කටුනායක “පුජා” වෙසක් කලාපය වෙනුවෙන් පැවැත්වූ රැස්වීමකට, කටාන ප්‍රාදේශීය සභා විපක්ෂයේ දැඩි විරෝධය …

0
120

 

2026 , එනම් මේ වසරේ වෙසක් පොහොය නිමිති කර ගෙන ජාතික රූපවාහිනියේ නිල මාධ්‍ය අනුග්‍රහකත්වය ද ඇතිව කටුනායක – සීදුව නගර සභාව, කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , කටාන ප්‍රාදේශීය සභාව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) එක්ව ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතන සහ ව්‍යාපාරික සංවිධාන වල ද දායකත්වයෙන් කටුනායක 18 කණුව ශ්‍රී බෝධිරතනාරාම විහාරස්ථානයේ හා ඩාවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ඉතා උත්කර්ෂවත් ලෙස දැවැන්ත බෞද්ධාගමික මෙන්ම හෙළ සංස්කෘතික උත්සවයක් ලෙස සංවිධානය කරනු ලැබූ
” පූජා ” වෙසක් කලාපය සදහා වියදම් පියවා ගැනීම වෙනුවෙන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක් කැඳවා රැස්වීමක් පැවැත්වීම හේතුවෙන් කටාන ප්‍රාදේශීය සභාවේ අද දින (21/07/2026) පැවති ජූලි මස, මහා සභා රැස්වීමෙිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය . සුපුරුදු පරිදි අද දින පැවති ජූලි මස මහා සභා රැස්වීම ද සභාපතිනි නිෂාණි ඉරේෂා ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. න්‍යාය පත්‍රානුකූලව කල්දී ඇති යෝජනා ඉදිරිපත් කරමින් සහ ඒවා සභා සම්මත කිරීමෙන් ද, තවද කාරක සභා යෝජනාවන් ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහා සභා රැස්වීම අවසන් වීමට ස්වල්ප වේලාවකට පෙරාතුව, මෙම “පූජා” වෙසක් කලාපයේ අරමුදල් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් කටාන ප්‍රාදේශීය සභාව වෙත ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක් කැඳවා පසුගිය සතියේ රැස්වීමක් පැවැත්වීම පිළිබඳව විපක්ෂ සභිකයන් කිහිප දෙනෙකු විසින් ප්‍රාදේශීය සභා සභාපතිනිය ඇතුළු ආණ්ඩු පක්‍ෂ සභිකයන්ගෙන් ප්‍රශ්න කරන ලදී. එහිදී සභාපතිනිය ඇතුළු ආණ්ඩු පක්ෂ සභිකයන් විසින් ප්‍රකාශ කලේ මෙම වෙසක් කලාපය රාජ්‍ය උත්සවයක් ලෙසින් සංවිධානය කළ බවයි.

 

ඒ සඳහා කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මූලිකත්වය ගත් බවත්, එදින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙම ව්‍යාපාරිකයන් පිරිස කැඳවා පැවැත්වීමට නියමිත තිබු රැස්වීම පැවැත්වීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාව වෙනත් කටයුත්තකට යොදාගෙන තිබු තත්වයක් තුල එම රැස්වීම කටාන ප්‍රාදේශීය සභාවේදී පැවැත්වීමට කටයුතු කළ බවද පැවසීය .

 

ඒ නිසා මෙය නීතියානුකූලව පැවැත් වූ රැස්වීමක් බවත් මෙය කිසිදු නීති විරෝධී රැස්වීමක් නොවන බවත් මෙහි කිසිදු නීති විරෝධී කාර්යයක් සිදු නොවූ බවත් ඔවුන් එහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.
එහෙත් මෙහිදී සමගි ජන බලවේග පක්ෂයේ ලසන්ත දීපල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසේල ජයවර්ධන, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ චාමින්ද රත්නායක, ස්වාධීන කණ්ඩායමේ උපුල් ප්‍රියන්ත , හා සර්ව ජන බලය පක්‍ෂයේ ප්‍රවීන් චමෝද් ඇතුළු විපක්‍ෂ සභිකයන් පිරිසක් විසින් මෙම රැස්වීම ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ පැවැත්වීම පිළිබඳව මෙහිදී ප්‍රාදේශීය සභා, සභාපතිනිය සහ ආණ්ඩු පක්ෂ සභිකවරුන් බරපතල ලෙස විවේචනය කරමින් , උස් හඬින් දැඩි වාග් ප්‍රහාර එල්ල කළහ.
මෙහිදී එම විපක්‍ෂ සභිකවරුන් ප්‍රශ්න කළේ මෙය නිත්‍යානුකූලව පැවැත්වූ රැස්වීමක් නම් එය විපක්ෂයේ සභිකවරුනට දැනුවත් නොකළේ ඇයි ද යන්නයි. ඔවුන් එහිදී දැඩි ලෙස ප්‍රකාශ කළේ ප්‍රාදේශීය සභාව යනු ආණ්ඩු පක්ෂයට හිතු හිතු ලෙස භාවිතා කිරීමට නොහැකි බවත් , මෙම සභාව ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටද පොදු දේපලක් බවයි. එසේනම් සභාවේ සිදුවන සියලු කටයුතු පිළිබඳව විපක්ෂයේ සභිකවරුන්වද දැනුවත් කල යුතු ව තිබු බවද මෙහිදී ඔවුන් දැඩි ලෙස අවධාරණය කළහ. එලෙසම විපක්ෂ සභිකවරුන් මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම ව්‍යාපාරික පිරිස කැඳවා පැවැත්වු මෙම රැස්වීම වෙනුවෙන් සභා පරිශ්‍රය යොදා ගැනීම , සභාවේ අදායම් පාලක ලවා ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදී ඔවුන්ව ප්‍රාදේශීය සභා පරිශ්‍රයට රැස්කරවීම.පිලිබදව සහ එම ව්‍යාපාරික පිරිස කැඳවීම සඳහා ඇමතුම් ලබා දීමට කටාන ප්‍රාදේශීය සභාවේ දුරකථන පහසුකම් යොදා ගැනීම මේ අනුව නීති විරෝධී බවයි. මෙහිදී මෙම චෝදනාවන් අසේල ජයවර්ධන සහ උපුල් ප්‍රියන්ත ඇතුළු සභිකවරුන් නගන ලද අවස්ථාවේ ආණ්ඩු පක්ෂ සහ විපක්‍ෂ සභිකවරුන් වැඩි පිරිසක් එකවර අදහස් පළකිරීමට යාමේදී මෙම මහා සභා රැස්වීම එකම කාලගෝට්ටියක් බවට පත්විය.

තවද විපක්ෂයේ අසේල ජයවර්ධන සභිකවරයා චෝදනා කළේ සභාවේ සේවය කරන නිලධාරීන් යොදවා සභාවේ සම්පත් ද යොදා ගෙන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කැඳවා මෙම වෙසක් කලාපය සඳහා මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම ප්‍රාදේශීය සභාව විසින් අනියම් ලෙස අල්ලස් ගැනීමක් හා සමාන වන බවයි. එනිසා ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කලේ මෙවැනි කටයුතු නීති විරෝධි බවයි

තවද මෙහිදී විපක්ෂ සභිකවරුන් ඉතා දැඩි විරෝධයක් පල කලේ කටාන ආසනය භාරව කටයුතු කරන ගම්පහ දිස්ත්‍රික්කයේ චම්පික හෙට්ටිඅරච්ච් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමත්, මෙම රැස්වීමට රජයේ සේවකයෙක් වන කටාන ප්‍රාදේශීය සභා අදායම් පාලක ලවා දුරකථන ඇමතුම් ලබාදී ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් එක් රැස්කිරීම පිළිබඳවය.

විපක්‍ෂ සභිකයන් නැගූ මෙම චෝදනා සියල්ලක්ම, ප්‍රතික්ෂේප කරමින් සභාව ඇමතූ ආණ්ඩු පක්ෂයේ අජන්ත පණ්ඩිතරත්න සභිකයාට සිය අදහස් නිසි ලෙස ප්‍රකාශ කිරීමට කෙසේවත් විපක්‍ෂ සභිකවරුන් ඉඩ නොදුන් අතර ඒ අවස්ථාවේදී ඔහු රැස්වීම් ශාලාවෙන් නික්ම පිටතට ගියේය. එලෙසම ඒ අවස්ථාවේ රැස්වීමේ කටයුතු පාලනය කිරීමටත් සභාව නිෂ්ශබ්ද කිරීම සඳහා සභාපතිනියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

ඉන්පසුව අවසානයේදී මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කළ කටාන ප්‍රාදේශීය සභා සභාපතිනි නිෂානි ඉරේෂා ජයකොඩි මහත්මිය අවධාරණය කළේ වෙසක් කලාපයේ වියදම් පියවා ගැනීම සඳහා අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ව්‍යාපාරිකයන් සඳහා පැවැති මෙම රැස්වීමේ සියලු කටයුතු පූර්ණ විනිවිද භාවයකින් යුතුව සිදු කර ඇති අතර ව්‍යාපාරික පිරිස සඳහා රැස්වීම පැවැත්වීමට යොදාගෙන තිබු දිනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාව වෙනත් කාර්යයක් වෙනුවෙන් යොදා ගැනීම නිසා එය ප්‍රාදේශීය සභාවේ පැවැත්වීමට අවසර දුන් බවද පැවසීය. ඇය මෙහිදී ඉතා දැඩිව ප්‍රකාශ කලේ කිසිදු ව්‍යාපාරිකයෙකුගෙන් හෝ අනිසි ලෙස බලෙන් මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් නොකල බවයි . එලෙසම ඇය වැඩිදුරටත් අවධාරණය කළේ මෙම වෙසක් කලාපය පැවැත්වුයේ රාජ්‍ය අනුග්‍රහයෙන් බවත් ඒ සඳහා ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් මුදල් අනුග්‍රහයන් ලබාදීමට එකග වුවත් එම මුදල් මෙතෙක් එකතු නොකළ බවයි. එලෙස මුදල් ලබාදීමට එකඟ වූ ව්‍යාපාරිකයන් පිරිසක් සඳහා මෙම රැස්වීම පැවැත්වූ බවත් ඇය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළාය. වෙසක් කලාපය සම්බන්ධ මෙම කටයුතු සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට , අවශ්‍ය ඕනෑම තැනකට පැමිණිලි කිරීමට නිදහස ඇති බවත්, ඒ සඳහා ඕනෑම විමර්ශනයක් සිදුකරන ලෙසද කටාන ප්‍රාදේශීය සභා, සභාපතිනිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here