කටානේ ගස් කැපිල්ල ගැන විපක්‍ෂයෙන් නගන චෝදනාවලට ආණ්ඩු පක්ෂයෙන් පිළිතුරු . …….

0
65

 

කටාන, ආසනය භාර පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිනි නිෂානි ඉරේෂා ජයකොඩි මහත්මිය සහ එහි උප සභාපති අජිත් ප්‍රියදර්ශන මහතා ඇතුළු කටාන ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ සභික මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් පිරිසක් විසින් කටාන , කදිරාන ප්‍රදේශයේදී පසුගියදා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. ඒ කටාන ආසනයේ සිදු කෙරෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වලට එරෙහිව විපක්ෂය දියත් කරන “මඩ ප්‍රචාර” තරයේ හෙළා දකිමිනි. විපක්ෂය “සුන්බුන් විපක්ෂයක්” ලෙස හඳුන්වමින්, ඔවුන් සංවර්ධනයට බාධා කරමින්, රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහිව අසත්‍ය චෝදනා මඩප්‍රචාර නගන බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ, විපක්ෂයේ බොරු චෝදනා නැගීම් සහ මඩ ගැසීම් ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බැවින්, ජනතාව සහ මාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණින් මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවූ බවයි. කටාන ආසනය මේ වන විට දැවැන්ත සංවර්ධනයක් අත්විඳිමින් සිටින බවත්, පසුගිය වසරේ රුපියල් කෝටි 45 කට ආසන්න මුදලක් සහ මේ වසරේ රුපියල් කෝටි 55 කට ආසන්න මුදලක් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති බවත් ඔහු පැවසීය.

“මේ සංවර්ධනය දරා ගන්න බැරුව, ජාතික වශයෙන් පවා කැලඹිල්ලට පත්වෙලා ඉන්න ඔවුන්ගේ දේශපාලන භාවිතයන් අහෝසි වෙමින් යන බව දැන් ඔවුන්ට තේරිලා තියෙනවා. ඒ නිසා, ප්‍රාදේශීය වශයෙන් ඉන්න ඔවුන්ගේ කුඩා කණ්ඩායම් එකතු වෙලා මේ ආණ්ඩුවේ බලය ගිලගැනීමට සහ ඔවුන්ගේ අතට ගැනීම සඳහා දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරනවා.” යැයි මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ භූමි වල ගස් කපා දේශපාලන හිතවතුන් ලවා ඒවා අලෙවි කරන බවට විපක්ෂය විසින් පසුගිය දිනක ප්‍රාදේශීය සභාව ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වමින් එල්ල කරන ලද ප්‍රධාන චෝදනාව සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය:

ලුණුමිදැල්ල ගස

රද්දොළුවේ සුසාන භූමියේ තිබූ ලුණුමිදැල්ල ගස, පසුගිය ඇතිවු දිට්වා ආපදා තත්ත්වයකදී කඩා වැටුණු ගසක් බවත්, පල්ලියේ පියතුමා ඇතුළු කණ්ඩායමක් කළ ඉල්ලීමකට අනුව එය ඉවත් කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ගම්මාළු ගස

කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබූ ගම්මාළු ගස, ඇතුළත බෙනයක් සහිත දිරාපත් වූ අනතුරුදායක ගසක් බවත්, එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ඉඩ ලබා ගැනීම සඳහාත් එම ගම්මාළු ගස කපා ඉවත් කළ බවත් ඔහු සඳහන් කළේය.

වැලිහේන වෙල්යායේ ගස්

වැලිහේන වෙල්යායේ ගස් ඉවත් කිරීම රජයේ ව්‍යාපෘතියක් සඳහා ගොවිජන සේවා ඇතුළු අදාළ ආයතනවල අනුමැතිය ඇතිව සිදු කරන බවත්, සියලුම ගස් කැපීම් සඳහා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, සමහර ඒවාට තවමත් නිත්‍යනුකූල අනුමැතිය ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කළේය.

මෙම ගස් කැපීම් සම්බන්ධයෙන් විපක්ෂය කරන චෝදනා “ඵල රහිත” බව ද මන්ත්‍රීවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියේය.

“පුජා” වෙසක් කලාපය

පසුගිය මැයි මාසයේ එනම් වෙසක් සමයේ පැවැත්වු වෙසක් කලාපයක් මුල් කර ගනිමින් විපක්ෂය මාධ්‍ය සාකච්ඡා පවත්වා සභාව තුළ “දැඟලූ” බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේය. වෙසක් කලාපය ප්‍රාදේශීය සංවර්ධන කමිටුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, නගර සභාව, ආයෝජන මණ්ඩලය හෙවත් BOI එක, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, අධ්‍යාපන කාර්යාලය ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් විනිවිද භාවයකින් යුතුව සිදු කළ බවත්, සියලුම මුදල් සඳහා රිසිට්පත් නිකුත් කර, අයවැය ඉදිරිපත් කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.

“කාලයක් මේ ආගම දහම තමන්ට විතරයි අයිති කියලා හිතාගෙන හිටපු අයට දැන් මේක රිදෙනවා. ඒ නිසා කොහොම හරි මේ වගේ වැඩ නවත්වන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මම පැහැදිලිව කියනවා, ලබන වෙසක් කලාපය වගේම නත්තල් කලාපයකුත් අපි කරනවා. මේ දෙකයි පනහේ කකුලෙන් අදින වැඩ වලින් අපිව නතර කරන්න බැහැ.” මන්ත්‍රීවරයා එහිදී තරයේ කියා සිටියේය.

ගස් කැපීම සම්බන්ධයෙන් විපක්ෂය කරන චෝදනා වලට පිළිතුරු දෙමින්, වත්මන් ආණ්ඩුවට පෙර විපක්ෂය විසින් සිදු කරන ලදැයි කියන පරිසර විනාශයන් පිළිබඳව ද මන්ත්‍රීවරයා මෙම මා දිසාකච්ඡාවේදී කරුණු දැක්වීය. ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ගස් සිටෙව්වා යැයි කියමින් “කෑගැසූ” පිරිස්, සංවර්ධන වත්තේ අක්කර 204 ක තිබූ පොල් ගස් ඇතුළු වටිනා ගස් දහස් ගණනක් එක රැයින් කපා දැමූ බවත්, ඉඹුල්ගස්වාඩියේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෙවත් LRC එකට අයිති ඉඩමක් අනීතිකව පවරාගෙන, එහි තිබූ ගස් විනාශ කළ බවත්, වැලිහේනේ වෙළඳ සංකීර්ණයක් ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ පදනමට පවරාගෙන රජයට අයවිය යුතු මුදල් පුද්ගලිකව පරිහරණය කරන බවටද ඔහු චෝදනා කළේය.

“කොන්දගම්මුල්ල සහ පත්තෑයවත්ත යා කරන හොඳ පාලමක් කඩලා, අද ජනතාව ලයිට් කණු උඩින් ගමන් කරනවා. එතනත් අවුරුදු ගාණක් ලොකු වෙච්ච ගස් තියෙනවා ඒ පාලම හදනකොට ඒ ගසුත් කපන්න වෙයි.ඒ වෙලේ පස් කපලා පරිසරය විනාශ කරද්දී නිහඬව හිටපු දේශපාලඥයෝ තමයි අද ආණ්ඩුවට විරුද්ධව සංවර්ධනයට විරුද්ධව මේ විදිහට බොරු චෝදනා නගමින් , මඩ ගසමින් ක්‍රියා කරන්නේ.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

අනතුරුදායක ගස් නීත්‍යානුකූලව ඉවත් කරන අතරතුර, කටාන ආසනය තුළ ගස් 1000 කට ආසන්න ප්‍රමාණයක් අලුතින් සිටුවීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. වත්මන් රජය විසින් අලුත් කරනු ලැබූ පරිසර පනත මගින් පරිසරය රැකගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, සියලු සංවර්ධන කටයුතු ජාතික සැලැස්මකට අනුව සිදු කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

ප්‍රාදේශීය සභා සභාපතිනියගෙන් සහ උපසභාපතිගෙන් විපක්ෂයට පිළිතුරු

ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විපක්ෂය විසින් සිදු කරන ලද උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාපතිනි නිෂානි ඉරේෂා ජයකොඩි මහත්මිය ද අදහස් දැක්වූවාය. උද්ඝෝෂණයට මහජනතාව සහභාගී නොවූ බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරු 17 දෙනෙකු පමණක් සහභාගී වූ බවත් ඇය පැවසුවාය. ගස් කැපීම සම්බන්ධයෙන් ඔවුන් කරන චෝදනා සම්පූර්ණයෙන්ම වැරදි බවත්, පනතේ බලතල අනුව අනතුරුදායක ගස් ටෙන්ඩර් ක්‍රමයට තක්සේරු කර ඉවත් කිරීමට සභාවට හැකියාව ඇති බවත් ඇය පැහැදිලි කළාය. ප්‍රාදේශීය ලේකම්වරියගේ අනුමැතිය ඇතිව ගස් කපන බවට කරන චෝදනා ද ඇය තරයේ ප්‍රතික්ෂේප කළාය.

වෙසක් කලාපය සඳහා අරමුදල් රැස් කිරීම ප්‍රාදේශීය සභාවේදී සිදු නොකළ බවත්, සංවිධානාත්මකව රැස්වීම් කැඳවීමට සභාපතිනියට බලතල ඇති බවත් ප්‍රාදේශීය සභාවේ උපසභාපති අජිත් ප්‍රියදර්ශන මහතා මෙහිදී පැවසීය. වෙසක් කලාපය පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් නොදීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, මෙය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී ගත් තීරණයක් බවත්, එම කමිටුවට විපක්ෂයේ මන්ත්‍රීවරු ද සහභාගී වන බවත්ය.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here