වසර 03 කට පසු මීගමුව, සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුල ඩෙංගු මරණයක් ????

0
32

වසර 03 කට පසු මීගමුව, සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුල ඩෙංගු මරණයක් ???? …

මීගමුව, බෝලවලාන ප්‍රදේශයේ 03 වන කුරණ, ශ්‍රී වික්‍රම රාජසිංහ පාරේ, අංක 36 /01 නිවසේ පදිංචිව සිටි සිව් දරු මවක් , කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 13 වැනිදා (13/06/2026) රාත්‍රී ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මිය යන විට වයස අවුරුදු 80 ක් වු ග්‍රේස් ඇනස්ටීන් රොවෙල් මහත්මිය මෙලෙස ඉතා අවාසනාවන්ත ලෙස මිය යාමට හේතුව , ඩෙංගු උණ රෝගය වැළඳීම නිසා බවට ප්‍රදේශවාසීන් අතර කතාබහක් ඇති වී තිබිණි.
එහෙත් ඇයගේ මරණය ට හේතුව ඩෙංගු උණ රෝගය වැළඳීම බව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වුවත්, මිය යන විට ඇයගේ ශරීරය තුළ ඩෙංගු උණ රෝගය සක්‍රියව පැවතියේ යැයි වෛද්‍යවරුන්ගේ මතය වී තිබිණි.
2017 වර්ෂයේදී ඇයගේ හෘදයේ කිරීටක ධමනියක හෙවත් ලේ නහරයක ඇති වු අවහිරතාවක් නිසා එහිදී ඇයට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් ස්ටෙන්ට් එකක් ( stent ) භාවිතා කර තිබිණි. එම තත්ත්වයෙන් පසු ඇය එම හෘද රෝගී තත්ත්වයෙන් මිදී , නිරෝගීව කල් ගෙවූ බවත් හදිසියේම ඇය රෝගී වූ බවත් ඇයගේ සැමියා වන 84 හැවිරිදි ලයනල් ස්ටැනිස් ලාවුස් ද සිල්වා මහතා පවසයි.
ඇයට පසුගිය 11 වැනිදා (11/06/2026) හිටිහැටියේම ආහාර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී ඇති අතර ඇයට නිසි ලෙස නින්ද නොයෑම ද රෝගී ලක්ෂණ ලෙස පෙනෙන්ට තිබුණි. එවැනි රෝගී තත්ත්වයන් තුළ ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් ඇයව මීගමුවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී කරන ලද රුධිර පරීක්ෂණවලදී ඇයගේ රුධිර පට්ටිකා ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩු වන්නට පටන්ගෙන තිබේ. එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය අසාධ්‍ය තත්ත්වයට පත්වීමට පෙර ඇයව කොළඹ ජාතික රෝහලට රැගෙන යන ලෙසයි. ඒ අනුව එම පෞද්ගලික රෝහලේම ගිලන් රථයකින් ඇයව ගෙන ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී එම මීගමුව පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ මීගමුවෙන් ඇයව කොළඹ ජාතික රෝහලට රැගෙන යාමට මොහොතකට පෙරාතුවද ඇයගේ රුධිර පට්ටිකා ප්‍රමාණය 16000 සිට 11000 දක්වා සීඝ්‍රයෙන් අඩුවෙන තත්ත්වයක් නිරීක්ෂණය වූ බවයි.
කෙසේ වෙතත් ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර දින 02ක් ගත වීමටත් පෙරාතුව එනම් දින එක හමාරකට පසුව පසුගිය 13 වැනිදා (13/06/2026) රාත්‍රී 11.00 ට පමණ ඇය මියගොස් තිබේ.
ඇයගේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ, මරණයට හේතුව හෘද රෝගී තත්ත්වයක් බවය. නමුත් එම වාර්තාවෙම ඇයට ඩෙංගු උණ රෝගී තත්ත්වයක් තිබූ බවටද සඳහන් කර ඇත. ඇයගේ සැමියා වන ලයනල් ස්ටැනිස් ලාවුස් ද සිල්වා මහතා පවසන්නේ තම බිරිඳ මිය යන අවස්ථාවේදී ඇයගේ සිරුර තුළ ඩෙංගු වෛරසය සක්‍රීය ( ඩෙංගු පොසිටිව්) මට්ටමෙන් තිබූ බවට රෝහලේ වෛද්‍යවරුන් ඇයගේ පවුලේ අය වෙත පැවසූ බවයි.
ඒ නිසා ග්‍රේස් ඇනස්ටීන් රොවෙල් මහත්මියගේ මරණයට හේතුව ලෙස ඩෙංගු උණ රෝගී තත්වය සෘජුවම සඳහන් කර නොමැති වුවත් ඇයගේ හදිසි මරණය ඩෙංගු වෛරසය, ඇගේ සිරුර තුළ සක්‍රියව පැවතීම නිසා ඇගේ මරණයට යම් ආකාරයකින් වක්‍ර ලෙස හෝ අහිතකර සහ අසාධ්‍ය තත්ත්වයක් ඇති කර ඇති බවට කුරණ ප්‍රදේශවාසීන් බොහෝ දෙනකුගේ අදහස වී තිබේ.
එලෙස ඇගේ මරණය ඩෙංගු රෝගය නිසා සිදු වී තිබේ නම් එය වසර 03 කට පසුව එනම් 2023 වසරට පසුව මීගමුව සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුළ සිදුවුණු ප්‍රථම ඩෙංගු මරණය බවට ද පත් වේ.
මෙවැනි තත්ත්වයක් තුළ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුළ ඩෙංගු රෝගය දැඩි ලෙස උත්සන්නව ඇති ප්‍රදේශයක් ලෙස මෙම මරණය සිදුවූ එනම් ග්‍රේස් ඇනස්ටීන් රොවෙල් මහත්මිය ජීවත් වූ මීගමුව කුරණ ප්‍රදේශය නම් කල හැකිය. වාර්තා වන පරිදි ඩෙංගු මදුරුවන් බෝවීමේ සහ ඩෙංගු උණ රෝගය ව්‍යාප්ත වීමේ බහුල ප්‍රදේශයක් ලෙසද මෙම ප්‍රදේශය හඳුන්වා දිය හැකිය.
මෙවැනි අවාසනාවන්ත හා අහිතකර තත්ත්වයක් තුළ මීගමුව – කුරණ ප්‍රදේශවාසීන්ගේ යුතුකම සහ වගකීම වන්නේ තම ජීවිත මෙන්ම සෙසු ජීවිතද රැකගනිමින් , තම අවට පරිසරය ඩෙංගු මදුරුවන් බෝවීමේ අහිතකර තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගැනීමය.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here