මීගමුවේ බන්ධනාගාර සිද්ධියට සැක , රැඳවියන් 04 දෙනෙකු අධිකරණය හමුවට . ….

0
170

මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වු සිද්ධියෙන් 32 දෙදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු නම් කර අද දින (27/07/2026) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර, එම සැකකරුවන් එළඹෙන අගෝස්තු 07 වැනිදා (07/08/2026) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය අද දින (27/07/2026) නියෝග කලාය.

මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුල හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙදෙනෙකු මරණයට පත්වු අතර තවත් 100 කට අධික පිරිසක් එම ගැටුමේදී තුවාල ලැබීය.

මීට අදාළ නඩුකරයේ තවත් එක් නඩු විභාගයක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද දින (27/07/2026) කැඳවනු ලැබීය.

එහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (සී.අයි.ඩී) නිළධාරීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු නම් කර ඇති බව අධිකරණයේදී ප්‍රකාශ කලහ.
එම සැකකරුවන් වන්නේ… සුපුන් මධුසංඛ හෙවත් හීනටියන සුපුන්, අෂාන් ප්‍රනාන්දු හෙවත් කළු මල්ලි, සමීර සම්පත් හෙවත් බබා, සහ ෂේන් ඩිලාන් සිල්වා යන රැඳවියන් 04 දෙනායි.

එහිදී අධිකරණය වෙත කරුණු දැක්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ (සී.අයි.ඩී.) නිලධාරින් ප්‍රකාශ කළේ
මෙම සැකකාර රැඳවියන් හඳුනා ගැනීමට, බන්ධනාගාරයේ සිටි රැඳවියන්ට හැකියාව ඇති බවයි. ඒ අනුව
එම සැකකාර රැඳවියන්, හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, විසින් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කළ අතර එලෙසම එම නිලධාරීන් අධිකරණය හමුවේ වැඩි දුරටත් ප්‍රකාශ කළේ එම සැකකාර රැඳවියන් ඇප ලබා ගෙන යෑමේ හැකියාවක් පවතින බැවින් , අද දින (27/07/2026) එම සැකකරුවන් 04 දෙනා අධිකරණයට ඉදිරිපත් කරන බවයි. එලෙසම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශන කටයුතු පිළිබඳව කෙටි සමාලෝචනයක්ද අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ. ඒ අනුව එම නිලධාරින් අනාවරණය කළේ විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් මෙම සිදුවීම වූ දින, ගිනි අවි 301 ක ප්‍රමානයක් රැගෙනවිත් තිබෙන අතර
බන්ධනාගාර නිලධාරීන් සතුව ගිනි අවි 70 ක් තිබූ බවත්, ඒවායේ විද්‍යාත්මක සාක්ෂි සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා කැඳවා තිබෙන බවයි. එලෙසම බන්ධනාගාර නිලධාරීන් 260 දෙනෙකු , රැඳවියන් 849 දෙනෙකු , විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 205 දෙනෙකු , පොලිස් නිලධාරීන් 11 දෙනෙකු සහ සිවිල් වැසියන් 70 දෙනෙකු ද ඇතුළුව පුද්ගලයින් 1,395 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ එම නිලධාරින්, අධිකරණය වෙත දන්වා සිටියහ.

අනතුරුව අදාළ සැකකරුවන් අද දිනම (26/07/2026) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය, මෙම නඩුකරය අද දින පස්වරු 04.00 ට යළි කැඳවනු ලබන බවද දැන්වීය.

එහිදී ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය මෙම නඩුකරයට සම්බන්ධ වීම සඳහා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා හරහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය .

අධිකරණයේ අවසර හිමි වීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් , අධිකරණය වෙත, දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කළේය.
එලෙසම මෙම නඩු විභාගය යලි අද දින සවස 4.00 ට පමන යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී .. රැඳවියන්ගේ වෛද්‍ය පරික්ෂණ සම්බන්ධයෙන් හෙට දින එනම් ජූලි මස 28 වැනිදා (28/07/2026) මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසද , මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ව්සින් නියෝග කළාය.
එලෙසම මෙම සිදුවීමට නම් කර තිබු සැකකරුවන් 04 දෙනා, අද දින සවස 4.00 ට පමන අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී එම සැකකරුවන් වෙනුවෙන් නීතිඥයින් පෙනී සිටින්නේද සහ එම සැකකරුවන්ගේ පවුල් වල අය හෝ ඥාතීන් අධිකරණයට පැමිණ සිටිනවාද යනුවෙන් විමසු ප්‍රධාන විනිසුරුවරිය සැකකරුවන්ව හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා, සිය නිල මැදිරිය වෙතට ඉදිරිපත් කරන ලෙස ද එහිදී නියෝග කලාය.

ඒ අනුව සැකකරුවන්ව හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ සැකකරුවන් 04 දෙනා එළඹෙන අගෝස්තු මස 07 වැනිදා (07/08/2026) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද නියෝග කලාය.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here