රු 1500 ක් නිසා මිගමුවේදි පුද්ගලයෙකුට දිවි අහිමිවීම..?

0
3103

 

රුපියල් 3000ක මුදල් ගනුදෙනුවක් පිළිබඳ වූ කතාබහක් දුර දිග යාමේන් යකඩ පොල්ලකින් සිදු කළ පහර දීමක් නිසා, මීගමුව මඤ්ඤොක්කාහේන පොදු සුසාන භූමිය අසල කුකුල් මස් වෙළඳ සැලක සේවය කළ අයෙකු පසුගිය 26 වැනිදා සවස (26/09/2025) මරණයට පත්ව ඇති බව මීගමුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන කාර්යාංශය ප්‍රකාශ කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව මඤ්ඤොක්කාහේන, පොදු සුසාන භූමිය අසල කුකුල් මස් වෙළඳ සැලක සේවය කරන අයෙකි

ඔහු දැනට වසර එකහමාරක පමණ කාලයක සිට මෙම ස්ථානයේ සේවය කළ අයෙකු බවත්, ඔහු නුවරඑළිය, හාල්ගන්ඔය ප්‍රදේශයේ ඩෙල් මාරවත්ත හී පදිංචි “රාමලිංගම් ශිව කුමාර් ” නම් වයස අවුරුදු 44 පුද්ගලයෙකු බවත් පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය ප්‍රකාශ කරයි.

කුකුල් මස් වෙළඳසැල තුළදී ඔහුට මෙලෙස යකඩ පොල්ලකින් පහර දුන් බව කියන පුද්ගලයා මේ වන විට හඳුනාගෙන ඇති බව ද වාර්තා වුනි. ඔහුට මෙලෙස පහර දුන් පුද්ගලයා වෘත්තීයෙන් ත්‍රී රෝද රථ ගරාජයක සේවය කරන අතර ඔහුගෙන්, මියගිය ශිව කුමාර් නමැත්තා රුපියල් 3000 ක මුදලකට ජේ.බී.එල්. යන්ත්‍රයක් ( ගීත ඇසීමට සහ ගීත ගායනා කිරීමට යොදා ගැනෙන යන්ත්‍රයක්) මිලට ගෙන ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව මියගිය ශිව කුමාර් නැමැත්තා පළමුව රුපියල් 1500ක මුදලක් ලබා දී මෙම යන්ත්‍රය ලබාගෙන ඇති අතර සැකකරු ඉතිරි මුදල වන රුපියල් 1500 ක මුදල තමන් වෙත ලබාදීමට
ප්‍රමාද වීම නිසා සැකකරු පසුගිය 26 වෙනි සිකුරාදා දින දහවල් මියගිය ශිව කුමාර් නැමැත්තා රැකියාව කරමින් සිටි කුකුල් මස් වෙළඳ සැලට පැමිණ , ඉතිරි මුදල සම්බන්ධව බහින්බස්වීමක් ඇති කරගෙන ඇතැයි වාර්තා විය.

පසුව මෙම සැකකරු එම ස්ථානයෙන් පිටව ගොස් මොහොතකින් යකඩ පොල්ලක් ද රැගෙන විත් මියගිය ශිව කුමාර් නැමැත්තාට කුකුල් මස් වෙළඳ සැලේ සේවය කරමින් සිටියදීම ඔහුගේ හිස ප්‍රදේශයට පහර දී ඇත

පසුව සැකකරු මෙම ස්ථානයෙන් පිටව ගොස් තිබෙන අතර පොලිසිය විසින් සී.සී.ටී.වී. දර්ශන මගින් මෙම පහරදීම සිදු කල සැකකාර පුද්ගලයාව හඳුනාගෙන තිබේ. එලෙස පහර කෑමට ලක් වූ ශිව කුමාර නැමැත්තා පසුව පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඔහු නවාතැන් ගෙන සිටින කාමරයට ගොස් ඈත. එම අවස්ථාවේ ඔහුගේ හිතවතුන් ඔහු නවාතැන් ගෙන සිටින ස්ථානයට ගොස් කල සොයා බැලීමේදී ශිව කුමාර් නැමැති අය ලේ වමනය කර සිටි ඇති බවද වාර්තා විය.

එම අවස්ථාවේ පහර කෑමට ලක් වූ ශිව කුමර් නැමැත්තාව මීගමුව දිස්ත්‍රික් මහා රෝහලට ඇතුලත් කර තිබේ. එහිදී එදින සවස ඔහු මිය ගොස් සිටි බව පොලිසිය ප්‍රකාශ කරයි.

මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා පසු දින එනම් 27 වැනි දින රෝහලට හා මෙම සිද්ධිය වූ ස්ථානයට ගොස් ස්ථාන පරීක්ෂණයක් සිදු කරන ලදී. පසුව මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරි මගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර ඇති අතර මොට ආයුධයකින් සිදුකල පහර දීමකින් හිසට සිදු වූ බරපතල තුවාල හේතුකොට ගෙන සිදුවූ මරණයක් බවට ද එහිදී සඳහන් කර තිබුණි,

මෙලෙස ශිව කුමාර් නමැත්තාට පහර දුන් බවට හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත්තේ 189-E ,ඉලංගවත්ත, කහට පිටිය, ගම්පොළ පදිංචි මොහොමඩ් මන්සුන් හනිෆ් මොහොමඩ් නමැති වයස අවුරුදු 35 ක් වන දෙදරු පියෙකි.
මීගමුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන කාර්යාංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර ප්‍රදීප් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here