පුංචි රෝමය ලෙස විරුධාවලී ලත් මෙරට වැඩිම කතෝලික ජන ඝනත්වයක් වෙසෙන ප්‍රදේශයක් ලෙස සැලකෙන මීගමුව පුරවරයට නත්තල් අසිරිය රැගෙන ,මීගමුව ප්‍රදේශයේ නිර්මාණය වූ උසම නත්තල් ගස ඊයේ (20/12/2025) සවස එළි දැක්විනි.
මීගමුව සංචාරක පුරවරයේ , ඒත්තුකාල වෙරළ උද්‍යානයට ඇතුළු වන ස්ථානයට ඉතාම ආසන්නව , උසින් අඩි 46 කට ආසන්න ප්‍රමාණයෙන් වන මෙම නත්තල් ගස “නිගම්බෝ ටුවරිස් ඇසෝසියේෂන්” හෙවත් මීගමුව සංචාරක සංගමයේ ( Negombo Tourist Association – NTA) පූර්ණ දායකත්වයෙන් සහ සංවිධාන ශක්තියෙන් නිර්මාණය කර තිබේ.
මෙම නත්තල් ගස එළිදැක්වීමේ අවස්ථාවට මීගමුව , වැල්ලවීදිය, ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මීසම් පාලක ගරු ගයාන් පෙරේරා පියතුමා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සහ මීගමුව භාර පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් තිලකරත්න, මීගමුව නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි යන මහත්ම මහත්මාවීන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුද ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වුහ. එලෙසම මීගමුව සංචාරක සංගමයේ විශේෂ ආරාධනයෙන්, 2025 වසරේ ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ ලෙස කිරුළු දරා ලෝක විවාහක රූ රැජිණ තරගාවලියට සහභාගී වන සබීනා ටී. යුශෆ් මහත්මියද විශේෂ ආරාධිත අමුත්තියක ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.

මෙම නත්තල් ගස 20 වනදා දින සිට එළඹෙන ජනවාරි 05 වැනි දින දක්වා ( 20/12/2025 — 05/01/2026 ) නැරඹීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඊට සමගාමීව නත්තල් ගස නිර්මාණය කර ඇති එම ස්ථානයේ ජනප්‍රිය කැරොල් ගී ගායනාවන්ද ඉදිරිපත් කෙරේ. ඒ අනුව මෙම නත්තල් ගස එළිදැක්වූ ඊයේ දින සවස කොච්චිකඩේ, පල්ලන්සේන ප්‍රදේශයේ ගීතිකා කණ්ඩායම මඟින් ආකර්ෂණීය සහ ලයාන්විත කැරොල් ගී ගායනාවන් කිහිපයක්ම ඉදිරිපත් කළහ.
මෙම නත්තල් ගස නිර්මාණය කිරීමේදී මෙහි යකඩ පෑස්සුම් කටයුතු කුමාර මහතා ඇතුළු නිසල අයන් වර්ක්ස් දායකත්වයෙන් සිදුවූ අතර රසිකා ලක්මාලි මහත්මිය ඇතුළු ග්ලෝරි ඉවෙන්ට්ස් ආයතනය මගින් මෙහි නත්තල් සැරසිලි නිර්මාණය කර තිබිණි. මෙහි විදුලි බුබුළු ආලෝක රටා නිර්මාණය කර ඇත්තේ දුමින්ද ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ ධනංජි ඉලෙක්ට්‍රිකල්ස් ආයතනය විසිනි.
ආරාධීත ගරු ගයාන් පෙරේරා පියතුමන්ගේ යාඥා මෙහෙයෙන් පසු මෙම නත්තල් ගස ආසිරි ගැන්වීම සිදුවු අතර එහිදී ගරු පියතුමන් පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයෙන් මියගිය අය වෙනුවෙන් විශේෂයෙන් යාඥා කළ අතර මේ වන විටත් එම අපදා තත්වයෙන් පීඩා විඳින හා අවතැන් වූ පිරිස් වෙනුවෙන්ද විශේෂ යාඥාවක් කළේය. එලෙසම මෙරට තුළ සහ විශේෂයෙන්ම මීගමු පුරවරය තුළ සංචාරක ආකර්ෂණය සහ එහි ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම නත්තල් ගස නිර්මාණය කළ සැම දෙනා වෙනුවෙන් මෙන්ම ඒ සඳහා ඇප කැප වූ සියලු දෙනා වෙනුවෙන් ද ගරු පියතුමන් ආශිර්වාද පැතීය.
එලෙසම ගරු පියතුමන් විසින්, එලැඹෙන 2026 වසරේ ජනවාරි මස ඇමරිකාවේ, ලස් වේගාස් නගරයේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ,2025 වසරේ ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ වන සබීනා ටී. යුසෆ් මහත්මියට ද මෙහිදී විශේෂ ආශිර්වාද පැතීමක් සිදු කළේය.
ඉන් අනතුරුව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සහ මීගමුව භාර පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් තිලකරත්න මහතා විසින් මෙම නත්තල් ගසේ හි විදුලි ආලෝක දල්වා, මෙම විශේෂිත නත්තල් ගස එළිදැක්වීම නිල වශයෙන් සිදු කෙරිණි.
මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකළ මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර මහතා ප්‍රකාශ කළේ පසුගියදා මෙරට ඇති වු ආපදා තත්ත්වයෙන් වින්දිතව අවතැන් වී සිටින පිරිස් ජීවත් කරන්නට සහ ඔවුන් සැම යලි නඟාසිටුවීමට වත්මන් රජයට දැඩි මූල්‍ය ශක්තියක් ගොඩනැගිය යුතු බවයි. එවැනි මූල්‍ය ශක්තියක් මෙරටට වැඩි වශයෙන් ගෙන එන්නේ සංචාරක කර්මාන්තය තුළින් බවත්, ඒ නිසා මෙරට තුළ සංචාරක ආකර්ෂණය වැඩි වර්ධනය කිරීමටත් , එලෙසම සමස්ත ශ්‍රී ලංකාව තුළද විශේෂයෙන්ම මීගමුව පුරවරය තුළ ද සංචාරක කර්මාන්තය වැඩි වැඩියෙන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව මෙවැනි නත්තල් ගසක් නිර්මාණය කිරීමට තමා සහ තම සංගමය එකමුතුව කටයුතු කළ බව ද පැවසීය.
මෙම අවස්ථාවට තවත් විශේෂ ආරධීත අමුත්තන් රැසක්ම සහභාගි වූ අතර මීගමු ප්‍රදේශයේ ධීවර සංවිධානවල සාමාජික සාමාජිකාවන් හා මීගමුව සංචාරක සංගමයේ සාමාජික සාමාජිකාවන්ද ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ. එමෙන්ම විදේශ සංචාරකයන් ද මෙම නත්තල් ගස නැරඹීමටත් ,එය ඡායාරූපගතත කිරීමටත් පැමිණ සිටිනු දැක ගත හැකි විය.













