ශ්‍රී ලංකාවේ දොන් බොස්කෝ සේවාවට වසර 70 ක් සපිරීම, මිගමුවේදී හරසරින් සැමරේ . …

0
68

 

මීගමුව, දොන් බොස්කෝ මධ්‍යස්ථානයේදී, සැමරුම් වැඩසටහනක් …..

19 වැනි සියවසේ දී , ඉතාලියේ විසූ, එවකට පියතුමෙකු ලෙස සිට පසුව ශුද්ධවරත්වයට එසවු ගරු ශුද්ධවූ දොන් බොස්කෝ මුනිතුමන් විසින් ආරම්භ කරන ලද
” සැලේසියානු ” කතෝලික පූජක නිකාය, තුළින් ඇරඹි, බොස්කෝ ආයතනික සේවාව මෙරට තුළ, සිය සේවාවන් ආරම්භ කර 70 වසරක් සපිරීම නිමිත්තෙන්, ඒ සඳහා, විශේෂ සැමරුම් වැඩසටහනක්, පසුගිය 16 වැනි ශනි දින පෙරවරුවේදී, මීගමුව, දොන් බොස්කෝ ආයතනයේදී පවත්වන ලදී.
ඒ අනුව ලොව පුරා රටවල් 137 ක ව්‍යාප්තව ඇති දොන් බොස්කෝ ආයතනික සේවාව තුළින් ලොව පුරා වෙසෙන තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය, සදාචාරාත්මක සංවර්ධනය සහ වෘත්තීය පුහුණු කාර්යයන් වෙනුවෙන් ඇප කැප ව කටයුතු කරයි.
එමෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 137 ක කාර්මික හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් තරුණ ප්‍රජාවට රැකියා අවස්ථා උදාකරමින් , ආගමික කටයුතුවල හා සමාජ සත්කාරක කාර්යභාරයන් වලද නිරත වන දොන් බොස්කෝ ආයතනික සේවාව, මීට 70 වසරකට පෙර, ශ්‍රී ලංකාව තුළ සිය සේවාව ආරම්භ කරමින් ප්‍රථම දොන් බොස්කෝ මධ්‍යස්ථානය මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේදී ස්ථාපිත කරනු ලැබීය.

එලෙසම මෙම 70 වසරක සැමරුම් වැඩසටහනට සමගාමීව මීගමුව, ඒත්තුකාලේ, දොන් බොස්කෝ මධ්‍යස්ථාන පරිශ්‍රයේ මරියතුමිය නමින් ඉතා අලංකාරවත්ව ඉදිකර ඇති දේවස්ථානය
” ක්‍රිස්තියානීන්ගේ පිහිටාධාර මෑණියෝ ”
( MARY, Helps of Christian)
නමින් කැප කිරීමේ 25 වසරක සංවත්සරය නිමිත්තෙන් විශේෂ දේව මෙහෙයක්ද මෙදින පෙරවරුවේදී එම දේවස්ථානයේදී පැවැත්විණි.
එම සංවත්සරික දිව්‍ය මෙහෙයට සහ සැලේසියානු නිකාය මඟින් ආරම්භ කළ මෙරට දොන් බොස්කෝ සේවාවට 70 වසරක් සපිරීම ද සනිටුහන් කිරීම සඳහා, ඉතාලියේ,සිට මෙරටට පැමිණි, ශුද්ධවු දොන් බොස්කෝ මුනිතුමන්ගේ 11 වන අනුප්‍රාප්තිකයා ලෙස සැලකෙන , දොන් බොස්කෝ , සැලේසියානු නිකායේ ජ්‍යෙෂ්ඨතම පියතුමා වන ගරු ෆාබීයෝ අටාර්ඩ් පියතුමන් , මේ සඳහා ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගි විය.

IMG 20260521 WA0084 IMG 20260521 WA0083 IMG 20260521 WA0088 IMG 20260521 WA0087 IMG 20260521 WA0086 IMG 20260521 WA0090 IMG 20260521 WA0089 IMG 20260521 WA0093 IMG 20260521 WA0092 IMG 20260521 WA0091 IMG 20260521 WA0094 IMG 20260521 WA0095

සාමාන්‍ය යුරෝපියනු ඇඳුමින් සැරසී ගරු ෆාබීයෝ අටාර්ඩ් පියතුමන් මෙම සැමරුම් වැඩසටහනට සහභාගි වීමද විශේෂත්වයක් විය. මෙම සැමරුම් වැඩසටහනට පැමිණි ගරු පියතුමන්ව, දොන් බොස්කෝ, සැලේසියානු නිකායේ මෙරට හිටපු ප්‍රාදේශීයාධිපතිවරුන් වන හියුමන් පින්ටෝ සහ නිහාල් ලියනගේ ගරු පියතුමන්ලා සහ මීගමුව දොන් බොස්කෝ මධ්‍යස්ථානයේ වර්තමාන, විදුහල්පති සහ අධ්‍යක්ෂක වන ගරු රෙජිනෝල්ඩ් ප්‍රනාන්දු පියතුමා ඇතුළු අනෙකුත් ගරු පියතුමන්ලා විසින් මහත් හරසරින් පිළිගෙන මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත කැඳවාගෙන යන ලදී.

පසුව එම දේවස්ථානයේදී , විශේෂ සාංවත්සරික දේව මෙහෙය, ගරු ෆාබීයෝ අටාර්ඩ් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.
මෙහිදී ගරු ෆාබීයෝ අටාර්ඩ් පියතුමන් විසින් විශේෂ දේශනයක් සිදු කළේය. ශුදිධවු දොන් බොස්කෝ මුනිතුමන් දිළිඳු සමාජීය පවුල් පසුබිමකින් පැමිණ, සිය අප්‍රතිහත ධෛර්යය මුසුව වෙහෙස මහන්සිය නොබලා කටයුතු කරමින් සමාජයේ දිළිඳු සහ සමාජය තුළ අතහැර දැමූ තරුණයන්ගේ සේවයට කැප වූ ශුද්ධවු පූජකයෙකු බවට පත් වූ ආකාරය පිලිබඳව මෙහිදී ආවර්ජනය කළේය. එලෙසම ගරු පියතුමන් අධ්‍යාපනයේ ඇති වැදගත්කම සහ පෞද්ගලික පෞරුෂ වර්ධනයේ ඇති වැදගත්කම ඉතා දැඩිව අවධාරණය කළ අතර වර්තමාන තරුණ පරපුර ඉතා උනන්දුවෙන් අධ්‍යාපනය හැදෑරීමටත් , අවශ්‍යතා ඇති අයට උපකාර කළ හැකි , සමාජයේ ප්‍රයෝජනවත් පුද්ගලයින් බවට පත්විය යුතු බවත්, විශේෂයෙන් අවධාරණය කළේය.
එලෙසම එම සැමරුම් උත්සව කටයුතු අවසානයේ, තම වෘත්තිය පුහුණු පාඨමාලාවන් සාර්ථකව නිමාකල මීගමුව, දොන් බොස්කෝ මධ්‍යස්ථානයේ සිසුන් කිහිප දෙනෙකුට ජාතික වෘත්තිය සුදුසුකම් සහතිකපත්‍ර සහ දොන් බොස්කෝ ආයතනික සහතිකපත්‍ර ප්‍රදානය කිරීමද ගරු ෆාබීයෝ අටාර්ඩ් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඉන්පසුව පුරා පැයක පමණ කාලයක් දොන් බොස්කෝ සැලේසියානු නිකායේ ජ්‍යෙෂ්ඨතම පියතුමන් වන ගරු ෆාබීයෝ අටාර්ඩ් පියතුමන් පැමිණ සිටි තරුණ තරුණියන් සමග සජීවී ,සුහද සංවාදශීලී කතිකාවකට ද සහභාගි විය.
එමෙන්ම මෙරට, දොන් බොස්කෝ, සැලෙසියනුු නිකායේ පියතුමන්ලා සහ අවට දේවස්ථාන නියෝජනය කරමින් ගරු පියතුමන්ලාද එලෙසම ගරු කන්‍යා සොහොයුරියන් ද , මීගමුව දොන් බොස්කෝ ආයතනයේ වෘත්තීය හා කාර්මික පාඨමාලාමන් හදාරණ සිසු දරු දැරියන් මෙන්ම මධ්‍යස්ථානයේ ගුරුභවතුන් සහ තවත් ආරාධිතයන් ඇතුළු අති විශාල පිරිසක් මෙම සැමරුම් උත්සවය සහ සාංවත්සරික දිව්‍ය මෙහෙය සඳහා සහභාගි වූහ.
තවද, මෙලෙස 25 වැනි සංවත්සරය සනිටුහන් කළ, මීගමුව දොන් බොස්කෝ මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ ස්ථාපිත, මෙම ක්‍රිස්තියානීන්ගේ පිහිටාධාර මෑණියෝ ( MARY, Helps of Christian) නමින් කැපකළ මෙරට පිහිටි එකම දේවස්ථානය, මෙය වන නිසා, මීගමුව ප්‍රදේශයේ පමණක් නොව මෙරට සෑම පළාතකින්ම පාහේ මරියතුමියට ආදරය, භක්තිය සහ ගෞරවය දක්වන කිතුණු සැදැහැවතුන් අති විශාල පිරිසක්ද මෙම සංවත්සරික දිව්‍ය මෙහෙය සඳහා සහභාගී වුහ.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here