කාන්සියට ඇලවුණාද
මහන්සි වී සෙල්ලම්කර
රාත‍්‍රියට ගුලිවුණාද
බෝම්බ වෙඩි උණ්ඩ වලට
ශාන්තියකි වෙද නළාව
තාත්තකුට මෝචරියෙදි
පුතුගෙ කඳුළ හමුවුණාද

බුද්ධදාස රජුට වුණත්
ලැජ්ජ හිතෙන රටකි මේක
ඇද්දා ලණුව දැම්මා කොඩිය
සද්දෙ ඔබට ඇසෙනවාද
වන්නි වනපෙතට ඉහළින්
නැද්ද ඉරක මඳ හිනාව
නින්ද බිඳ දමන අවියකි
සද්දෙ ඇහෙන වෙද නළාව

2013 ජනවාරි 06

[සටහන: වසර 2006 ජනවාරි මස දෙවැනිදා තිරුකෝණමලෙයි ඕලන්ද බොක්ක වෙරළ ඉමේ පිහිටි මහත්මා ගාන්ධි පිළිරුව කෙන්ද්‍ර කරගත් වටරවුම මන්සන්ධියේදී කෲර ලෙස ඝාතනයට ලක් වූ දෙමළ ශිෂ්‍යයින් පස් දෙනාගෙන් අයෙකු වූ මනෝහරන් රජීහර්ගේ පියාණන් වන වෛද්‍ය කාසිපිල්ලෙයි මනෝහරන් විසින් තම පුත‍්‍රයා සහ ඔහුගේ මිත‍්‍රයන්ගේ මරණයන්ට සාධාරණ විනිශ්චයක් ලබා ගැනීම වෙනුවෙන් කරනු ලබන අඛණ්ඩ අරගලයට උපහාර වනු පිණිස ය.]

“නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුලක”
– මංජුල වෙඩිවර්ධන –

FB IMG 1758512723730

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here