කටුනායක , ලියනගේමුල්ල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින “මෙල්වා” සමූහ ව්‍යාපාරයට අයත් සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට විරෝධයපෑම පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා පසුගිය 19 වැනි දින (19/09/2026) කටුනායක, ශාන්ත තෝමස් ජාත්‍යන්තර විදුහලේදී ගරු කතෝලික පියතුමන්ලා පිරිසක් විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
එම මාධ්‍ය හමුව ආරම්භ කරමින් ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා අවධාරණය කලේ කටුනායක ප්‍රදේශයේ ආරම්භ කිරීමට යන මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව හේතුවෙන් පරිසරයට අති දැවැන්ත බලපෑමක් එල්ල වන බවයි. විශේෂයෙන් කුඩා දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවී ඔවුන්ගේ ශ්වසන පද්ධතියට හානි වී ඒ තුළින් රෝග පැතිරීමට ඉඩ ඇති බවත්, ඒනිසා මෙම කර්මාන්ත ශාලාව වෙනත් සුදුසු ස්ථානයක ස්ථාපිත කළ යුතු බව පියතුමා විශේෂයෙන් අවධාරණය කර සිටියේය

එමෙන්ම පියතුමා එහිදී ප්‍රකාශ කර සිටියේ මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව ඉදිවෙන භූමිය සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා සුදුසු ස්ථානයක් නොවන බවයි.. යම් යම් අක්‍රමවත් ලේඛන ඉදිරිපත් කර අපේ රටේ අවසර ලබා ගැනීමට හැකි වුවත්, ආරම්භයේදී මෙම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලා බලධාරීන් යම් නිර්ණායකයන්ට හා යම් යම් කොන්දේසිවලට අනුව කටයුතු කලත් පසුව ඒවා පිළිබඳව කිසිදු සැකීමක් නොකර ඔවුන්ට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ඉඩ ඇති බව පියතුමා මෙහිදී පැවසීය.

ඒ නිසා මෙම කර්මාන්ත ශාලාව මෙම ස්ථානයෙන් ඉවත් කළ යුතුම ඇතැයි පියතුමා එහිදී දැඩිව ප්‍රකාශ කළේය. එසේ එය, එම ස්ථානයෙන් ඉවත් නොකරන්නේ නම්, මහජනතාව විශාල උද්ඝෝෂණ සඳහා සූදානම්ව සිටින බවත් එවැනි විරෝධතා හේතුවෙන් විශාල කලකෝලාහල ඇති විය හැකි බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාටත් රජයටත් මතක් කර සිටින බවත් ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා වැඩිදුරටත් මෙම මාධ්‍ය හමුවේදී දැඩිව අවධාරණය කළේය.
ඉන් පසු පැමිණ සිටි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කලේ , මේ කර්මාන්තශාලාව සඳහා ගරු පියතුමන්ලා ඇතුළු පිරිස විරෝධතාවය දක්වන්නේ මෙය සිමෙන්ති කර්මාන්ත ශාලාවක් වීම නිසා ද ? යන්නයි . එලෙසම එම මාධ්‍යවේදියා පැවසුවේ මේ සඳහා විරෝධතාවය දක්වන හේතු සාධක සහ ඒ තුළින් ජනතාවට සිදුවන බලපෑමත් ,මෙම කර්මාන්ත ශාලාව පිළිබඳව ගරු පියතුමන්ලාගේ අවබෝධය පිළිබඳව ද තමන්ට මෙතෙක් නිසි ලෙස පැහැදිලි නොවූ බවයි.
ඒ සඳහා පිළිතුරු දීමට පැමිණියේ, සෙත්සරණ සේවාවේ අධ්‍යක්ෂකවරයා වු සහ මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව පිළිබඳව සිදුකෙරෙන කතෝලික සභාවේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා කොළඹ අග රදගුරුතුමා වෙනුවෙන් එම කටයුතු භාරදී ඇති ගරු නිලන්ත හේෂාන් පියතුමායි.
පියතුමා එහිදී මෙලෙස අදහස් දැක්වීය. “” මෙයට මාස 1/2 කට, 02 කට පමන කලින් මෙම ප්‍රදේශයේ ජනතාව සහ මෙම පාසලේ දරුවන්ගේ දෙමව්පියන්, විවිධ ආගමික නියෝජිතයන් සමඟ එකතු වෙලා උද්ඝෝෂණයක් තිබ්බා මේකට විරුද්ධව.
ඒ වෙලාවේ අග රදගුරුතුමාට මේ සෑම දෙමව්පියෙක්ම බලපෑමක් කරා සහ ඉල්ලීමක් කළා, මේ සඳහා මැදිහත් වෙන්න කියලා මේක නවත්තගන්න.ඊට පස්සේ අග රද ගුරුතුමා මේ වගකීම මට පැවරුවා.ඒවගේම උන්වහන්සේ කෙලින්ම රාජ්‍ය නිලධාරීන්ට ලිපි මගින් දැනුවත් කළා, මේකේ තත්වය පැහැදිලි කරන්න සහ මේකට අපි විරුද්ධයි කියලා. ඒ අවස්ථාවේදී අපි මධ්‍යම පරිසර අධිකාරියට සහ නාගරික සංවර්ධන අධිකාරියට අග රද ගුරුතුමා ලිපි ලිව්වා මේක නවත්තන්න කියලා, ඉල්ලීම් කළා, ඊට පස්සේ මධ්‍යම පරිසර අධිකාරියේදී රැස්වීමක් කැදෙව්වා ඒ නිලධාරීන් විසින් මමත් ගියා, තව මගේ නියෝජිත පියතුමන්ලා සහ මෙල්වා ආයතනයේ අයයි, ඒ වගේම අදාල U D එකේ (නාගරික සංවර්ධන අධිකාරිය) සියලු අයත් ආවා. ඒ ආපු වෙලාවෙදි අපි මේකට විරුද්ධ වෙන්නේ ඇයි කියන එක ප්‍රකාශ කළා.ඉතින් දැන් අපි විරුද්ධ වෙන්න හේතුව ඔබතුමා ඇසුවා, පළවෙනි එක තමයි, මේ ආයතනය සම්බන්ධව නෙමෙයි අපිට ගැටළුව තියෙන්නේ.අපිට තියෙන්නේ තෝරා ගැනීමේ ස්ථානය පිළිබඳ ගැටලුවක්.අපි කියනවා මේ ස්ථානය ගැලපෙන්නේ නැහැ.එකක් තමයි මේක අවුරුදු 10 ක සැලැස්මක් තියෙනවා කටාන ප්‍රාදේශීය සභාව පදනම් කරගෙන රජයේ, මේක සම්පූර්ණ එයාර්පෝට් එක පදනම් කරගෙන සංචාරක කලාපයක් විදිහට මේක ප්‍රවර්ධනය කරන්න ඕන කියලා. සංචාරක කලාපයක් තුළ හෝටල් වගේ දේවල් එන්න පුළුවන් , එයාර් පෝට් එක පදනම් කරගෙන. මේක ඇතුළට සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ගැලපෙන්නෙ නැහැ.හැබැයි මේගොල්ලෝ ඉල්ලීම් කරලා තියෙන්නේ “මිනි සිමෙන්ට් ෆැක්ටරි” කියලා ඉතින් මිනි සිමෙන්ට් පැක්ටරි කියන නිර්ණායක යටතේ මධ්‍යම පරිසර අධිකාරියෙන් මේගොල්ලෝ ඉල්ලීම කරන කොට ප්‍රශ්න 38 ක ප්‍රශ්නාවලියට උත්තර දෙන්න ඕනේ, මේ නියෝජිතයෝ මේ ව්‍යාපාරිකයෝ.
එතකොට මධ්‍යම පරිසර අධිකාරිය මේකේ යම් ඇප්රූවල් එකක් දුන්නා කියල කියනවා නම් දුන්නා කියලා කියන්නේ ඒ සමාගමේ අය දුන්නා කියන ප්‍රශ්නාවලියට උත්තර දීලා,ඒ උත්තර අනුව තමයි මේ නිර්දේශය දීලා තියෙන්නේ .
ඊට පස්සේ ඒක පදනම් කරගෙන තමයි 2025 හරියට නත්තල් දවසේ 12 මාසයේ 25 දා බොහොම හනි හනික නිලධාරින් මේකට අනුමැතිය දීලා තියෙනවා. ඒක 2020 ඉඳලා අවුරුදු 05ක් තිස්සේ සැරින් සැරේ ඉල්ලීම් කර කර මේ ලයිෂන් එක දික් කරගෙන ඇවිල්ලා තමයි මේක කරගෙන තියෙන්නේ එතකොට හරිම කාර්යක්ෂමයි නත්තල් දවසේ තමයි මේකට ඇප්රූවල් එක දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒ වගේ ව්‍යාපෘතියක් කරන කොට අනිවාර්යයෙන් මේ සයිට් එක ඉස්සෙල්ලාම මේ කරපු ප්ලෑන් එක ජනතාව දැනුවත් කරන්න ඕනේ හැබැයි මේ දැනුවත් කිරීම කලේ නැහැ.ඊට පස්සේ මේ ගැන කරුණු හොයනකොට සැකයක් මතු වුණා. එහෙම මතුවෙන කොට තමයි මේ ගොල්ලෝ ජූලි මාසේ සම්පූර්ණ බෝඩ් එකක් දාලා මේකේ සිමෙන්ති කම්හලක් හදන්නේ කියලා. හැබැයි අපි දැනගෙන හිටියේ මේ පැත්තේ සංචාරක ව්‍යාපෘතියක් පවත්වාගෙන යන්නට සංචාරක හෝටල් ඉදි වෙනවා, ඒක ගැන අපිට විරුද්ධත්වයක් තිබුණේ නැහැ. එක පාරටම සිමෙන්ති කම්හලක් කිව්ව ගමන් මිනිස්සු කලබල වුණා. එතකොට ඒ සමාගම විසින්ම පවසනවා පැයකට සිමෙන්ති කොට්ටා 1500 ත් 2400 ත් අතර ප්‍රමාණයක් මේකේ නිෂ්පාදනය වෙනවා.ඒක මිණි සිමෙන්ට් එකක් වෙන්නෙ නැහැ. එතකොට පැයකට 1500 ත් 2400 ත් අතර ප්‍රමාණයක් යන එවන් කම්හලක් සාමාන්‍යයෙන් පැය 24 ම වැඩ යනවා, ශිප් එකට එතකොට දවසකට 57000කට වැඩි ප්‍රමාණයක් මේකේ නිෂ්පාදනය වෙනවා.ඉන් පස්සේ අපි මේක ගැන එදාම දවල් ඒ සාකච්ඡාවේදී මම කිව්වා අපි මේකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියන තැන ඉඳලා, එතකොට අපි එදාම ජනාධිපතිතුමත් සමඟ රැස්වීමක් තිබ්බා.ජනාධිපතිතුමාට ලිපි මඟිනුත් දැනුවත් කළා. ඒ වගේම ඒ අදාල අමාත්‍යාංශ වලට ලිපි යව්වා අපි දැනුවත් කලා .
ඉතින් අපි විශ්වාස කරනවා, එතනින් යම් ක්‍රියාත්මක වීමක් වෙයි කියලා, මේ සම්බන්ධයෙන් ඒ වගේම තමයි 2022 ගැසට් පත්‍රයකින් ,රජයේ වලංගු ගැසට් පත්‍රයකින් පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා මේ කර්මාන්තවල පරිසර දූෂණය අතින් ලයිෂන් ලබා ගතයුත්තේ මොනවගේ කර්මාන්තද කියන එක .A ,B , C ලෙස ග්‍රේඩ් කරලා තියෙනවා..එහි පැහැදිලිවම සඳහන් වෙනවා. මේ A ග්‍රේඩ් එක යටතේ ,පරිසර දූෂණය උපරිමයෙන් තියෙන ආයතන තමයි සිමෙන්ති ඉන්ඩස්ට්‍රීස් 22 වැනි වගන්තියේ තියෙනවා ” සිමෙන්ට් ඉන්ඩස්ට්‍රීස් ක්ලින්ද ග්‍රයින්ඩීන් ඕ මැනුපැක්චරීන් ඕ රි පැකින් මේ ඔක්කොම අධි පරිසර දූෂණයක් තියෙන ඒවා කියලා ගැසට් එකකින් මේවා කරලා තියෙන්නේ.ඒක 2022 ගැසට් එකකින් මෙක සම්පූර්ණයෙන්ම නීතිගත කරලා තියෙන්නේ. මම පරිසර අධිකාරියෙන් ප්‍රශ්න කළා කොහොමද මෙච්චර දෙයක් තියෙද්දි අපි කියනවා මේක සංවේදී පරිසර කලාපයක් වටේ එතනින් මීටර් 100ක් එහයින් කලපුව මුතුරාජවෙල, අධික ජනාවාස පාසල් . මේක කර්මාන්ත කලාපයක් නෙවෙයි.එතකොට ඒකෙදි අපි ඒගොල්ලොත් එක්ක ප්‍රශ්න කළා ඇයි ඔයගොල්ලෝ මෙන්න මේ ආයතන වලින් ගන්නේ නැත්තේ ඇයි කියලා. නාරා එකෙන් ගන්න ඕන කලපු සංරක්ෂිතය තියෙනවා . එතකොට මුතුරාජවෙල අභයභූමිය තියෙනවා, එතකොට මේ එකකින්වත් අහන්නැතුව මධ්‍යම පරිසර අධිකාරියෙන් ප්‍රශ්න කලාහම ඒගොල්ලො කියන්නේ නෑ නෑ ඒව දැම්මම ගන්න ගන්න ඕනේ නැහැ කියලා.”” එලෙසම පියතුමා ප්‍රකාශ කළේ මෙහි තවත් නීතිමය ගැටලු ගණනාවක් ඇති බවත් ඒවා මෙහිදී කතා කිරීම තම අරමුණු නොවන බවත් එය නීතිඥවරුන්ගේ කාර්යභාරයක් බවයි. ඒ අනුව පියතුමා අවසාන වශයෙන් ප්‍රකාශ කළේ අසන ලද ප්‍රශ්නයට පිළිතුරක් ලෙස පළවෙනුව මෙම ස්ථානය , මෙම කර්මාන්තශාලාව සඳහා නොගැලපෙන බවයි එය කර්මාන්ත කලාපයකට යා යුතු සිමෙන්ති කර්මාන්තශාලාවක් බව ද එය සංවේදී මිනිසුන් සිටින කලාපයකට නොගැලපෙන බවද අවධාරණය කලේය. එලෙසම ප්‍රසිද්ධ පාසල් 03 ක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇති බවත් එම ළමුන්ට හුස්ම ගැනීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවත් U D එකට සහ මධ්‍යම පරිසර අධිකාරියට ඉල්ලුම් කර ඇති ඉල්ලුම් පත්‍ර කෙලෙසක සිදු වී ඇත්දැයි තමන් නොදන්නා බවයි. මෙවැනි හේතු කාරණා නිසා මෙයට විරුද්ධත්වය ප්‍රකාශ කරන බව සඳහන් කළේය.
එලෙසම පියතුමා නැවත නැවතත් අවධාරණය කළේ අග රදගුරුතුමා මේ පිළිබඳව ජනතාව සමග සිටින බවත් ඒ අනුව මෙම ස්ථානයට මෙම කර්මාන්තශාලාව නොගැලපෙන බවද අවසන් වශයෙන් පියතුමා ප්‍රකාශ කළේය.
මෙහිදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම ගරු නිලන්ත හේෂාන් පියතුමාගෙන් ප්‍රශ්න කළේ මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව ඉදිකෙරෙන භූමියේ ආසන්නයේම මෙවැනිම ව්‍යාපාරයක් එනම් සිමෙන්ති යොදා මහා පරිමාණයෙන් කොන්ක්‍රීට් මිශ්‍ර කිරීමේ කම්හලක් මේ වන විට පවත්වාගෙන යන බවත් ඒ පිළිබඳව ගරු පියතුමන්ලා විසින් ගනු ලබන පියවර කුමක්ද යනුවෙනි. එවිට පියතුමා ප්‍රකාශ කලේ අප මේ මොහොතේ අදහස් දක්වන්නේ මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව පිළිබඳ පමණක් බවය.
එහිදී මාධ්‍යවේදීන් නැවත නැවතත් පියතුමාගෙන් ප්‍රශ්න කළේ මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව ආසන්නයේම මෙලෙස විරෝධතාවය පෑමට තවත් එවැනි ස්ථාන තිබියදී එවැනි සියලු තැන් වලට විරුද්ධත්වය ප්‍රකාශ නොකර, එක් ස්ථානයක් පමණක් ඉලක්ක කරමින් විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ ඇයි ද ? යනුවෙනි .. එලෙසම එම මාධ්‍යවේදීන් පියතුමා වෙත අවධාරණය කලේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා එක් ස්ථානයක් පමණක් තෝරා නොගෙන , ඒ ආකාරයේ සියලු ස්ථාන වලට නොපැකිළිව දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි.
එලෙස මාධ්‍යවේදීන් පියතුමන්ගෙන් දැඩිව ප්‍රශ්න කළේ මෙම කලාපය සංවේදී පරිසර කලාපයක් නම්, එක් ස්ථානයක් පමණක් තෝරා ගෙන , විරෝධය දක්වන්නේ ඇයි ? .ද යනුවෙනි. එහිදී පියතුමා “‘ එකක් විතරක් නෙමේ ” යනුවෙන් පිළිතුරක් ලබා දුන්නේය.
එවිට මාධ්‍යවේදියෙකු නැවත මෙලෙස අදහස් දැක්වීය . ” දැන් ඔබ වහන්සේලා කතා කරන්නේ ඒක ගැන විතරයි කියලා ඔබ වහන්සේලාම කිව්වා ”
නැවතත් මාධ්‍යවේදියෙකු පියතුමන්ට මෙලෙස ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය .
“” මුලින්ම ඔබතුමන්ගෙන් අපි අහන ප්‍රශ්නය පැහැදිලි කරගන්න. අපි අහන්නේ ඔබතුමන්ලා තෝරාගත් ආයතනයකට විරුද්ධව කටයුතු කරනවා ජනතාවගේ පැත්තෙන් කියලා, මේක සංවේදී කලාපයක් කියලත්. කිව්වා. දැන් අපි මේ අපි මේ ඉන්න ඉස්කෝලෙත් ( කටුනායක ශාන්ත තෝමස් ජාත්‍යන්තර පාසල ) සංවේදී කලාපයක්නේ. මුතුරාජවෙල ගොඩ කරලානේ හදලා තියෙන්නේ. එතකොට ඇයි ඔබ වහන්සේලා එක ආයතයක් පමණක් තෝරාගෙන මේ ගහන්නේ ? .
එහිදී පියතුමන් ප්‍රකාශ කළේ ජනතාව මේ වෙලාවේදී මේ වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා කිව්වා.
එවිට නැවතත් මාධ්‍යවේදියා ප්‍රශ්න කළේ
” ජනතාව කියන්නේ ඒ ආයතනය විතරද ? “යනුවෙනි.
ඉන්පසු වෙනත් මාධ්‍යවේදියෙකු ප්‍රකාශ කළේ මේ ආසන්නයේ ඇති කොන්ක්‍රීට් මිශ්‍ර කිරීමේ ස්ථානයක් ඇති බවත් එයින්ද දූවිලි අංශු වායුගෝලයට සහ කලපුවට මුසු වන බවයි..
එවිට ජූඩ් ක්‍රිෂාන්ත පියතුම ප්‍රකාශ කළේ එම ස්ථානය ජනාවාස පිහිටුවීමට පෙර ස්ථාපිත වු එකක් විය හැකි බවයි.
එවිට මාධ්‍යවේදියෙකු නැවත ප්‍රකාශ කළේ ඔබවහන්සේලා මගේ ප්‍රශ්නය තවම තේරුම් ගත්තේ නැහැ යනුවෙනි.
ඉන් අනතුරුව අදහස් දැක්වූයේ මේ මේ මාධ්‍ය හමුවට පැමිණ සිටි නීතිඥ ඉසුරි රොද්‍රිගු මෙනවියයි . ඇය ප්‍රකාශ කලේ ” ඔබතුමා අපිට නම් දෙනවා නම් සහ ජනතව ඒකට හඬ නගනවා නම් අපි ලෑස්තියි ඒකට විරුද්ධව සටන් කරන්න. මහජන පීඩාවක් සිද්ධ වෙනවා නම්, පරිසරයට බලපෑමක් වෙනවා නම්, අපි ලැහැස්ති ඒකට.
එහිදී මාධ්‍යවේදීයෙකු පුකාශ කලේ ” ඔබ වහන්සේලාට ,ඔබ තුමියට ඇස් තියෙනවානේ. ඇහැ විතරනේ ඕනේ. ජනතාව ඕනේ නැහැනේ.” යනුවෙනි
ඉන්පසුව මෙම මාධ්‍ය හමුව ඇමතූ නීතිඥ ඉසුරී රොද්‍රිගු මෙනවිය අවධාරණය කළේ කළේ තිරසාර සංවර්ධනයක් පිළිබඳවයි . ඇය එහිදී ප්‍රකාශ .කලේ ආර්ථික සංවර්ධනය පමණක් නොව, ජනතාව සහ පරිසරය යන සෑම අංශයක්ම සංවර්ධනයක් ඇති විය යුතු බවයි. වත්මන් ප්‍රජාව ඇය පමණක් නොව අනාගතයේ ඉපදෙන්නට සිටින දරුවන්ට පවා මේ පරිසරය භුක්ති විදින්නට අයිතිවාසිකමක් ඇති බවත් එම පදනමේ සිට මෙම සාකච්ඡාවට ප්‍රවේශ වන බවත් ප්‍රකාශ කළාය. ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව මෙම ප්‍රදේශයේ තිරසාර සංවර්ධනයට බලපෑමක් ඇති කරන බවයි. මුතුරාජවෙල පරිසරික කලාපය අතිසංවේදී පරිසර කලාපයක් ලෙස 2021 දී ගැසට් කරන ලද අතර 2022 මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා නිර්දේශ සපයන අවස්ථාවේදී ගැසට් පත්‍රයක් නිකුත් වී නොමැති බැවින් මධ්‍යම පරිසර අධිකාරිය අනිවාර්යෙන්ම මේ ගැසට් පත්‍රය සලකා බැලීමකින් තොරව මෙම නිර්දේශය ලබාදී ඇති බව ඇය පවසයි. එලෙසම ඇය පවසන්නේ ලියනගේ මුල්ල ප්‍රදේශයේ කඩොලාන රක්ෂිතයක්ද ඇති බවයි. ඒ අනුව ඈ පවසන්නේ එවැනි පාරිසරික වශයෙන් සංවේදී ස්ථාන මෙම කර්මාන්ත ශාලාවට ආසන්නයේම ඇති නිසා මේ සඳහා අවසර ලබා ගැනීමේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය බවයි එහෙත් මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතියක් අවසරයක් තමන් දන්නා තරමින් ලබා ගෙන නොමැති බවද ඇය මෙහිදී සඳහන් කළාය. ඒ අනුව රජයේ පාර්ශවයන් වන මධ්‍යම පරිසර අධිකාරීන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඇය ඉල්ලා සිටින්නේ මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා ලබාදුන් අනුමැතිය නැවත සලකා බැලීමක් කරන ලෙසයි. ඒ සඳහා ඇය යෝජනා කරන්නේ උගත් පුද්ගලයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර මේ සම්බන්ධව නැවත අනිවාර්ය සලකා බැලීමක් කළ යුතුය යන්නයි.
අවසන් වශයෙන් මාධ්‍ය හමුව ඇමතූවේ මුතුරාජවෙල සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු දිනූෂ නානායක්කාර මහතායි.
ඔහු පවසන්නේ සංචාරක හෝටලයකට අනුමැතිය ලබා ගෙන කර්මාන්තශාලාවක් ගොඩනඟන බවයි. එලෙස ඉදිවන මෙම කර්මාන්ත ශාලාව ජනාකීර්ණ ප්‍රදේශයක ඉදි කර ඇති නිසා එහි නිෂ්පාදන ක්‍රියාවලියේදී ක්ෂුද්‍ර සිමෙන්ති අංශු, මුහුදු සහ කලපු සුළං සමඟ පැතිරෙන අතර ඒ නිසා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ දහස් ගණනක් රැකියාවල නිරත වන්නන්ගේ සහ ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ පෙනහළු මෙන්ම සහ ශ්වසන රෝග ආදිය නිසැකයෙන්ම ඇතිවන බව පැවසීය.
එලෙසම එවැනි තත්වයක් තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට මීටර් 500ක් තරම් ආසන්නයේ මෙම කර්මාන්තශාලාව පිහිටා තිබීමෙන් ගුවන් යානා එන්ජින්වලට සිමෙන්ති දූවිලි එකතු වීමෙන් සිදුවන අනතුරුදායක තත්ත්වයක් ඇති විය හැකි බවද ඔහු පවසයි එය මෙරට ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ඔහු සඳහන් කලේය
තවද මීගමුව කලපුවට සහ මුතුරාජවෙල කඩොලාන පරිසරයට එක්වන සිමෙන්ති දුහුවිලි අංශු නිසා කුඩා මත්ස්‍ය පැටවු අභිජනනයට බලපෑම් ඇති විය හැකි බවත් එය ප්‍රදේශයේ ධීවර ජනතාවට සහ එම කර්මාන්තය සඳහා විශාල බලපෑමක් ගෙන දෙන හේතුවක් විය හැකි, බවද ඔහු එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මෙම මාධ්‍ය හමුව සඳහා කලාපීය නාහිමි ශාන්ති කුමාර වැලිවිට, කටුනායක ශාන්ත තෝමස් ජාත්‍යන්තර විදුහලේ විදුහල්පති ඇන්ටනී ලක්ෂ්මන්, එහි උප විදුහල්පති ජිප්සන් ප්‍රනාන්දු සහ සෙත්සරණ සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක අනුර ඩයස් යන ගරු පියතුමන්ලා ඇතුළු පිරිසක් සහභාගී වූහ.




















