ඔලුවිල් සිට පොතුවිල් දක්වා නැගෙනහිර වෙරළ තීරයේ යෝජිත බර ඛණිජ වැලි කැණීම් ව්‍යාපෘතිවලට එරෙහිව අද, පරිසරවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් එක්ව විරෝධතාවයක නිරත විය.
මේ වන විට අදාළ ප්‍රදේශවල ඛණිජ ගවේෂණ කටයුතු සඳහා පුද්ගලික සමාගම්වලට බලපත්‍ර ලබාදී ඇති අතර, තවමත් සම්මත කර නොමැති නව ඛණිජ ප්‍රතිපත්තිය සහ නව නීතිමය රාමුව හරහා කාර්මික මට්ටමේ බර ඛණිජ වැලි කැණීම් සඳහා මග සකස් කිරීමට උත්සාහ දරමින් සිටී.
බර ඛණිජ වැලි කැණීම්වලින් විදේශ විනිමය ආදායම් ලැබෙන බව ප්‍රකාශ කළද, එම ආදායම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග සමඟ සසඳන විට ඉතා සීමිතය. එහෙත් එහි පාරිසරික හා සමාජීය පිරිවැය අතිවිශාල විය හැකිය.
මෙම කැණීම් හේතුවෙන් වෙරළ ඛාදනය, කලපු හා මෝය පද්ධතිවල වෙනස්වීම්, ධීවර සම්පත් හානිවීම, කෘෂිකාර්මික භූමිවලට ලවණ ජලය ඇතුළු වීම, ජෛව විවිධත්වයට හානි සිදුවීම සහ ප්‍රජාවන්ගේ ජීවනෝපායන් අවදානමට ලක්වීමේ හැකියාව පිළිබඳව විද්වත් පාර්ශ්ව සහ ප්‍රාදේශීය ජනතාව දිගින් දිගටම අනතුරු අඟවා තිබේ.
යෝජිත කැණීම් ප්‍රදේශ ආශ්‍රිතව වෙරළ ගොවිබිම් හෙක්ටයාර 220,000කට ආසන්න ප්‍රමාණයක්, 170,000කට අධික ධීවර ජනතාව යැපෙන නොගැඹුරු ධීවර කලාප, ප්‍රධාන කලපු හා මෝය 13ක්, වනජීවී අභයභූමි 13ක් සහ නැගෙනහිර වෙරළ තීරයේ සංචාරක කර්මාන්තය බරපතළ අවදානමකට ලක්විය හැකි බව පෙන්වා දී ඇත.
2004 සුනාමිය අවස්ථාවේදී පුළුල් වෙරළ තීරයන් සහ ස්වභාවික වෙරළ පද්ධති බොහෝ ප්‍රදේශවලට යම් ආරක්ෂාවක් සැලසූ අතර, දේශගුණික විපර්යාස හමුවේ වෙරළ සංරක්ෂණය වඩාත් තීරණාත්මක අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.
කෙටිකාලීන ලාභ වෙනුවෙන් අපේ වෙරළ, සාගර පරිසර පද්ධති සහ ජනතාවගේ ජීවනෝපායන් අවදානමට ලක් නොකළ යුතුය. තිරසාර අනාගතයක් සඳහා අපේ ස්වභාවික සම්පත් සහ වෙරළ තීරය ආරක්ෂා කිරීම අද දවසේ වගකීමකි.





















