පොලිස් නිලධාරීන් පියතුමෙකුට පහර දීම ගැන කාවින්ද මන්ත්‍රීවරයා ආණ්ඩුවට දෙහි කපයි..

0
577

 

පසුගියදා රාත්‍රී (24/01/2026) කිරිඳිවිට ප්‍රදේශයේදී ගම්පහ පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් පිරිසක් විසින් කතෝලික පියතුමෙකුට පහර දීමේ සිදුවීමෙන් පසු එම පියතුමා නේවාසිකව ප්‍රතිකාර ලබන මීගමුව රෝහලට පැමිණි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණත්වය ඉෂ්ට කිරීම සඳහා වත්මන් ආණ්ඩුව මැදිහත්විය යුතු බවයි.

ඊයේ  දින (25/01/2026) පෙරවරුවේ මීගමුව රෝහලට පැමිණි කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පහර කෑමට ලක් වූ මිලාන් ප්‍රියදර්ශන පියතුමාගේ සුව දුක් විමසා බැලීමෙන් පසුව එහි සිටි මාධ්‍යවේදීන් හමුවේ මෙලෙස පැවසීය.

”” අපි කණගාටුවට පත්වෙනවා,ඒ වගේම අපි හෙළා දකිනවා විශේෂයෙන්ම කතෝලික පූජකවරයෙකුට අමානුෂික ලෙස ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් කීහිප දෙනෙක් පහර දීලා තිබෙනවා. මම හිතන්නේ කාරණාව ඉතාමත්ම පැහැදිලියි. උන්වහන්සේ දේව මෙහෙයකට සහභාගී වෙලා, යමින් සිටපු අවස්ථාවක ගෞරවනීය අපේ කතෝලික පියතුමන්ලා පළඳලා සිටින ලෝගුව, පැළඳලා හිටපු අවස්ථාවක පැහැදිලිව කතෝලික පූජකයෙක් කියලා තහවුරු වෙනකොට උන්වහන්සේ තමන්ගේ බයිසිකලය නතර කලේ නැහැයි කියලා අමානුෂික ලෙස උන්වහන්සේට පහර දීලා තියෙනවා හෙල්මට් එකෙන් පහර දීලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ මේ වෙනකොට මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. මේ ක්‍රියා කලාපය අපි හෙලා දකිනවා. ඒ වගේම අපි කණගාටු වෙනවා ශ්‍රී ලංකා පොලිසියේ මේ ආකාරයේ පූජකයෙකුට පහර දීම . හැබැයි අපට සිහි වෙන කරුණ තමයි විශේෂයෙන්ම මේ පියතුමාට පහර දීපු ඒ නිලධාරීන් කියලා තියෙන්නේ උඹලා මේ ලෝගු දාගෙන සිවුරු දාගෙන තමයි මේ දේවල් කරන්නේ කියලා. එතකොට අපේ ආගමික නායකයන් කවදාක්වත් වැරදි ක්‍රියා කරන්නේ නැහැ.ආගමික නායකයන් අපිට ලබා දෙන්නේ ආගමික වශයෙන් ජීවිතයේ සුභදායි ලෙස හරි මාර්ගයට ගිහිල්ලා ජීවත් වෙන්නේ කොහොමද කියලා .එතකොට අපේ ආධ්‍යාත්මික පැත්තෙන් අපිට දෙන පණිවිඩය ලබා දෙන්නේ උන්වහන්සේලා.එතකොට එවැනි ආගමික නායකයන්ට ශාස්තෘවරුන්ට මේ ආකාරයෙන් පහර දීම ඉතාමත් භයානක තත්ත්වයක්.
මීට දින කීහිපයකට කලින් ආණ්ඩුවේ එක්තරා ඇමතිවරයෙක් ප්‍රකාශයක් කලා, ලෝගුවක් දාගෙන හිටියත් ,සිවුරක් දාගෙන හිටියත් , ටයි කෝට් දාගෙන හිටියත් බෲස් – ලී පහරක් ගහනවා කියලා. දැන් ඒ බෲස් – ලී
පහරවල් ද අපි මේ ආගමික නායකයන්ට මේ එල්ල වෙන්නේ කියන එක පිළිබඳව අපට සාධාරණ සැකයක් සමාජයේ මතුවෙනවා , එවැනි මතයක් ගොඩනැගෙමින් පවතිනවා.

ඒ නිසා මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා මෙි ආණ්ඩු බලයට ආවේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු අල්ලන්න. හැබැයි ඒ මහා මොලකරු අල්ලනවා වෙනුවට ඒ අය කරන්නේ පොලිසිය යොදවලා ආගමික නායකයන් මර්දනය කරනවා නමි , අපි ඒක හෙලා දකිනවා. අපි දකිනවා ත්‍රිකුණාමලයේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේනමක්ව අත්අඩංගුවට පත් කරලා තියෙනවා, ඒ පිළිබඳව සමාජයේ කතිකාවතක් තිබෙනවා. ඒත් එක්කම මේ වෙනකොට පොලිසියේ පහර දීමකට කතෝලික පියතුමෙක් ලක්වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරන්නේ, මේ සියල්ලක් පිටුපස ආණ්ඩුව මැදිහත් වෙලා යුක්තිය සාධාරණත්වය ඉෂ්ඨ කරන්න කටයුතු කළ යුතුයි. ඒවගේම මේ අවස්ථාවේදී ආණ්ඩුවට වගකීමක් තියෙනවා,ආණ්ඩුව දුන්න පොරොන්දුව පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොලකරු අල්ලන්න දුන්න පොරොන්දුව මේ පොලිසිය භාවිතා කරලා ක්‍රියාත්මක කළ යුතුයි එහෙම නැතුව ආගමික නායකයන්ට පහර දීලා ඒ අය රෝහල් ගත කරන තත්ත්වයට පත්නොකර.”” යැයි කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසීය

කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා සමඟ හිටපු මීගමුව නාගරික මන්ත්‍රී මාර්ක් සුජිත් මහතා ඇතුළු පිරිසක්ද පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here