අතුරුදහන් කරවු නිහාල් ජිම්බ්‍රවුන් පියතුමා ව අනුස්මරණය කෙරේ.

0
102

 

ශ්‍රී ලංකාවේ යාපනය රදගුරු වසමේ පූජක තුමෙකු වු ජිම් බ්‍රවුන් පියතුමා හා ඔහුගේ සහයක විමලදාස් අතුරුදහන්කර වසර 20 ක් ගතවීම නිමිත්තෙන් අනුස්මරණ වැඩසටහනක් හා දිව්‍ය පූජාවක් එතුමන්ගේ අවසන් සේවා ස්ථානය වු යාපනයේ සැල්වපිට්හිදි පැවැත්විණ.

අල්ලපිඩ්ඩිහී වත්මන් මීසමේ සේවක ගරු ලියෝ ආමින්බ්‍රෝං පියතුමා ඇතුළු පූජක හා ගිහි පිරිස විසින් සංවිධානය කළ මෙම සැමරුම් උත්සවය ජිම් බ්‍රවුන් පියතුමා අවසන් වරට තම මීසමට ඇතුළුවීම සටහනක් කළ අල්ලපිඩ්ඩි හංදියේ පිහිටි හමුදා කඳවුර අසලින් ඇරඹුණු අතර ඉන්පසු සමරු දෙසුම් හතරක් හා දිව්‍ය පූජා යාගය පවත්වන ලදි.

දිව්‍ය පූජාව අතිගරු රෙක්ස් සෞන්ද්‍ර නායගම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර දකුණින් පැමිණි සිටි පියතුමන්ලා හා ගිහි පිරිසක් ද ඊට එක් විය.

ඪීම් බ්‍රවුන් පියතුමාගේ කෙටි දිවියේ තතු

1972 යාපනයේ දී උපත ලද නිහාල් ජිම් බ්‍රවුන් හැදි වැඩුනේ ජනවාර්ගික ප්‍රශ්නය ලෙස හඳුන්වන ගැටළුව යුද්ධයක් දක්වා වර්ධනය වු ඉතිහාසය හොඳින් දකිමින් එහි සාක්ෂිකරුවෙකු වශයෙනි. ඔහුට යාන්තම් අවුරුදු එකොළහ පිරෙද්දී ඔහුට ආසන්නට ලැබුනේ සන්නද්ධ ද්‍රවිඩ තරුණයින් පොලිස් නිලධාරින් දොලොස් දෙනෙකු ඝාතනය කිරීමට ප්‍රතිචාර ලෙස දහස් ගණනක් ද්‍රවිඩ ජාතිකයින් මරා පුළුස්සා පහර දුන් කළු ජූලියේ සිදු වීමය.

ද්‍රවිඩ තරුණයින් පිරිසක් සන්නද්ධ අරගලය වෙත යොමුවෙද්දී තවත් පිරිසක් විදෙස් ගත වෙද්දී ජිම් බ්‍රවුන් තෝරා ගත්තේ පූජකයෙකු වීමේ මාවතය.
යුද්ධයෙන් මෙන්ම විවිධ සමාජ ආර්ථික ප්‍රශ්න වලින් බැටකන ජනතාවට සේවය කිරිමට පූජකවරය හොඳ මාවතක් බව ඔහුට දැනුනේය. 20074 වසරේදී පූජකවරය ලද ජිම් බ්‍රවුන් පියතුමා ලංකා හමුදාව සමඟ විවිධ ගැටළුවලට නිරතුරු මුහුණ පාන ජනතාවක් සහිත අලයිපිඩ්ඩි මීසම් සේවකව පත්ව එන්නේ 2006 වසරේදීය.

බහුතරය කතෝලික ප්‍රදේශයක් වු අලයිපඩ්ඩි ප්‍රදේශය ඒ වන විටත් නාවික හමුදාවේ හා ෑඡෘඡ සංවිධානයේ බලපෑම හේතුකොටගෙන අනාරක්ෂිත ප්‍රදේශයක්ව පැවතිණි. ඒ වන විටද සිදුවු ඝාතනය හා අවතැන්වීම් ඉදිරියේ පෙරට විත් නිර්භයව කටයුතු කළ එවකට මීසම් සේවකව සිටි අමල්රාජ් පියතුමාටද ඝාතන තර්ජන එල්ල වි තිබිණි. අමල්රාජ් පියතුමාගේ ජීවිතාරක්ෂාව ගැන සිතු රදගුරුතුමා එතුමාට පුනගරි දේවස්ථානයට මාරු කර යැවිය.

ඉන් අනතුරුව එතැන ගත්තේ තවමත් නැවුම් තාරුණ්‍යයේ ජීවයෙන් පිරුණු නවක පියතුමෙකු වු ජිම් බ්‍රවුන් පියතුමාය. එවන් තත්ත්වයක් තුළ අලයිපිඩි ප්‍රදේශයට යන්නට කැමැත්ත පල කිරිම ම එඩිතර තීරණයක් විය. ඕනෑම අවදානම් සහගත තත්ත්වයක් තුළ ‘මෙන්න මම සිටිමි’ යවනු මැනවි’ යන්න ක්‍රිස්තියානි දිවැසිවර සම්ප්‍රදායේ මහා පිළිබිඹුවකි. නවක තරුන පියතුමා මීසම් ජනතාවගේ සිත් බැඳග්තතේ විදුලි වේගයෙනි. ඔවුහු සිය ජීවිතයේ බොහෝ දේ වෙනුවෙන් එතුමා සොයාගෙන ආහ. එතුමා ඔවුනට වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ‘යහපත් එඩේරෙක්’ විය.

2006 අගොස්තු 12 වෙනිදා එල්. ටී. ටී. ඊ. හමුදා මණ්ඩලතීව් වලට පැමිණ අලයිපිඩ්ඩි, මාන්කුම්බන් ප්‍රදෙශ ඔස්සේ ඉදිරියට සටන් මෙහෙය වූහ. සටන් උග්‍රවත්ම බියට පත් අලයිපිඩ්ඩි ප්‍රදේශවාසිහු ශාත පිලිප්නේරි දෙව් මැදුරේ රැකවරණය පැතුහ. මීසම් සේවක ජිම් බ්‍රවුන් පියතුමා ඔවුනට අයෝමය ශක්තියක් විය. අගොස්තු 13 දා යාපනය නගරයේ පිහිටි රජයේ හමුදා කඳවුරු වල සිට ‘කොටින් පලවා හැරීම සඳහා’ අලයිපිඩ්ඩි-මණ්ඩතීව් ප්‍රදේශවලට මල්ටි බැරල් රොකට් ලෝන්චර් මගින් ප්‍රහාර එල්ල විය. ෂෙල් වෙඩි සමහරක් පිලිප්නේරි දෙව්මැදුර අවට ප්‍රදේශයට පතිත වු අතර සමහරක් ඒවා දේවස්ථානයටම පතිත විය. දෙව් මැදුරට බරපතල හානි වු අතර ජීවමාන දෙව් මැදුරු වු දේවස්ථානය තුල රැකවරණය ලබා සිටි 16 දෙනෙක් හා ඉන් එළියේ සිටි 4 දෙනෙක් ජීවිතාක්ෂයට පත්වූහ. 54 දෙනෙක් තුවාල ලැබුහ.
මෙම තීරණාත්මක මොහොතේදී ජිම් බ්‍රවුන් පියතුමාගේ මැදිහත්වීම හා නායකත්වය මීසම් ජනතාවට ශක්තියක් විය. කාලතුවක්කු ප්‍රහාරයන් නැවතුනායින් පසු ජනතාව සමඟ හමුදා ආරක්ෂක මුර කපොලු වෙත පා ගමනින් ගිය එතුමා ආරක්ෂාව පිණිස වෙනත් ස්ථානයකට යෑමට අවසර දෙන ලෙස ආරක්ෂක පළිහක් ලෙසින් සිටිමේ වැදගත්කම නිසාදෝ ආරක්ෂක හමුදා හා නාවික අංශ වෙතින් මේ ඉල්ලීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලදි.

 

නික්මයාමේ කතාවේදී මෝසෙස්ගේ ඉල්ලීම වූයේ දෙවියන්ගේ ඉල්ලීමයි. එනම් ‘මගේ ජනතාවට යන්නට ඉඩ දෙන්න’ ජිම් බ්‍රවුන් පියතුමා ද ඉල්ලා සිටියේ එයයි. බාධක මධ්‍යයේ වූවද ජිම් බ්‍රවුන් පියතුමා උත්සහය අත්හළේ නැත. සහනයක් ලැබෙන තෙක්ම එතුමා බැගැපත්ව එහෙත් අවධාරණයෙන් සිය ඉල්ලීම ඉදිරිපත් කළේය. අවසානයේදි ඌර්කවල්තුරෙයි හෝ නයිට්ස් ප්‍රදේශයට යෑමට අවසර ලැබුණි.

ඉන්පසු කයිටස් ප්‍රදේශයේ පියතුමන්ලාගේද සහය ඇතිව වාහන සොයා ගත් ජිම් පියතුමා අලයිපිඩ්ඩි මීසම් වාසින් 850 කට අධික සෙනඟක් ශා. මරියා දෙව්මැදුර වෙත ගෙන ආවේය. තුවාල ලත් අය කයිට්ස් රෝහල වෙත ගෙන යන ලදී. දරුණු ලෙස තුවාල වූවන් යාපනය රෝහල වෙත ගෙන යන්නට එතුමා කරන ලද ඉල්ලීම ආරක්ෂක අංශ ප්‍රතික්ෂේප කළේය. එහෙත් පීඩා විඳිමින් සිටි ජනයාගේ සැබෑ අවශ්‍යතාවය වෙනුවෙව් මැදිහත්වීමේ ක්‍රිස්තියානි වගකීම නීතිමය හා පරිපාලනමය බාධක ඉදිරියේ අත් නොහළ එතුමා තනිවම යාපනයට ගියේය. මේ පිළිබඳව යාපනේ අතිරේක මහේස්තාත්වරිය වු ශ්‍රී නිධි නන්දසේකරන් මහත්මියට දන්වා සිටි එතුමා ඇගේ සහය පැතුවේය. ඇගේ මැදිහත්වීමත් සමඟ ප්‍රවාහන සීමාවව් ඉවත් කරන්නට ආරක්ෂක අංශවලට සිදුවිය. මහේස්ත්‍රාත්වරියද සමඟ ගිලන් රථ පෙරහැරකින් තුවාල වූවන් යාපනය රෝහලට ගෙන එන්නට එතුමාද එක් විය. මේ කාලය එතුමාට දැඩි අවිවේකි කාල පරිච්ඡේදයක් විය. එතුමා අලයිපිඩ්ඩි කයිට්ස් හා යාපනය යන ප්‍රදේශ තුනේම දිවා රෑ නොබලා අභ්‍යාකාශ ෂටලයක් මෙන් සැරිසරමින් සිය ජනතාවගේ වුවමනා එපාකම් සොයා බැලුවේය. බොහෝ දෙනා ගම්බිම් හැරදා පැමිණ සිටියේ ඇඳිවත රැගෙනය. එතුමා ජනතාවට යළි අලයිපිඩ්ඩි වෙත ගොස් ඇඳුම් පැළඳුම් හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන එන්නටද, ඔවුන් වෙත ආහාර තොග වශයෙන් ප්‍රවාහනය සඳහාද බලධාරින්ගේ අවසර ලබා ගත්තේය. මෙකී ක්‍රියාකාරිත්වයන් නිසාම අමල්රාජ් පියතුමාට මෙන්ම එතුමාටද තර්ජනයක් ගලා එන්නට විය. ප්‍රදේශීය නාවුක හමුදා ප්‍රධානියාගෙන් එතුමා වෙත පැමිණි එක් චෝදනාවක් වූයේ එතුමා තවත් අය සමඟ එල්. ටී. ටී. ඊ යට බන්කර් හදන්න උදව් වු බවය. ජිම් බ්‍රවුන් පියතුමා ආචාරශීලිව මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර මනුෂ්‍යයනට නොව දෙවියන්ට පමණක් බියවෙමින් සිය දූත මෙහෙවර නොපසුබටව ඉදිරියට ගෙන ගියේය.

අගොස්තු 19 දා එතුමා යාපනය රදගුරුතුමා හමුවිය. සියලු විස්තර එතුමා හමුවේ තැබිණි. රදගුරුතුමා ආරක්ෂාව සඳහා රදගුරු නිවසේ නතර වන ලෙස ජිම් පියතුමාට කීය. එහෙත් අලයිපිඩ්ඩි හී ජනයාට බීමට ජලය රැගෙන යා යුතු බව පවසමින් එය ගෞරවනීයව ප්‍රතික්ෂේප කළ එතුමා කයිට්ස් ගියේය.

අගොස්තු 20 ඉරිදා කයිට්ස් හී දිව්‍ය පූජාවට සහය වූ එතුමා දවල් 12.30 ට පමණ NPGO 6486 අංකය දරණ රතුපාට මෝටර් සයිකලයෙන් අවුරුදු 40 වයසැති විමලන් නැමැති ගිහි සහායකයකුද සමඟ කයිට්ස් වලින් පිටත් විය. අලයිපිඩ්ඩි යෑමට අවසර ලබාගත් ඔවුහු අලපිඩ්ඩි යෑමට පිටත් වූහ. ඔවුන්ගේ ඇතුළුවීම් අලයිපිඩ්ඩි හන්දියේ ආරක්ෂක සෝදිසි ස්ථානය වාර්තා කර තිබුණේ දහවල් 1.50 ටය. නාරන්තනයි මීසමේ තුරෙයිරත්නම් පියතුමා ද එම අවස්ථාවේ එතැන සිටි අතර ඊට සාක්ෂි දරයි. එතැන් පටන් එතුමා ගැන කිසිදු හෝඩුවාවක් නැත.
සහෝදර පූජකවරුද, මීසම්වාසි ජනතාවද මේ පිළිබඳව දැඩි කම්පනයට පත්ව සභාමය හා අනෙකුත් අංශවලට මේ ගැන දන්ාව සිටියෝය. සභාමය හාපොලිස් අංශ මගින් කරන ලද විමසීම් වලට පිළිතුරු ලෙස අදාළ නාවික හමුදා අංශය මගින් දන්වා සිටියේ ජිම් පියතුමා 1.50 ට ප්‍රදේශයට ඇතුළු වී 2.10 ට එම ස්ථානයේම පිටවීම ද සටහන් කළ බවයි. පොලිසියට අදාළ වාර්තා පිරික්සීමට අවශ්‍ය වූ වත් අදාළ නාවුක හමුදා අංශය විසින් ඒවා ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. ඉන ්අනතුරුව එතුමා ගැන කරන ලද සොයා බැලිම් නිෂ්ඵල විය. එතුමාද තවත් අතුරුදහන් වූවන් අතරට එකතු යවි.

ඉටුනොවු යුක්තිය

ජිම් බ්‍රවුන් පියතුමාගේ අතුරුදහන්වීම හා ඒ ආසන්න කාලයේදී අලයිපිඩ්ඩි ගම්මානයේ සිදු වු සමූහ ඝාතන සම්බන්ධයෙන් හා ඒ ආසන්නයේ පිහිටි තවත් ගම්මාන දෙකක සිදුවු ඝාතන ඇතුළු බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරිම් 16 ක් විමර්ෂනය කරන ලෙස 2006 වසරේදී ජනාධිපති කොමිසමක් පත් කරන ලදි. එම කොමිසමේ වාර්තාව 2009 දී නිකුත් වු අතර ප්‍රමාණවත් සාක්ෂි නොලැබීම හේතුවෙන් ජිම්බ්‍රවුන් පියතුමාගේ අතුරුදහන්වීම පිළිබඳ විමර්ෂනය නොවු බවත් මියගිය පුද්ගලයින්ගේ මළසිරුරු සොයාගැනීමට නොහැකිබවත් සඳහන් වේ. එසේ ම අලයිපිඩ්ඩිහී සමුහ සන්හාරය පිළිබඳව විමර්ෂනයට කාලයක් නොලැබු බවද එහි සඳහන් වේ.

2007 වර්ෂයේ මානව හිමිකම් පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වාර්තාවෙහි වැදගත් සාක්ෂියක් දැක්වේ. එනම් එවකට සිටි වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝගයක් ලබා දී තිබියදී අවසන් වරට ජිම්බ්‍රවුන් පියතුමාව දුටුවේය යැයි සැලකෙන මුරපොලේ ලොග් පොතේ පොලිසියට භාරදීම හමුදාව ප්‍රතික්ෂේප කළ බවයි. එසේ ම මහේස්ත්‍රාත්වරිය හා පොලිසිය අලයිපිඩ්ඩි ගම්මානයේ පරීක්ෂාවෙන් පසු පිටව යන විට නාවික හමුදාව අහසට වැඩි තැබු බවද එහි සටහන් වේ.

2007 මාර්තු 31 දින යාපන අර්ධ ද්වීපයේදි වැලි ගෝනියක දමා සඟවාලන ලද සිරුර දෙකක කොටස් හමුවු අතර එය නිහාල් පියතුමාගේ හා සහයකයාගේ බවට සැක කරන ලදී. රජය 2007 ජූනි මාසයේදි පවසා සිටියේ ඩී. එන්. ඒ. පරික්ෂණ අනුව එය පියතුමාගේ නොවන බවයි.

වසර 20 ක් ගත වී ඇතත් තවමත් එතුමා පිළිබඳ එතුමා හා එතුමාගේ සහයකයා පිළිබඳව සත්‍ය හා යුක්තිය ඉටුවී නැත.

කිතුසර කණ්ඩායම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here