මැලේසියාවේ ක්වාලාලම්පූර් සහ කොළඹ අතර යළිත් වරක් ආරම්භ කළ සෘජු ගුවන් සේවයට අයත් බතික් එයාර් (Batik Air) මංගල ගුවන් යානය අද (30) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සාර්ථකව ළඟා විය. බෝයිං 737 800 වර්ගයේ ගුවන් යානයක් යොදාගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම සේවාව සෑම සතියකම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දින හතරේදී පවත්වාගෙන යාමට නියමිත අතර, ශ්‍රී ලංකාව තුළ බතික් එයාර් ගුවන් සේවයේ ප්‍රධාන අලෙවි නියෝජිතයා ලෙස ‘M and C Companies Pvt.Ltd’ ආයතනය කටයුතු කරයි.
මෙම ගුවන් ගමන් ආරම්භයට සමගාමීව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය (SriLankan Engineering) සහ මැලේසියාවේ බතික් එයාර් ගුවන් සේවය අතර නව දිගුකාලීන රේඛීය නඩත්තු ගිවිසුමකට ද පසුගිය 25 වනදා නිල වශයෙන් එළඹ තිබේ. ඒ අනුව කොළඹට පැමිණෙන සියලුම බතික් එයාර් ගුවන් යානා සඳහා අවශ්‍ය නඩත්තු සේවා සැපයීමේ පූර්ණ වගකීම ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයට පැවරෙන අතර, එමගින් ගුවන් යානාවල ආරක්ෂාව, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සූදානම වඩාත් ඉහළ නැංවෙනු ඇත.
මෙම නව සබඳතාව හරහා ගිනිකොනදිග ආසියාව සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සංචාරක විකල්පයන් තවදුරටත් වැඩිදියුණු වනු ඇති බව බතික් එයාර් ගුවන් සේවයේ අලෙවි ප්‍රධානී අරසු සෞන්දරරාජන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන පරිදි, 2023 වසරේදී 61,775ක් ලෙස වාර්තා වූ ශ්‍රී ලාංකිකයින්ගේ මැලේසියානු සංචාරක පැමිණීම් මේ වනවිට 77,202ක් දක්වා එනම් සියයට 25කට ආසන්න ප්‍රතිශතයකින් වර්ධනය වී ඇති හෙයින්, මෙම සතිපතා ගුවන් වාර හතර හඳුන්වා දීම මගින් මගී සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කරන පරිදි, මෙම නව ගුවන් ගමන් ආරම්භ කිරීම කොළඹ ගුවන් සේවා ක්ෂේත්‍රය පුළුල් ලෙස ප්‍රසාරණය කිරීමේ එක් සුවිශේෂී පියවරක් ලෙස සැලකේ. දෙරට අතර සංචාරක පැමිණීම් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීඩා සංචාරක කර්මාන්තය සහ ඒකාබද්ධ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට මැලේසියාව මේ වනවිට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් ආදම් මහතා ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එමිල් රොහාන්











