මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ආ චීවරධාරීන් ගේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු රිමාන්ඩ් . ….

0
13

තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් නැමැති මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 23 දෙනා සමඟ සම්බන්ධකම් පවත්වා විශාල වශයෙන් මුදල් හා මත්ද්‍රව්‍ය ගණුදෙනු සිදු කළේ යැයි අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කළ “මහමුද් මෙහොමඩ්” නැමැත්තා එළැඹෙන මැයි 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානී අබේසේකර මහත්මිය ඊයේ (14/05/2026) පෙරවරුවේදී නියෝග කළාය.

ඒ එම පුද්ගලයාගේ රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසු ඊයේ , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් 22නෙකු පසුගිය අප්‍රෙල් 25 වැනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වුණේ ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී “කුෂ්” සහ “හෑෂ්” නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112 ක් හමුවීමත් සමඟය.

ඒ අනුව එම චීවරධාරීන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබුණේ අඟුණකොළේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවයි.

ඒ අනුව අඟණකොළේ අමිතාන්නද නම් චීවරධාරියාද ගම්පහ මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම මෙම පිරිස මෙහෙය වූ බව කියන , මින්පෙර අවස්ථාව වලදීද මෙරටට මත්ද්‍රව්‍ය ගෙන එම සඳහා ආධාර අනුබලදුන් ” මහමුද් මොහොමඩ් ” නැමති පුද්ගලයකු කොළඹ ප්‍රදේශයේදී ඉකුත් 8 වැනිදා (08/05/2025) අත්අඩංගුවට ගෙන ඇති අතර , පසුව එම පුද්ගලයාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉකුත් 09 වැනිදා ( 09/05/2026) ඉදිරිපත් කළ අතර ඒ අනුව එම පුද්ගලයාව ඊයේ දින (14/05/2026) දක්වා රඳවා ප්‍රශ්න කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබිණි.

ඒ අනුව එම රැඳවුම් නියෝග අවසන් වු ඊයේ දින එම සැකකරුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
එහිදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ කාන්තා උප පොලිස් පරික්ෂක ලක්මාලි මහත්මිය “බී” වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කලේ මෙම සැකකාර චීවරධාරීන්ට අදාළ සංචාරය සඳහා අවශ්‍ය මුදල්, විවිධ අවස්ථා වලදී ලබා දී ඇති බවයි. රුපියල් 10,000 සහ 20,000 බැගින් විටින් විට බැංකු මගින් විශාල වශයෙන් ගනු දෙනු සිදුකර ඇති බවත් තවත් කෝටි ගනනක මුදල්ද මෙලෙස සංසරණය වී ඇති බවත් ප්‍රශ්න කිරීම් වලදි එම තොරතුරු අනාවරණය කර ගත් බවත් එම නිලධාරීනිය අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

“” ස්වාමිනි, මේ සියලුම ස්වාමින් වහන්සේලාව එකතු කරලා තියෙන්නේ පූජ්‍ය අගුණුකොළ අමිතානන්ද හිමි විසින් මෙහෙයවා තිබෙන වට්ස් ඇප් සමුහයක් ( Whatsapp Group ) හරහායි. ඒ පිළිබඳව කල සොයා බැලීමේ දී අනාවරණය වුනා මහමුද් මෙහොමඩ් කියන පුද්ගලයා පිළිබඳව. ඒ අනුව එම පුද්ගලයාව ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගත්තා. එහිදී සිදු කල ප්‍රශ්න කිරීම් වලදි අපට අනාවරණය කර ගන්න හැකි වුනා, මේ පුද්ගලයා සමග විශාල වශයෙන් ගනු දෙනු සිදුකර ඇති බව. වැඩිදුරත් තොරතුරු ලබා ගැනීම
සඳහා මේ සියලුම දෙනාගේ ජංගම දුරකථන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නා. මත්ද්‍රව්‍ය සහිත ගමන්මලු රැගෙන යාමට පැමිණිමට සුදානමව සිටි පුද්ගලයන් 02නෙකු හඳුනා ගත්තා. ඉන් එක් පුද්ගලයෙකු මේ මහමුද් මෙහොමඩ් නැමැත්තා. මෙම නඩුවේ 06වන සැකකරු ලෙස නම් කිරිමට අවසර ඉල්ලනවා, එමෙන්ම අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින මොහොමඩ් මුසිම් අබ්දුල්ලා නැමති සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරනවා.””

ඒ අනුව කරුණු සලකා බැලු මීගමුව අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කලේ ලබන 26 (26/05/2026) වැනිදා දක්වා එම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ඒ අනුව ලබන 26 වැනිදා චීවරධාරීන් ද අධිකරණයට ඉදිරිපත් කරන විට එම පුද්ගලයා ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අඟුණකොලේ අමිතානන්ද හිමි, සංචාරය නිම කර පැමිණෙන විට මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙනා ,චන්ද්‍රකුමාර සහ මහමුද් මොහොමඩ් යන සැකකරුවන් ඇතුළු, සැකකරුවන් 25 දෙනෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ලබන 26දා (26/05/2026) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ තවත් චීවරධාරීන් 03නෙකු සහ මුස්ලිම් ජාතික සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකව පවතී.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here