මීගමුවේ උකුස්සා ආරක්ෂක සේවාව ගැන ,මීගමුව වෙළඳ සංගමයේ උප සභාපතිගෙන් අදහස් දැක්වීමක්. .

0
435

…..

උකුස්සා ආරක්ෂක සේවාව ආරම්භ කළේ මීගමුව නගරයේ විශාල ස්වර්ණාභරණ ආයතනයක් පසුගිය කාලයේදී මංකොල්ලකෑමකට ලක්වුණා. ඒ සිදුවීමෙන් පසුව බස්නාහිර පළාතේ එවකට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා , මීගමුව නගරයේ ව්‍යාපාරිකයන් එකතුකරලා නගර සභාවේ විශේෂ රැස්වීමක් පැවැත්වුවා.

ඒ රැස්වීමේදී ඔහු යෝජනාවක් ගෙනාවා මිගමුව නගරයේ මංකොල්ලකෑම් සහ හොරකම් වැඩිවීමක් තිබෙන නිසා මීගමුව නගරයට ආරක්‍ෂාව සැපයීම සඳහා මෙවැනි ආරක්ෂක සේවාවක් ආරම්භ කරමු කියලා.

ඒ රැස්වීමට මට සහභාගී වෙන්නට බැරි වුනා නමුත් මට ආරංචි වුණා ඒ රැස්වීමට විශාල ව්‍යාපාරිකයන් පිරිසක් සහභාගි වුණා කියලා.

ඒ අනුව එතනට රැස්වෙලා හිටපු ව්‍යාපාරිකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් එයාලගේ කැමැත්ත පළ කරලා තියෙනවා මෙවැනි ආරක්ෂක සේවාවක් නගරයේ ආරම්භ කරමු කියලා. ඒ අනුව තමයි උකුස්සා කියන මේ ආරක්ෂක සේවාව මීගමුව නගරය කේන්ද්‍ර කරගෙන ආරම්භ වුණේ.
එතකොට මේක මුලදී ,ආරම්භ වුන කාලේ මේ ආරක්ෂක සේවාවට වාහන ද
02ක් යොදවා තිබුණා. එතකොට මේක ආරම්භ කාලේ ඉඳලා ටික කාලයක් යනකල් මේ වාහන 02 කම නගරයේ ආරක්ෂාව සඳහා නිරීක්ෂණ සේවා කටයුතු ක්‍රියාත්මක කළා.

නමුත් වියදම් අධික වීම නිසා එක වාහනයක් මේ මෑතකදී මේ සේවාවෙන් ඉවත් කළා. දැන් මේ සේවාව සඳහා ක්‍රියාත්මක වෙන්නේ එක වාහනයයි.

මීගමුවේ ඉන්න බොහෝ ව්‍යාපාරික පිරිසක් එයාලගේ කැමැත්තෙන්ම තමයි, ඒ කියන්නේ මේ ආරක්ෂක සේවාව නගරයට අත්‍යවශ්‍යයි කියලා හිතන ව්‍යාපාරිකයන් තමයි මේකට දායක වෙන්නේ.

විශේෂයෙන්ම රන් ආභරණ වෙළඳාම් කරන ජුවලරි ආයතන, ෆිනෑන්ස් ලීසිං ආයතන සහ බැංකු වැනි විශාල ලෙස මුදල් පරිහරණය වෙන ඒවගේ මුදල් ගැවසෙන ආයතනයන් මේ සඳහා එයාලගේ කැමැත්තෙන්ම තමයි මුදල් ලබාදීලා මේ සේවාව පවත්වගෙන යන්නේ. ඉතින් ඒ අයගේ කැමැත්තෙන්ම තමයි මේ මුදල් යොදවලා මේ ආරක්ෂක සේවාව පවත්වාගෙන යන්නේ, ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බැහැ.

ඒ අනුව මේ මීගමුන තුළ ක්‍රියාත්මක වෙන උකුස්සා ආරක්ෂක සේවාව සඳහා ස්ථානාධිපතිවරයෙක් ඒ කියන්නේ oic කෙනෙක් ඉන්නවා ඊට අමතරව තවත් 20 ගෙන් පමන සමන්විත වන පොලිස් නිලධාරීන් පිරිසකුත් ඉන්නවා. එතකොට මේ නිරීක්ෂණ සේවාවේ යෙදෙන වාහනයට අපි ගෙවීම් කළ යුතුයි. ඒ කියන්නේ මේ ව්‍යාපාරිකයන්ගෙන් එකතු වන මුදල් වලින් තමයි අපි ඒ වාහනයට සහ එහි රියදුරට ගෙවීම් කරන්නේ. ඉතින් මේ සඳහා යම් වියදමක් දරන්න සිදුවෙනවා.

මේ සේවාව වෙළඳ සංගමයට සම්බන්ධ නොකර පිටස්තර වෙනමම සේවාවක් එහෙම නැත්නම් වෙනමම සංවිධානයක් විදියට කරගෙන යන්න මුලදී යෝජනා වුනා.ඒ අනුව ව්‍යාපාරිකයන් එකතුවෙලා ඒකට වෙනමම සංවිධානයක් පිහිටුවා ගත්තා. ඒ සඳහා සභාපති කෙනෙක් ලේකම් කෙනෙක් සහ භාණ්ඩායක කෙනෙක් ඇතුළු නිලධාරීන්වත් පත් කරගත්තා. නමුත් මේකට වෙනමම බැංකු ගිණුමක් ආරම්භ කෙරුවේ නැහැ. ඉතින් මේකට දායක වෙන හැම ව්‍යාපාරිකයෙක්ම ඒ අදාල චෙක්පත් එහෙම දුන්නේ අපේ වෙළඳ සංගමයේ බැංකු ගිණුමට. එතකොට ඒ ගිණුමට මුදල් බැර වුනහම ඒ ගිණුමෙන් තමයි අපි මුදල් අරන් මේ සේවාව සඳහා අවශ්‍ය මුදල් ලබා දුන්නේ. පසුව කාලයක් යද්දී ඔය පිහිටුවා ගත්තු සංවිධානය දිය වෙලා ගියා.

ඒ කියන්නේ ඒක නතරවුණා. නමුත් උකුස්සා ආරක්ෂක සේවාව අපේ වෙළඳ සංගමය හරහා කරගෙන යනවා. තවමත් අපේ වෙළඳ සංගමය හරහා තමයි මේ කටයුතු සිදුවෙන්නේ.
ඉතින් මේ නගරයේ ව්‍යාපාරික කටයුතු කරන ව්‍යාපාරිකයෙක් හැටියට මම දකින විදිහට නම් මේ උකුස්සා ආරක්ෂක සේවාවෙන් මේ මීගමුව නගරයට විශේෂයෙන්ම මේ වෙළඳ ව්‍යාපාරවලට විශාල සේවාවක් සිදුවෙනවා.

අර මම මුලදිම කිව්වා වගේ අර විශාල මංකොල්ලකෑම්වලින් පසුවනේ අපි මේ සේවාව පිහිටුවා ගත්තේ. නමුත් මේ ආරක්ෂක සේවාව ආරම්භ කරපු දා සිට මේ නගරයේ සිදුවුණු මහා පරිමාණයේ මංකොල්ලකෑම් එකක්වත් ඉන් පසුව සිදුවුණේ නැහැ.

මොකද මේක නගරය වටේම ආරක්ෂක සේවා සහ නිරීක්ෂණ සේවා කටයුතුවල යෙදෙනවා.අර වගේ මංකොල්ල කන්ඩ එන පිරිසක් මේ වගේ තත්ත්වෙකදි ඒ වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙන පුද්ගලයන් හා කණ්ඩායම් යම් ආකාරයකින් පසුබටවීමක් වෙනවා .

මේ වගේ සේවාවක් තියෙන නිසා මොකද ආරක්ෂාවට නිරීක්ෂණයට නගරය තුළ මේ වගේ සේවාවක් ක්‍රියාත්මක වෙන නිසා.

මොකද නගරයේ මහා පරිමාණ ව්‍යාපාරික ස්ථානවල මේ ආරක්ෂක සේවාව යම් වේලාවක් නතර වී සිටිනවා.නගරය පුරාම ආරක්ෂක නිරීක්ෂණ සේවාවේ යෙදෙනවා.

මේ සේවාව එහෙම නැත්නම් මේ උකුස්සා ඒකකය , මීගමුව පොලිස් ස්ථානයෙන් පරිබාහිරව තමයි ස්ථාපිත කරලා තිබුනේ. මේක මුලින්ම තිබුනේ මීගමුව බස් නැවතුමිපොලේ උඩුමහලේ. නමුත් නගර සභාවෙන් ඒක ආපහු අර ගත්තා. ඉන්පසු මේ සේවාවේ ඉන්න පිරිස රැඳී හිටියේ කුලි පදනම මත ලබාගත් නිවසක.

එතකොට මේ නිවසේ කුලිය ගෙව්වෙත් මේ ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙන මුදල් වලින් තමයි. ඊට පස්සේ එතනින් ඉවත් වෙලා ව්‍යාපාරිකයෙකු නොමිලේ ලබා දුන්නු නිවසක රැඳී සිටිනවා. ඒ ව්‍යාපාරිකයා මේ වෙද්දී මිය ගිහින් . එහෙත් ඒ ව්‍යාපාරිකයාගේ දියණිය මේ නිවස ආපසු ඔවුන්ට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලාා තියෙනවා.

මේ වෙද්දී මීගමුව බස් නැවතුම්පොලේ ස්ථානයක් ඒ සඳහා තෝරාගෙන තියෙනවා.

ඉතින් ඒ ස්ථානය මේ උකුස්සා සේවාවේ යෙදෙන පිරිසට රැදී සිටින්නට ලබා දෙන ලෙස අපි කීහිප වතාවක්ම මීගමුව නගරාධිපතිවරයාගෙන් මේ වන විට ඉල්ලීම් කරලා තියෙනවා.

. ඒත් එම ස්ථානය නගරාධිපතිවරයාට හිතුමනාපට ලබා දෙන්නත් බෑහැ , එය යෝජනාවක් විදිහට මහා සභාවට දාලා එයින් සම්මත විය යුතුයි, ඒ වගේ නීතිමය ක්‍රියාදාමයකුත් එතැන සිදු විය යුතුයි .

ඉතින් මෙහෙම දේකුත් තියෙනවා, මේ සේවාව සම්බන්ධව එක එක්කෙනා බලන විදිහ වෙනස් නිසා මෙහි හොඳ නරක දෙකම තියෙනවා.

ඉතින් මම නැවතත් කියනවා ව්‍යාපාරිකයන් හැටියට අපේ මේ නගරයේ දහවල් කාලයේ සිදුවන මංකොල්ලකෑම්, ඔය රත්තරන් ආභරණ ගලවා ගැනීම් වැනි ක්‍රියාවන් වලක්වා ගැනීම තමයි මේ සේවාවෙන් බලාපොරොත්තු වෙන්නේ.

ඉතින් සමහර අය චෝදනා කරනවා මේක රාත්‍රී කාලයට නෑහැ මේක රාත්‍රී 7.00 වෙද්දි ඉවර කරනවා කියලා. නමුත් මූලිකව මේ “උකුස්සා” කියන මේ සේවාවෙන් අපි බලාපොරොත්තු වෙන්නෙම දහවල් කාලයේ නගරයේ සිදුවන මංකොල්ලකෑම් රන් ආභරණ කඩා ගැනීම් වගේ දේවල් වලක්වා ගැනීම මිසක් රාත්‍රී කාලයේ සිදුවන ගෙවල් බිඳීම් ආදිය සම්බන්ධව ක්‍රියා කිරීම නෙවෙයි .

විශේෂයෙන්ම කියන්න ඕන ඉතින් මේ මීගමූව නගරයේ කඩ සාප්පු විවෘතව තියෙන වෙලාවේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. කඩ සාප්පු වසා තැබුවාම මේ ආරක්ෂක සේවාවේ අවශ්‍යතාවය නැතිව යනවා. මොකද මීගමුව නගරයේ කඩ සාප්පු 6.30 , 7.00 වෙද්දි වසා දමනවා. ඉතින් ඒ හේතුව නිසා මේක දවසේ පැය 24ම ක්‍රියාත්මක විමේ අවශ්‍යතාවයක් නැහැ.

මොකද රාත්‍රී කාලයට සිද්ධ වෙන්නේ ගෙවල් බිඳීම් වගේ දේවල්. ඒ සඳහා ආරක්ෂාව සපයන්න නෙවෙයි මේ සේවාව ක්‍රියාත්මක වෙන්නේ. ඒක අපි හොඳින් තේරුම් ගත යුතුයි. ඒ වගේම මේ ආරක්ෂක සේවාව තුළින් මේ පාරේ යන යතුරු පැදිවල යන එන අයගේ ආරක්ෂක හිස් වැසුම් ඒ කියන්නේ හෙල්මට් පරීක්ෂා කිරීමේ කටයුතු, සහ වාහන ගාල් කිරීම සම්බන්ධව ඒ කියන්නේ නගරයේ පාකින් සම්බන්ධ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් හදිසි අවස්ථාවකදී නගරයේ ආරක්ෂාව සම්බන්ධව සැකකටයුතු පුද්ගලයන් සහ වාහන පරීක්ෂා කර බැලීම් වගේ දේවල් කරන්න පුළුවන්.

ඒ වගේම සමහර අය චෝදනා කරනවා මේක වෙනත් පරිබාහිර වැඩ වලට යොදාාගන්නවා කියලා. ඒ කියන්නේ පොලිස් ස්ථානයට අවශ්‍ය වෙලා තියෙන සැකකරුවන් මත්ද්‍රව්‍ය ලෝලින් වගේ අයව අත්අඩංගුවට ගැනීම වගේ කටයුතු වලදී මේ උකුස්සා සේවාවේ වාහනේ සහ ඒ නිලධාරින්ව යොදාගෙන කරනවා කියන චෝදනාව සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ, දැන් මීගමු පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉල්ලීමක් කෙරුවොත් පොලිසියේ වාහනත් නැති වෙලාවක යම් ස්ථානයක ඉන්න සැකකරුවෙක්ව අත්අඩංගුවට අරන් එන්න කියලා ,ඉතින් එහෙම ඉල්ලීමක් කරපුවාහම මේ ආරක්ෂක සේවාවේ ස්ථානාධිපතිවරයාට ඒක ප්‍රතික්ෂේප කරන්න විදිහක් නැහැ.

මම නම් ඒක වරදක් විදිහට ඉතින් දකින්නෙත් නැහැ . එහෙම ඉල්ලීමක් කෙරුවත් පුළුවන්කමක් තියෙනවා නම් කළ යුතුයි කියලයි මම නම් හිතන්නේ.
ඉතින් මේ ආරක්ෂක සේවාවේ සුළු සුළු අඩුපාඩුකම් තියෙනවා .

ඉතින් ඒවා හදාගෙන ඒවා සම්පූර්ණ කරගෙන ඉදිරියට යෑම තමයි සිදුවිය විය යුත්තේ. මම නම් හිතන්නේ ඒවා ඒ තරම් ගණන් ගත යුතු දේවල් නෙවෙයි කියලයි.

කොහොම වුණත් මේ උකුස්සා කියන ආරක්ෂක සේවාව නිසා මේ නගරය යම් ආකාරයකින් ආරක්ෂා වෙලා තියෙනවා . මේ සේවාව තුළින් මීගමුව නගරයට යම් ආකාරයක ආරක්ෂවක් හැදිලා තියෙනවා .

මොකද මම මෙහෙම කියන්නේ මේක ආරම්භ කරපු දා සිට මෙතෙක් නගරය තුළ කවදාකවත් මංකොල්ල කෑම් වගේ මහා පරිමාණ සිදුවීම් සිදුවෙලා නැහැ. අන්න එහෙම සිදුවීමක් වෙලා තිබුණා නම් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්න පුළුවන්.

නමුත් එහෙම දෙයක් තවම සිදු වෙලා නැහැ. ඒ වගේම මේ සේවාව ඉදිරියට තවත් පහසුකම් සලසලා දීලා , මෙය තවත් වැඩිදියුණු කළ යුතුයි කියලයි මම නම් විශ්වාස කරන්නේ.

ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕන මේ උකුස්සා නගර ආරක්ෂක සේවාව ගැන වැඩියෙන්ම විවේචනය කරන්නේ මේ වැඩසටහනට දායක නොවන පිරිස. මොකද මේ සේවාවට නගරයේ ව්‍යාපාරිකයන් 70 දෙනෙකුගේ පමණ කැමැත්තෙන්ම තමයි ආරම්භ කළේ .

අර මම කලින් කිව්වා වගේ මේ සඳහා කිසිම දායකත්වයක් නොදෙන පිරිස් තමයි මේ පිළිබඳව විවේචන කරන්නේ. ඉතින් මම අවසාන වශයෙන් කියන්නේ මේ උකුස්සා ආරක්ෂක සේවාවේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් වෙළඳ සංගමයේ අපිත් එක්ක ඇවිල්ල සාකච්ඡා කරලා බලලා ඒ දේවල් අපි හැකියාවක් තියෙනවා ක්‍රියාත්මක කරමු.

මේ වගේ නගර ආරක්ෂක සේවා තියෙන්නේ මේ මීගමුවේ විතරක්ම නෙවෙයි තව ගම්පහ නගරය ඇතුළු තවත් නගර කීහිපයක ක්‍රියාත්මක වෙනවා කියලා මට දැනගන්න ලැබිලා තියෙනවා. මොකද විශේෂයෙන්ම මෙම සේවාව සඳහා යෙදී සිටිනපොලිස් නිලධාරීන්ට රජයෙන් බැටුප් ගෙව්වට, අනෙකුත් වියදම් දරන්නේ ඒ නගරයේ ව්‍යාපාරිකයෝ.

ඉතින් මට හිතෙන දේ තමයි මේ සේවාව මීගමු නගරය තුළ මේ වනවිටත් හොඳින් ක්‍රියාත්මක වෙනවා.

ඉතින් මම නැවතත් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව විවිධ අදහස් තියෙන්න පුළුවන් ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කරලා අපිට ඒ සඳහා විසඳුම් සොයා ගත හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here