ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව කාමච්චෝඩේදි රුක් රෝපණ වැඩසටහනක් !

0
760

42 වන ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධානය කරනු ලබන දෙවන දින වැඩසටහන ලෙස රුක් රෝපණ වැඩසටහන අද (අගෝස්තු 23) මීගමුව, කාමච්චෝඩ ප්‍රධාන ජුම්මා මස්ජිද පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. ඊයේ දින (අගෝස්තු 22) පෝරුතොට ප්‍රධාන ජුම්මා දේවස්ථානයේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව ලේ දන්දීමේ සාර්ථක කඳවුරකින් ආරම්භ වූ මෙම සමගාමී සැමරුම් මාලාවේ දෙවන අදියර ලෙස මෙය ක්‍රියාත්මක විය.

ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුළෆ්ෆර්ගේ  ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා කතෝලික, හින්දු සහ ඉස්ලාම් යන සියලු ආගම් නියෝජනය කරමින් මව්ලවිතුමන්ලා, කතෝලික පූජකතුමන් සහ කුරුක්කල්තුමන් ඇතුළු ආගමික නායකයින් රැසක් සහභාගී විය.

මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, මීගමුව නගරාධිපති දුලීප් චාමර, නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆසීර්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ අෆ්රූස් අහමඩ්  ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, කාමච්චෝඩ පල්ලියේ දායක සභාව, ප්‍රදේශවාසීන් සහ සියලු ආගමික සහෝදරවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ශුද්ධ වූ කුරාණ් පාරායනයෙන් ආරම්භ වූ මෙම වැඩසටහනේදී ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුළෆ්ෆර්, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆසීර් යන අය අදහස් දැක්වූ අතර, ෆරුද් මව්ලවිතුමන් විසින් විශේෂ ආගමික දේශනයක් පවත්වන ලදී.

එහිදී අදහස් දැක්වූ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුළෆ්ෆර් මහතා ප්‍රකාශ කළේ:

“ඉස්ලාම් ධර්මයට අනුව පැළයක් සිටුවීම යනු මහත් වූ පිං රැස්කෙරෙන ‘සදකාවක්’ වෙනවා. ගසක් සිටුවීමෙන් සිදුවන යහපත මනුෂ්‍යයන්ට පමණක් නොව, පරිසරයේ ජීවත්වන අසරණ සතුන්ට පවා විශාල සහනයක් හා සෙවනක් ලබා දෙන කර්තව්‍යයක්. අනාගත දූ දරුවන්ගේ යහපත උදෙසා දීර්ඝකාලීනව සිතා මෙවැනි පරිසර හිතකාමී වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව කාමච්චෝඩ පල්ලියේ දායක සභාවට මාගේ විශේෂ ප්‍රශංසාව හිමිවෙනවා.”

වැඩසටහනේ අවසාන අංගය ලෙස අනාගත පරපුර වෙනුවෙන් සංකේතාත්මකව රුක් රෝපණය කිරීම පැමිණ සිටි සියලු ආගමික නායකයින්ගේ හා ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

එම් .ඉසෙඩ් සහජාන්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here