මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතාට එරෙහිව පසුගිය දෙසැම්බර් 23 වැනි (23/12/2025) දින මීගමුව ආසනයේ සමගි ජන බලවේග පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන ඇතුළු එම පක්‍ෂය නියෝජනය කරන මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් එක්ව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙි .
එමෙන්ම ඊට සමගාමීව බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියටද මෙම නාගරික මන්ත්‍රීවරු පිරිස සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා විසින් මීගමුව නගරාධිපතිවරයාට එරෙහිව තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙලෙස නගරාධිපතිවරයාට එරෙහිව පැමිණිලි කිරීමට හේතූන් ලෙස ඔවුන් සඳහන් කරන්නේ පසුගිය දෙසැම්බර් 22 වෙනි දින (22/12/2025) මීගමුව මහා නගර සභාවේ 2026 වසර සඳහා පැවති අයවැය විවාදයේදී අයවැයට විරුද්ධව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්නට අවස්ථාව ලබා නොදී නගරාධිපතිවරයා විසින් අත්නෝමතිකව සිය බලය අනිසි ලෙස භාවිතා කරමින් එම අයවැය ඒකමතිකව සභා සම්මත වූ බවට නිවේදනය කලා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙනි.
කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට මීගමුව මහා නගර සභාවේ විපක්ෂ (සජබ) මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් කණ්ඩායම ඇතුළු වෛද්‍ය කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රමුඛ පිරිස එලෙස සිදුකළ පැමිණිල්ලට බස්නාහිර පළාතේ, පලාත් පාලන කොමසාරිස්වරියගේ නමින් යුත් ලිපියක් ,ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් වරයා වෙත යොමු කර තිබේ.
ඒ අනුව එම ලිපිය මගින් ගම්පහ දිස්ත්‍රික් සහකාර කොමසාරිස්පරයාගෙන් ඉල්ලා ඇත්තේ මිගමුව මහා නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් විසින් පැමිණිලි කළ පරිදි පසුගිය දෙසැම්බර් 22 වැනි දින අයවැය ඡන්ද විමසීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරයාගේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් සවිස්තර වාර්තාවක් කඩිනමින් සිය ඊමේල් ලිපිනයට හෝ ෆැක්ස් මාර්ගයෙන් , බස්නාහිර පළාතේ, පළාත් පාලන කොමසාරිස්වරිය වෙත යොමු කරන ලෙසයි.
ඇත්තටම, මීගමුවේ අයවැය ඒකමතිකව සම්මත වූවාද ??
2026 වසර සඳහා වන මීගමුව, මහා නගර සභාවේ ආදායම් පිලිබඳ ඇස්තමේන්තුව හා යෝජිත වියදම් පිළිබඳ විස්තර ඇතුළත් අයවැය ලේඛනය ඒකමතිකව ජය ගත් බවට මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා පසුගිය දෙසැම්බර් 22 දින පෙරවරුවේ, මීගමුව මහා නගර සභාවේ පැවැති අයවැය විවාදය අවසානයේදී නිවේදනය කළේය .
එදින පෙරවරුවේ පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරු අයවැය ලේඛනය සම්බන්ධයෙන් සිය අදහස් පල කළ අතර පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අයවැය ලේඛනය සම්බන්ධයෙන් නගරාධිපතිවරයා සිය සමාලෝචන පිළිතුරු කතාව ඉදිරිපත් කළේය.
නගරාධිපතිවරයාගේ එම පිළිතුරු කථාවෙන් පසු නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ අයවැය ලේඛනය ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැතිව ඒකමතික සභා සම්මත වූ බවයි.
මෙහිදී විශේෂයෙන්ම සමගි ජන බලවේග පක්ෂයෙහි ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම අයවැය ලේඛනය සභා සම්මත කර ගැනීම සඳහා බෙදීමක් හෙවත් ඡන්ද විමසීමක් අවශ්‍ය බවට ඒ අවස්ථාවේදී ප්‍රකාශ කල නමුත් එහිදී නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ නගර සභා ආඥා පනතේ එන නීතිමය විධිවිධාන අනුව අයවැය ලේඛනය සම්බන්ධයෙන් නගරාධිපතිවරයාගේ සමාලෝචන පිළිතුරු කතාවෙන් පසුව නැවත බෙදීමක් හෙවත් ඒ සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය යැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියද, ඉන් පසුව එලෙස ඡන්ද විමසීමකට පිවිසිය නොහැකි බවයි. එසේ කිරීමට නගරාධිපතිවරයා ලෙස තමන්ට නගර සභා ආඥා පනතෙන් කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවද නගරාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. එසේ කළහොත් එය නීතියට පිටුපා සිදු කරනු ලබන වරදක් බවද නගරාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අයවැය විවාදයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නගරාධිපතිවරයා ඉතා දැඩිව ප්‍රකාශ කළේ 2026 වසර සඳහා වන මීගමුව අයවැය ලේඛනය ඒකමතිකව සභා සම්මත වූ බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන මිගමුව මහ නගර සභාවේ විපක්ෂයේ සමගි ජන බලවේග පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන් 02 නා සහ නාගරික මන්ත්‍රීවරියන් 06 දෙනා ප්‍රකාශ කළේ අයවැය ලේඛනයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට නගරාධිපතිවරයා තමන්ට අවස්ථාව ලබා නොදී ඔහු සිය අත්නෝමතික බලය අනිසි ලෙස මෙහිදී භාවිතා කළ බවයි..
සමගි ජන බලවේගයේ මොහොමඩ් නුස්රි විපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ අයවැය සම්බන්ධව තමා සිදුකළ අදහස් දැක්වීමේදීී පවා මෙම අයවැය ලේඛනයට තමන්ගේ ඇති විරුද්ධත්වය ප්‍රකාශ කළ බවයි. එමෙන්ම ඔහු ප්‍රශ්න කර සිටින්නේ නගරාධිපතිවරයා මෙම අයවැය ඒකමතිකව සම්මත කර ගත්තේ නගර සභා ආඥා පනතේ කුමන වගන්තිය පදනම් කරගෙනද ? යන්නයි.
එලෙස කිසිදු වගන්තියක් පිළිබඳව සඳහන් නොකර නගරාධිපතිවරයා විසින් අයවැය ලේඛනය ඒකමතිකව සභා සම්මත වු බවට නිවේදනය කරන්නේ කෙසේදැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටි. කෙසේ වෙතත් ඔහු පවසන්නේ එලෙස අයවැය සම්මත කර ගත් නගර සභා ආඥා පනතේ, කෙටුම්පතේ වගන්තිය පිළිබඳව නගරාධිපතිවරයා විසින් හෙළි කළ යුතු බවයි.
කෙසේ වුවද බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස්වරිය විසින් ගම්පහ දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස්පරයා වෙත යොමු කර ඇති එම ලිපිය සම්බන්ධයෙන් මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමාට එවැනි ලිපියක් හෝ එවැනි ලිපියක පිටපතක් හෝ මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි. එසේ තමන්ට එවැනි ලිපියක් හෝ එවැනි ලිපියක පිටපතක් හෝ ලැබුණහොත් තමන් ඒ පිළිබඳව කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව නගරාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර negombotodayවෙබ් අඩවිය වෙත ප්‍රකාශයක් කරමින් හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර මෙසේ පවසා තිබුනි.
…..ජන්ද විමසීමකට ගියානම් මිගමුව මහානගර සභාවේ 2026 අයවැය වැඩි ජන්ද 20 කින් සම්මත වනබව අප වෙබ් අඩවිය වෙත ප්‍රකාශයක් කරමින් හිටපු නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා පැවසිය.
අයවැය සම්මත වීම පිලිබදව තවදුරටත් අදහස් පලකල හිටපු නගරාධිපතිවරයා විපක්ෂයේ මන්ත්‍රිවරු අයවැයට විරුද්ධව කිසිම අදහසක් ප්‍රකාශ කර නැහැ ඒවගේම බෙදිමල් ඉල්ලා නැහැ මෙවැනි අවස්ථාවක ජන්දයකින් තොරව අයවැය සම්මතවූ ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කිරීමේ ගැටළුවක් නැහැ
මගේ නිලකාලය තුලත් මෙවැනි අවස්ථා වලදී මේ ආකාරයටම කටයුතු කර තිබෙනවා .
අයවැය පැරදුනත් වසර දෙකක් නගරාධිපතිවරයාට අභිමතය පරිදි සභාව පවත්වාගෙන යාමේ හැකියාව තිබෙනවා
විපක්ෂයේ අසමගියත් නොදන්නා කමත් ඉතාමත් සුක්ෂම විදියට පාවිච්චි කරමින් නගරාධිපති තුමා දක්ෂ ලෙස ජන්ද විමසීමකින් තොරව අයවැය සම්මත කරගෙන තිබෙනවා














