මීගමුවේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්. …

0
48

පසුගිය කාලයේ ඇදහැලුනු වර්ෂාව සහ ඉන් පසුව ඇතිවුණු ගංවතුර තත්ත්වයත් සමග රට තුල ඩෙංගු රෝගය යළි ඉස්මතු වීමේ සහ ව්‍යාප්තවීමේ වර්ධනයක් පසුගිය දිනවල සිට මේ දක්වා කාලය තුළ දක්නට ලැබෙන බවට වාර්තා වුණි. ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් මේ වන විට මෙරට වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන පළාත ලෙස බස්නාහිර පළාත නම් කර ඇත. ඒ අනුව මේ වන විට බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 17,207 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් අද දින (10/06/2026) ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ , වැඩ බලන අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කුමාර කන්නංගර මහතා ප්‍රකාශ කළේ ඊයේ දින (09/06/2026) රාත්‍රී වන විට බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 8029 ක්ද , කළුතර දිස්ත්‍රික්කයෙන් 2503 දෙනකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 6675 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව බල ප්‍රදේශය තුළ පසුගිය කාලයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා විවිධාකාර පියවරයන් ගෙන තිබුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය කාලයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම අවම මට්ටමක පැවතුණි.

පසුගිය මැයි මාසයේ මීගමුවෙන් ඩෙංගු රෝගීන්
47 ක්. ….
වැඩිම, කොච්චිකඩේ

එහෙත් පසුගිය මාසය පුරාවට විටින් විට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් සහ ඉන්පසුව ඇති වුණු ගංවතුර තත්ත්වයන් හේතුවෙන් මීගමුව මහා නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු රෝගය යළි ඉස්මතු වීමේ සහ ව්‍යාප්ත වීමේ ක්‍රමික වර්ධනයක් ඇති වී තිබෙන බවට වාර්තා වුණි.
මේ පිළිබඳව මීගමුව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ජයන්ත සිරිවර්ධන මහතාගෙන් අප විමසූ විට ඔහු ද ප්‍රකාශ කළේ මීගමුව තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම යම්තාක් දුරකට වැඩි වී ඇති බව පෙන්නුම් කරන බවයි. ඒ අනුව ඔහු පවසන්නේ ගෙවී ගිය මැයි මාසය අවසන් වන විට මීගමුව සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුළින් ඩෙංගු රෝගීන් 47 දෙනෙකු හඳුනාගත් බවයි.
මේ අනුව මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ජයන්ත සිරිවර්ධන මහතා පවසන්නේ, පසුගිය මැයි මාසය තුළ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය කලාපයේ වැඩිම ඩෙංගු රෝගීන් හමු වුයේ කොච්චිකඩේ ප්‍රදේශයෙන් බවයි. විශේෂයෙන්ම කොච්චිකඩේ, පල්ලන්සේන, දූවන සහ පෝරුතොට ආදී එකිනෙකට යාව පිහිටි ගම් ප්‍රදේශවල ඩෙංගු රෝගීන් 19 දෙනෙකු පමණ හඳුනා ගත් බවත්, එලෙසම මීගමුව, කුරණ ප්‍රදේශයෙන්ද ඩෙංගු රෝගීන් 22 නෙකු සහ වැල්ලවීදිය ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 04 දෙනකු පමණ පසුගිය මැයි මාසයේදී හඳුනා ගත් බවත් ඔහු පැවසීය. එලෙස පසුගිය මැයි මාසය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වූවත් අද වනවිට එම තත්ත්වය , එනම් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ යම් අඩුවීමක් ඇති බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි , වෛද්‍ය ජයන්ත සිරිවර්ධන මහතා පවසන්නේ මේ මාසයේ එනම් ජුනි මස 01 වැනිදා සිට ජුනි මස 09 වැනිදා දක්වා එනම් ඊයේ දිනය දක්වා මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළින් වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 11 දෙනෙකු පමණක් බවයි. ඒ අනුව මෙම මාසයේ (2026/ජුනි) ඊයේ දිනය (06/09) දක්වා කාලය තුළ කොච්චිකඩේ ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 03 නෙකු ද, කුරණ ප්‍රදේශයෙන් 03 නෙකු ද , එලෙසම මීගමුව නගරය තුළ ඩෙංගු රෝගීන් 04 දෙනෙකුද වාර්තා වී ඇති බවත් ඔහු පැවසීය.

මීගමුව බන්ධනාගාරයේත් ඩෙංගු රෝගීන් 06 දෙනෙක්.

එලෙසම මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී , වෛද්‍ය ජයන්ත සිරිවර්ධන මහතා පවසන්නේ මීගමුව බන්ධනාගාරයෙන්ද ඩෙංගු රෝගීන් 06 දෙනකු පමණ හඳුනාගත් බවයි.

බන්ධනාගාර රැඳවියෙකු මිය ගියේ ඩෙංගු වලින් නොව මෙනින්ජයිටීස් රෝගයෙන්. ..

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූයේ මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකු, මීගමුව මහා රෝහල තුළදී ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ මිය ගිය පුවතකි. මීගමුව මහා රෝහලේදී සිදුවූ එම හදිසි මරණය පිළිබඳව මීගමුවේ වැඩි දෙනෙකුගේ අවධානයකට හා කතාබහට ලක් වූයේ එම හදිසි මරණය ,ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදු වූ මරණයක් බවට බොහෝ දෙනෙකු අනුමාන කිරීමත් සමඟය. එහෙත් පසුව වාර්තා වූයේ මත්ද්‍රව්‍ය චෝදනාවක් මත එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කටුනායක, මාදුගඟ පාරේ, අංක 622 දරණ ස්ථානයේ පදිංචිව සිටි 36 හැවිරිදි බෙන්තරගේ මහේන් අසංක ප්‍රනාන්දු නමැති මෙම පුද්ගලයා ඊයේ දින (09/06/2026) අලුයම් කාලයේදී මියගොස් ඇත්තේ මොලයට විෂ බීජයක් ඇතුළුවීමෙන් ඇතිවු රෝගී තත්වයක් හෙවත්
“මෙනින්ජයිටීස් ” තත්වයක් නිසා බවයි.

මීගමුවේ ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කරන්නට
ක්‍රියාමාර්ග රැසක්. …

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ජයන්ත සිරිවර්ධන මහතා පවසන්නේ ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ එම නිරීක්ෂණ නිලධාරීන් පසුගිය කාලය පුරාවටම පෞද්ගලික නිවාස ආදිය පරීක්ෂාවට ලක් කළ බවයි. එහෙත් මෙවර පෞද්ගලික නිවාස වලටත් වඩා රාජ්‍ය ආයතන, කාර්යාල වැඩ බිම් එලෙසම පාසැල්, දේවස්ථාන සහ විහාරස්ථාන වැනි ආගමික ස්ථානයන්ද වැඩි වශයෙන් පරීක්ෂාවට ලක් කිරීමේ, වැඩසටහන් ගණනාවක්ද මීගමුව බල ප්‍රදේශය තුළ මේ දිනවල ක්‍රියාත්මක කරමින් තිබෙන බව ත් ඔහු පැවසීය. එමෙන්ම වැඩි වශයෙන් ඩෙංගු මදුරුවන් බෝ වීම සිදුවිය හැකි යැයි වාර්තාවන රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, පාසල්, ඇතුළු එම පරිශ්‍රවලට මේ දිනවල අඛන්ඩ දුමායන සේවාවන් ක්‍රියාත්මක කරමින් තිබෙන බවද ඔහු අප හමුවේ වැඩිදුරටත් පැවසීය

මීගමුව රෝහලේ ඩෙංගු වාට්ටුව රෝගීන්ගෙන් පිරී යයි.

තවද මීගමුව මහා රෝහලේ ස්ථාපිත ඩෙංගු රෝගීන් සඳහා වන විශේෂ වාට්ටුව මේ වන විට, ඩෙංගු රෝගීන් විශාල පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවද වාර්තා වුණි. මේ රෝගීන්ගෙන් වැඩි පිරිසක් මීගමුව බල ප්‍රදේශයේ රෝගීන් නොවන බවත්, මීගමුව අවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයන් තුළින් එනම් කටාන, සිදුව-කටුනායක සහ ජා-ඇල වැනි වෙනත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් පැමිණි ඩෙංගු රෝගීන් රාශියක් මෙම වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වුණි. මේ වන විට ඩෙංගු රෝගීන් වෙනුවෙන් ස්ථාපිත මීගමුව රෝහලේ විශේෂ වාට්ටුවේ ඩෙංගු රෝගීන් 60 ත් 70 ත් අතර පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් , සමහර රෝගීන් හට එම වාට්ටුවේ ඇඳන් නොමැතිවීම නිසා, නේවාසික රෝගීන් ප්‍රතිකාර ලබන ඇඳන් යට සිට ප්‍රතිකාර ලබන බවත් වැඩිදුරටත් වාර්තා වුණි.

කෙසේ වුවද පසුගිය වසර කිහිපයක සිට සහ මේ වසරේ මුල් මාස කිහිපය තුළ මීගමුව බල ප්‍රදේශය තුළ අවම මට්ටමක තිබූ ඩෙංගු රෝග ව්‍යාප්තිය යම් තරමක වැඩිවීමක් මේ කාලය තුළ පෙන්නුම් කරන බැවින් නිරන්තරයෙන් ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුව ඇතිි බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී , වෛද්‍ය ජයන්ත සිරිවර්ධන මහතා පවසයි. ඒ අනුව අද දිනයේත් (10/06/2026) මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම ශාලාවේදී, ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු කොට්ඨාශයේ සියලු වසම්වල සේවය කරන ග්‍රාම නිලධාරීන්ද , එලෙසම සියලු සංවර්ධන නිලධාරීන් සඳහාද මීගමුව බල ප්‍රදේශය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව , මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක්ද පවත්ව ඇති බවත් වාර්තා වුණි.

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම අවම කිරීමට පුරවැසි සහාය අත්‍යාවශ්‍යයි . ..

එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ජයන්ත සිරිවර්ධන මහතා මීගමුව ප්‍රදේශයේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඩෙංගු රෝගය, මීගමුව ප්‍රදේශය තුළ ව්‍යාප්ත වීම අවම කිරීමට කටයුතු කරන ලෙසත් හැකි සෑම විටම තම අවට පරිසරය පිරිසිදුව සහ පවිත්‍රව තබා ගැනීමට අවබෝධයෙන් සහ උනන්දුවෙන් කටයුතු කල යුතු බවයි.

සටහන .-.
තුෂාර රෝහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here