පිටිපන මා ජයවීර කිවිඳුන් ,මීගමුව නාගරික ලේකම්වරියට ඇලජික් ද ???.

0
446

 

පසුගිය 12 වැනි දින (12/01/2026 ) අරලියගහ මන්දිරියේදී 40 වැනි වරට පවත්වනු ලැබූ 2025 වසරේ “”කලා භූෂණ”” රාජ්‍ය සම්මාන උළෙලේදී මීගමුව, පිටිපන මා. ජයවීර කිවිඳානන් හට ද කලා භූෂණ සම්මානයක් පිරිනමමින් ඔහුගේ දක්ෂතාවයන් හා ප්‍රතිභාවන් විශේෂ ඇගයීමකට පාත්‍ර කළේය.
එලෙස දශකයක පමන කාලයකට පසුව මීගමුව පුරවරයට කලා භූෂණ සම්මානයක් තුළින් කීර්තියක් සහ ගෞරවයක් ගෙන ආ මා. ජයවීර කිවිඳානන් වෙත මීගමුව පුරවරයේ සමස්ත ජනතාව වෙනුවෙන් ගෞරව උපහාරය පුද කිරීම සඳහා සමගි ජන බලවේග පක්ෂයේ හෙවත් විපක්ෂයේ නාගරික මන්ත්‍රීනී දිලිණි ජයකොඩි  විසින් එළැඹෙන පෙබරවාරි මස මීගමුව මහා නගර සභාවේ මාසික මහා සභා රැස්වීම සඳහා යෝජනාවක්, නාගරික ලේකම් ෆර්ජනා  ඉකුත් දිනකදී භාර දී තිබේ.

වාර්තා වන පරිදි එම යෝජනාව තුළින් විපක්ෂ (සජබ) නාගරික මන්ත්‍රීනි දිලිණි ජයකොඩි සඳහන් කර ඇත්තේ මීගමුවට විශාල කීර්තියක් අත්කර දුන් සහ, කතෝලික සාහිත්‍යය වෙනුවෙන්, කවියෙකු ලෙස අපරිමිත සේවාවක් සිදු කරමින්, මීගමුව මහා නගර සභාව වෙනුවෙන්ම නිර්මාණය කළ ” මීපුර උදාන ගීය” ද නිර්මාණය කරමින් ද එලෙසම ශ්‍රී ලංකාවේ කලපුවක් වෙනුවෙන් නිර්මාණය කළ එකම කලපු ගීය ” මීපුර කලපු උදාන ගීය” නිර්මාණය කරමින් ද සිය ප්‍රතිභාව හා දක්ෂතාවය මැනවින් විදහා පෑ මෙලෙස කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ මෙම සුවිශේෂී කලාකරුවාට මීගමුවේ සමස්ත ජනතාව වෙනුවෙන් මීගමුව මහා නගර සභාවේ පක්ෂ විපක්ෂ සියලු නාගරික මන්ත්‍රීවරුන් එක්ව ගෞරව උපහාර පිදිය යුතු බවයි.

ඒ අනුව පසුගිය   ( 26/01/2026 ) දින පෙරවරුවේ දිලිණි ජයකොඩි විපක්ෂ මන්ත්‍රීවරිය එම යෝජනාව පෙබරවාරි මස මහා සභා න්‍යාය පත්‍රයට ඇතුලත් කර තිබේ දැයි විමසීම සඳහා නාගරික ලේකම්වරිය  හමුවී තිබේ.

එවිට නාගරික ලේකම්වරිය පවසා ඇත්තේ මෙම යෝජනාව සංවර්ධන කටයුත්තක් පිළිබඳ යෝජනාවක් නොවන නිසාවෙන් මෙම යෝජනාව එළඹෙන මාසික මහා සභාවේ න්‍යාය පත්‍රයට නාගරික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඇතුලත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති බවයි .

එවිට දිලිණි ජයකොඩි විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරිය නාගරික ලේකම්වරියට පවසා ඇත්තේ මන්ත්‍රීවරියගේ පියා වන හිටපු නාගරික මන්ත්‍රී කැලිසන් ජයකොඩි මහතා මියගිය අවස්ථාවේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා යෝජනාවක් මහා සභාවට ඉදිරිපත් වූ අවස්ථාවේදී පක්ෂ විපක්ෂ සියලු නාගරික මන්ත්‍රීවරුන් තම පියාගේ ගුණ වර්ණනා කරමින් එම යෝජනාවට අදාළව ශෝක ප්‍රකාශයන් සිදුකර ඇති බවයි.

එසේ නම් එවන් යෝජනාද සංවර්ධනය හා සම්බන්ධ යෝජනා නොවන බවත්, එවැනි යෝජනා මහා සභා න්‍යාය පත්‍රයට ඇතුළත් කලා සේ මෙවැනි මා හැඟී කලාකරුවකු වෙනුවෙන් ගෞරවය උපහාරය පුද කිරීම වෙනුවෙන් තමන් ඉදිරිපත් කළ මෙම යෝජනාව ද මහා සභා න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු බවයි. එහෙත් එම අවස්ථාවේදී ද නාගරික ලේකම්වරිය පවසා ඇත්තේ සංවර්ධනය පිළිබඳ යෝජනාවක් නොවන නිසාවෙන් මෙය න්‍යායපත්‍රයට ඇතුළත් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

අද නගර සභාවේදී දිලිණි ජයකොඩි විපක්ෂ මන්ත්‍රීවරිය ඉදිරිපත් කල මෙම යෝජනාව සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමකදී අප වෙත වාර්තා වූයේ ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරියක් විසින් මාසික මහා සභා රැස්වීමක් සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනාවක් න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය ගත යුතු වන්නේ නගරාධිපතිවරයා විසින් බවයි .

පළාත් පාලන ආයතනයක නාගරික ලේකම් ධුරයට න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්නේ කුමන ආකාරයේ යෝජනාද යන්න පිළිබඳව තීරණය කිරීමට නොහැකි බවත්, ඒ සඳහා නෛතික බලය ඇත්තේ නගරාධිපතිවරයා ට බවත් වාර්තා විය.

මහා නගර සභා අතුරු ව්‍යවස්ථාවේ අංක 13 , (ඇ) සහ (ඈ) වගන්ති ප්‍රකාරව යම් යෝජනාවක් ව්‍යවස්ථා විරෝධී නම් පමණක් එය ප්‍රතික්ෂේප කිරීමට නගරාධිපතිවරයාට හැකියාව ඇති අතර, එම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට සාධාරණ හේතුන් සහ කාරණාවන්ද නගරාධිපතිවරයා විසින් අදාළ නාගරික මන්ත්‍රීවරයා වෙත ඉදිරිපත් කල යුතුව තිබේ.

එසේ හෙයින් නාගරික ලේකම්වරයෙකුට හෝ නාගරික ලේකම්වරියකට නාගරික මන්ත්‍රී යෝජනාවක් න්‍යාය පත්‍රයට ඇතුළු නොකර ප්‍රතික්ෂේප කිරීමට කිසිසේත්ම නීතිමය බලයක් නොමැති බවද මෙහිදී වැඩිදුරටත් වාර්තා විය.

මෙලෙස වාර්තා වූ කරුණු අනුව ගම්‍ය වන්නේ මීගමුව නගරාධිපතිවරයාගේ බලය, නාගරික ලේකම්වරිය විසින් අනිසි ලෙස භාවිතා කිරීමට ගන්නා උත්සාහයක් බවය.

කෙසේ වෙතත් මේ පිළිබඳව මීගමු මහා නගර සභාවේ බොහෝ දෙනකු පවසන්නේ මීගමුවට ගෞරවයක් සහ කීර්තියක් ගෙන ආ පිටිපන මා. ජයවිර කිවිඳුන් පිළිබඳ නාගරික ලේකම්වරියට  ඇත්තේ තදබල ඇළජික් එකක් බවය.

R.T.ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here