එළඹෙන උත්සව සමයට මීගමුව නගරයට විධිමත් රථවාහන සැලැස්මක්….

0
513

. ….
එළැඹෙන නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමයේදී මීගමුව නගරය තුළ විධිමත් රථවාහන සැලැස්මක් දැන් සිටම ක්‍රියාත්මක කරමින් අත්හදාබැලීම් කරන බව මීගමුව රථවාහන පොලිසියේ ස්ථානාධිපති ආර්.ඒ.පී.කේ. කුලරත්න මහතා පවසයි.

මීගමුව නගරය තුළ ක්‍රියාත්මක වන රථ වාහන සැලැස්ම පිළිබඳව කළ විමසීමකදී ඔහු එලෙස අදහස් පල කළේය.

එලෙසම ස්ථානාධිපතිවරයා පවසන්නේ 2025 ජනවාරි මස 31 වැනි දා සිට 2025 සැප්තැම්බර් මස 30 වෙනදා දක්වා වු ගෙවී ගිය මාස 08 ක කාලය තුළ (2025-01-30 සිට 2025-09-30 ) මීගමුව පොලිස් කොට්ඨාශය තුළ මාරක අනතුරු 07 ක් සිදුව ඇති බවත් ඒ අනුව පුද්ගලයින් 07 දෙනෙකු එම අනතුරුවලින් මියගොස් ඇති අතර බරපතල තුවාල සිදුවු අනතුරු 21 ක් සිදුවී ඇති බවත් සුළු තුවාල සහිත අනතුරු 17 ක් සිදුවී ඇති බවය.මේ අතර බරපතල තත්වයේ  අනතුරු 28 ක් මෙම කාලය තුළ සිදුවී ඇති බවද ඔහු පවසයි.

වැඩිදුරටත් ඔහු පෙන්වා දෙන්නේ මෙම අනතුරු බොහොමයක් සිදුවීම සඳහා මූලිකවම බලපා ඇත්තේ රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය බවය..

. එමෙන්ම ,අවිධිමත් ලෙස  ත්‍රී රෝද රථ හා යතුරුපැදි නවතා තැබීම නිසාත් එමෙන්ම මීගමුව නගරය තුල නිසි පිළිවෙලක් නොමැතිවීම යන හේතු නිසාද මෙම අනතුරු බොහොමයක් සිදුව ඇතැයි ඔහු පවසා සිටියි.

මීගමුව නගරය තුළ පයින් ගමන් කරන්නන්ට  නිදහස් පදික වේදිකා තිබිය යුතු බවත්  මීගමුව නගරය තුළ පදික වේදිකා ඇතත් ඒවා නිදහස් පදික වේදිකා නොවන බවත්, එම පදික වේදිකාවල වෙළඳාම් කටයුතු සිදුකරමින් සහ වෙළඳ සල්වල නාම පුවරු තැබීමෙන් පදිකයන්ට නිදහසේ පයින් ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබිම ගැටළුවක් ලෙස පෙන්වා දුන්නේය.

මීගමුව නගරය තුල ඇති අනවසර ඉදිකිරීම්ද ඇතුළු  මේ  හේතු කාරණා නිසා නගරයේ විධිමත්භාවයක් පවත්වාගෙන යාම සඳහා බාධා මතුවී ඇති බවද ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම ගැටලු යම් ආකාරයකට කළමනාකරණය කර ගනිමින් නගරය තුළ යම් විධිමත්භාවයක් ඇතිකර ගනිමින් සහ ක්‍රමවත් රථ වාහන සැලැස්මක් මේ වන විට මීගමුව නගරය තුළ ක්‍රියාත්මක කර ඇතත් . එහි අඩුපාඩු ඇති බවත්, ඔහු මිගමුව රථවාහන පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් සේවයට පැමිණ මේ වන විට දෙමසක් පමණ ගෙවී ගොස් ඇති අතර එම කාලය තුළ යම් යම් අඩුපාඩු සිදුවුණත් නගරය තුළ යම් විධිමත්භාවයක් නිර්මාණය කිරීමට හැකි වී ඇති බවද ඔහු මෙහිදී අවධාරණය කළේය

එලෙසම ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ළඟ එන නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමයට මීගමුව නගරයට ඇදෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ රථවාහන නවතා තැබීම සඳහා මේ වන විට නගරයේ ස්ථාන 03 ක රථ වාහන නවතා තැබීම සඳහා රථ ගාල් ස්ථාපිත කරන බවයි.

පැරණි රීගල් සිනමා ශාලාව තිබූ ස්ථානයේ එලෙසම නගරයේ හැටන් නැෂනල් බැංකුව අසල ද එලෙසම මීගමුව බස්නැවතුම්පොළ අසල කැල්ටන් ස්වීට් හවුස් පිටුපස තැබෑරුම්වත්ත නැමැති මහා නගර සභාව සතු භූමියේද මෙලෙස රථ ගල් ස්ථාපිත කර, උත්සව කාලයේ නගරයට පැමිණෙන රථ වාහන නවතා තැබීම සඳහා පහසුකම් සලසන බවත්, ඒ නිසා උත්සව කාලයේ නගරයේ මාර්ගවල රථ වාහන අවම කර ගත හැකි බවද ඔහු මෙහිදී සඳහන් කළේය. එලෙසම අවශ්‍ය වුවහොත් පමනක් ඒක මාර්ගික ක්‍රමයක් හෙවත් ” වන් වේ ” ක්‍රමයක්ද ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මීගමුව රාත්‍රී පොල හෙවත් නයිට් බසාර් එක පිළිබඳවද ඔහු මෙහිදී අදහස් දැක්වීය.

නයිට් බසාර් එක මහා නගර සභාවට අයත් තැබෑරුම්වත්ත නමැති භූමියට ගෙනයාම වඩාත් යෝග්‍ය බවත්  පාරක් යොදා ගනිමින් වෙළඳාම් කටයුතු සිදුකිරීම මීගමුව වැනි නගරයකට අපිලිවෙලක් ගෙන එන තත්වක් නිර්මාණ වි තිබිම මෙන්ම  පාරක් වසා දමා වෙළඳාම් කටයුතු කිරීම තුළ නගරයට එන යන ජනතාවගේ නිදහසට බාධා මතුවන බවත්, වෙළඳාම් කටයුතු කරගෙන යෑමටත් නගරයට පැමිණෙන ජනතාවට නිදහස් බවක් නගරය තුළ ස්ථාපිත විය යුතු යැයිද  ඔහු වැඩිදුරටත් සඳහන් කලේය. ඒනිසා ප්‍රථමයෙන්ම නගරයේ මාර්ග, පදික වේදිකා පොදු ජනතාවට නිදහස් ව්ය යුතු බවද ඔහු අවධාරණය කරයි.

මේ සෑම සියලු කරුණක්ම සාර්ථකවීම සඳහාත් නගරයේ පරිපාලන රාජ්‍ය ආයතන එකට ඒකරාශී විය යුතු බවද ඔහු සඳහන් කළේය. පොලිසිය, මහා නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , සහ මාර්ග සංවර්ධන අධිකාරිය, වැනි රජයේ ආයතන අන්‍යෝන්‍යය අවබෝධයෙන් යුතුව මෙම කාර්යයේදී කටයුතු කළ යුතු බවත්, මේ වන විට රථ වාහන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස එම ආයතන සමඟ සාකච්ඡා කරමින් යම් වැඩපිළිවෙලක් මේ වන විට නිර්මාණය කර ඇති බවද සඳහන් කළේය. ‍නගරය තුළ ව්‍යාපාරික කටයුතුවල නිරත කුඩා මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව⁣න්ගේ සහයෝගයද අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතු බවද ඔහු මෙහිදී වැඩිදුරටත්  සදහන් කලේය.

එමෙන්ම ඔහු අවසානයේ ව්‍යාපාරිකයන් ඇතුළු යම් හැකියාවක් ඇති අයගෙන් ඉල්ලා සිටියේ මීගමු නගරයට දැනට අඩුපාඩුවක්ව පවතින ” රථ වාහන නවතා තැබීම තහනම්” යනුවෙන් සඳහන් පුවරු ප්‍රමාණයක් හැකි අයට ලබාදෙන ලෙසයි.

එලෙස පුවරු නගරය තුළ ප්‍රදර්ශනය කිරීමෙන් මීගමුව රථවාහන පොලිසිය විසින් දියත් කර ඇති විධිමත් රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශාල සහයක් ලැබෙන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා සිටි.
කෙසේ වෙතත්  මෙම සැලැස්ම තවමත් අත්හදා බැලීමක් ලෙස සිදුකරන නිසා මෙහි අඩුපාඩු ගැටලු පවතී නම් ඒවා ඉදිරි කාලයේදී නිවැරදි කර ගැනීමටද හැකියාවක් පවතින බවත් එනිසා නගරයට පැමිනෙන සහ නගරයේ වෙසෙන සියලු දෙනා මේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් මේ අවස්ථාවේදී ඉල්ලීමක්ද කළේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here