PR ඒජන්සි මාධ්‍යයේ කොඳු කැඩීම පිළිකුල් සහගතයි – ෆ්‍රෙඩී ගමගේ

0
583

එක් එක් සමාගම් විසින් ලබාදෙන් මුදල් කුට්ටිවලට වාල්වී PR (මහජන සම්බන්ධතා) ඒජන්සි විසින් මාධ්‍යවේදීන් ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට අභියෝග කිරීම පිළිකුල් සහගතව හෙළා දකින බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතා කියා සිටී.

ඔහු මේ අදහස් දක්වනු ලැබුවේ ජෝන් කීල්ස් ආයතනය විසින් “City of Dreams Sri Lanka” ආරම්භයට Adfactors PR නම් PR ඒජන්සිය යොදාගමින් මාධ්‍යවේදීන්ට මුඛවාඩම් දමා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවට විරෝධය දක්වමිණි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ලංකාවේ ලොකුම කැසිනොව කරන්න ආපු ආයෝජකයා වූ මෙල්කෝ පීබීඑල් එන්ටර්ටේන්මන්ට් (මැකාවු) ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ මහතාගෙන් සජීව ප්‍රශ්න ඇසීමට මාධ්‍යවේදීන්ට තිබූ අවස්ථාව හා අයිතිය ඇඩ්ෆැක්ටර්ස් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) විසින් කොල්ල කෑ බවයි.

එසේම, ලෝරන්ස් හෝ මහතා පාළු ගෙයි වළං බිඳිමින් ලංකාව ඉන්දියාවට ළඟ නිසා “ශ්‍රී ලංකාවට ඉන්දියාවේ මැකාවු විය හැකියි” යැයි (Sri Lanka can be India’s Macau) පවසා ඇති බව ගල්ෆ් නිවුස් (Gulf News) වාර්තාකර තිබූ බවත්, එය ඉතා භයානක ප්‍රකාශයක් යැයිද ඔහු කීය.

නොදන්නා අයට “මැකාවු” යන්න කුමක්දැයි ගූගල් කර සොයාගන්නා ලෙසද ඔහු කියා සිටියේය.

දැන්වීම් ලබාදෙන නිසා ම ජෝන් කීල්ස් ආයතනයත්, තමුන්ට ඕනෑම දෙයක් මාධ්‍ය හරහා කළ හැකි යැයි සිතන්නේ නම් එය වහාම සිතින් අයින් කරගන්නා ලෙසත්, අවශ්‍යවුවහොත් ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂාකර ගැනීමට සමාගම් මාෆියාවට එරෙහිව හඬ නැගීමට සියලු පියවර ගන්නා බවද අවධාරණය කළේය.

එසේම, මහජන සම්බන්ධතා කර්මාන්තය වෙනුවෙන් ආරම්භ කළ පළමු ලියාපදිංචි සහ නිල වශයෙන් පිළිගත් නියෝජිත ආයතනය යැයි පාරම්බාන “Public Relations Association of Sri Lanka (PRASL)” සිය සාමාජිකයකු වන ඇඩ්ෆැක්ටර්ස් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) විසින් මාධ්‍ය නිදහස කොල්ලකෑම සම්බන්ධයෙන් අවදානය යොමුකළ යුතු බවත්, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කරුණු විමසීමටත්, ඔවුන්ගේ ආචාර ධර්ම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටත් කටයුතු කරන බවද ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එසේම, ඉන්දියාවේ පිහිටි ඇඩ්ෆැක්ටර්ස් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) හි මවු සමාගමට ද මෙය දැනුවත් කරන බවද කියා සිටියේය.

ඉන්දියාවේ හින්දු ආගමට ගරුකරමින් ඉතා කීර්තිමත් සමාගමක් ලෙස හැසිරෙන ඇඩ්ෆැක්ටර්ස් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) ළංකාව තුළ අමු මස් වෙළෙන්දන් ලෙස හැසිරීම කනගාටු දායක බවද ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, ඇඩ්ෆැක්ටර්ස් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) හා ජෝන් කීල්ස් ආරාධනයෙන් බොලිවුඩ් නළු රිතික් රෝෂන්ගේ පැමිණීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද නිසි සැලැකිල්ලක් නොලැබුණු බවට ෆේස්බුක් සටහන් ඇතැයිද ඔවුන් එසේ හැසිරී ඇත්නම් ලංකාවේ ප්‍රධාන ආයතනක් ලෙස ජෝන් කීල්ස් ගැන ලැජ්ජා වන බවද වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු පැවසීය.

මාධ්‍යවේදී තිළිණ අලහකෝන් “City of Dreams Sri Lanka” ආරම්භයේදී වූ අලකලංචියක් ගැන සිය ෆේස්බුක් පිටුවේ වාර්තා කර තිබිණි.

 

අනුන්ගෙ ස්ක‍්‍රිප්ට් එකකට කුලියට රගපාන්ඩ ගිහින් මාධ්‍ය වෘත්තිකයින් පීචං වීම
============================================
ඊයේ මම කැසිනෝ එකක් විවෘත කරන්ඩ අපේ මාධ්‍ය සහෝදරයින්ව කුලී වහල්ලු ගානට නීති රීති දාලා ආරාධනා කරපු එකක් සවිස්තරව කරුණු ඇතුව ලිව්වා. අද එ්කේ ඉතිරි ටික ලියලා ඌණ පූර්ණයක් කරන්ඩ හිතුනා.

‘සිටි ඔෆ් ඩ්‍රීම්’’ කැසිනෝ එක විවෘත කරන්න මාධ්‍යවේදීන්ට එන්න කියලා ආරාධනා පත් එවලා දාලා තිබ්බ කොන්දේසි ටික තමයි මේ.

# ව්‍යාපෘතියේ ප්‍රධානම හවුල්කාර සමාගම් දෙකේ ප්‍රධාන විධායක නිලධාරින්ගෙන් සජීවීව ප්‍රශ්න ඇසීමට නොහැකි වීම.

# ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න අසන්නේ නම් මෙහි මාධ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරනු ඇඩ්ෆැක්ටර් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) ආයතනය මාධ්‍ය වෙත සපයා ඇති QR කේතය ස්කෑන් කර එයට අදාළ ප‍්‍රශ්ණය ලිඛිතව යැවිය යුතු වීම.

# ඉන් පසුව අපි යවපු ප්‍රශ්න බලලා ඔවුන් විසින් එයට පිළිතුරු දෙන්නේද නැද්ද යන්න තීරණය කරනු ලබනවා කීම.

# කිසිදු ප්‍රශ්නයක් ඇසීම අවස්ථාවක් ද නැතැයි කියලා ආරාධනා පත්‍රයේ කොන්දේසිවලම දක්වලා තියෙද්දි මාධ්‍යවේදින් එ්කට සහභාගී වීම.

# සංවිධායක ආයතනයෙන් කියලා තියෙන්නේ කිසිදු ඡායාරූප ශිල්පියකුට ඔවුන්ගේ කැමරාව භාවිතා කළ නොහැකි බව කීම.

# ඔවුන් ඉඳගත් තැනින් නැගිටින්නට කියනතෙක් ඔවුන් ඈදිගත් ස්ථානයේම ඈදිගෙන සිටිය යුතු බව කීම.

# මෙච්චර කොන්දේසි මධ්‍යයේ ඇතැම් මාධ්‍ය ආයතන මේකට ගියේ ඔවුගේ මාධ්‍ය ආයතනයට දැන්වීම් ලබා දීම නිසයි.

# තවත් ආයතන දැන්වීමක් ලබාගන්ඩ බලාගෙන ගියා.

කොහොම උනත් අපිට මේ ‘‘සිහින නගරයේ පරිපාලනය’’ ගැන නෙවෙයි වැඩිපුර ගැටළුව තිබ්බේ. පුද්ගලික ව්‍යාපාරික සමාගමක් මෙච්චර කොන්දේසි දාලා අතපය බැදලා දාලා මාධ්‍යවේදීන්ගේ නිදහස, අයිතිවාසිකම් සම්ප‍්‍රදායන් උල්ලංඝනය කරලා මාධ්‍යවේදීන්ව ලේබර්ස්ලා ගානට දාලා එන්ඩ කිව්වහම මාධ්‍යවේදීන් මේකට ගිය එක ගැනයි.

ගිය මාධ්‍යවේදීන්ට චෙච්චි දේ දැන් මේ ව්‍යාපෘතියේ ප්‍රධානම හවුල්කාර සමාගම් දෙකේ ප්‍රධාන විධායක නිලධාරින්ගෙන් සජීවීව ප්‍රශ්න ඇසීමට නොහැකි නිසා මේ මාධ්‍ය ආයතන සම්බන්ධීකරණය කරපු ආයතනයට අර දීලා තිබ්බ QR කෝඩ් එක හරහා තමුන්ගේ ප‍්‍රශ්ණ අහලා ලංකාවේ ප‍්‍රධාන මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදීන් ගණනාවක්ම ප‍්‍රශ්ණ යවලා තියෙනවා.

ඇතැම් අය මට කියපු විදිහට ඔවුන් එක් එක්කෙනා යවලා තියෙන්නේ එකකට එකක් වෙනස් ප‍්‍රශ්න කිහිපයක්. සමහර ප‍්‍රශ්ණ පොඩ්ඩක් ආන්දෝලනාත්මකයි. නමුත් මේ අහපු ප‍්‍රශ්න ගැන වැඩසටහනේ නිවේදකයා කියලා තියෙන්නේ හැමෝම එවලා තියෙන්නෙ එක වගේ ප‍්‍රශ්ණ එ් නිසා අපි මේ තෝරාගත් ප‍්‍රශ්ණාවලිය ඉදිරිපත් කරනවා කියලා ප‍්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරලා. එයාලා කැමති විදිහට උත්තර දීලා තියෙනවා සාමාන්‍යයෙන් අපි තොරගත්ත ප‍්‍රශ්නයක් ඉදිරිපත් කරනකොට උනත් ක‍්‍රමවේදයක් තියෙනවා.

‘‘නිවුස් ලයින් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදී තිළිණ අලහකෝන් මහතා අපිට යොමු කරලා තියෙන මේ ප‍්‍රශ්ණය අපි තෝරගත්තා ඔහු අහලා තියෙනවා මේ කැසිනේ ව්‍යාපෘතිය හරහා ලංකාවේ රජයට ලැබෙන ප‍්‍රතිලාභ මොනවද කියලා’’ වගේ එකක් තමයි හරිනම් අහන්ඩ ඕනේ.

නමුත් එයාලා ප‍්‍රශ්ණ ටිකක් හදලා ස්ක‍්‍රිප්ට් එකක් කලින්ම ලියලා. එ්කට අර ආව මාධ්‍යවේදීන් සහ QR කෝඩ් එක හරහා ප‍්‍රශ්ණ ඇහුවා එ්කෙන් තෝරගත්තා කියලා ලස්සන ස්ක‍්‍රීප්ට් එකක් කලින් ලියලා අපේ ගිය මාධ්‍යවේදීන් ටිකව එ්කෙ කුලියට රගපාන කට බැදපු නලුවො ටිකක් කරලා කන්ඩ බොන්ට ටිකක් දීලා එව්වා කියලයි ගිය අයගෙන් ආව ආරංචිය (රස්සාව බේරගන්ඩ නොයාම බැරි නිසා ගිය උන්). අපිම ප‍්‍රශ්ණ හදලා අපිම උත්තරත් දෙන්නම් උඹලා ඇවිල්ලා මොනවා හරි කාලා බීලා උඹලා ප‍්‍රශ්න අහලා උත්තර අහගෙන ලියනවා වගේ ගිහින් ලියපල්ලා කියලා වැඩක් තමයි මේකෙදි වුනේ.

මගේ අදහස නම් මාධ්‍යවේදීන්ගේ ස්වාධීනත්වය අහෝසි කරලා මාධ්‍ය වෘත්තිකයින් වහලුන් කූළීකාරයින් බවට පත් කරන සල්ලිකාර ව්‍යාපෘතිවල මෙවැනි මාධ්‍ය සාකච්ඡුා මේ විදිහට ඉදිරියටත් වෙන එක ගැන මාධ්‍ය සමාජයක් විදිහට අපි දෙපාරක් කල්පනා කරලා බලන්ඩ ඕනෙ දෙයක්.

# ලංකාවේ ලොකුම මූල්‍ය ආයෝජනය නිසා පෙරේදා ජනපතිත් පැමිණ සිටි අතර ප‍්‍රධාන මාධ්‍ය ආයතන 03 ක ප‍්‍රධානීන් සහ රාජ්‍ය මාධ්‍ය වලින් රූපවාහිනී සහ ITN ආයතනයේ ප‍්‍රධානින් පමණක් මෙයට සහබාගී වී තියෙනවා. ජනපති මාධ්‍ය එ්කකයෙන් මේ වන තුරුත් කිසිදු ඡුායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර හෝ ඔවුන්ගේ ජනපති මාධ්‍ය එ්කකයේ වෙබ් අඩවියේ පලකර නැතත් මේ උත්සවයේ ඡුායාරූප අතර ජනපති සහ කැසිනෝ ලොවේ රජවරු සිටින ඡුායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරි සරමින් තිබෙනවා. ඇතැම් අය කියන්නේ ඒක එපා කියද්දි ලීක් කරපු එකක් කියලා. මොකද ජනාධිපති විපක්ෂයේ ඉන්නවිට දැඩි ලෙස කැසිනෝ විරෝධියෙක් වීමත් ජනපති ධූරයට පත් වූ පසු කැසිනෝ රජවරු සමග සිටීමත් පෙන්වමින් ජනපතිගේ ප‍්‍රතිරූපය බිද දැමීමට මෙම උත්සවයේ පිටුපස සිටින නව දේශපාලන සංවිධානයකට අයිති කෙනෙක් ගහපු ගේමක් බව ඇතැමුන්ගේ අදහසයි. එම ඡුායාරූපය එලියට පැමිණ ඇත්තේ නිල ඡුායාරූප ගොන්නට පිටින්. මෙම උත්සවයේ ‘මාධ්‍ය අවධානම් කළමණාකරනය’ ( Media Risk Management Team) සදහා කණ්ඩායමක් පත් කර සිටියත් ඇතැම් රාජ්‍ය ප‍්‍රතිරූප හානිදායක ඡුායාරූප පිටකර ඇති බව දැනගන්නට ලැබෙනවා.

එසේම තවත් වැදගත් කරුණක් වන්නේ අද දින බොලිවුඩ් සුපිරි තරුවක් වන රිතික් රෝෂන්ගේ පැමිණීමේදී ඔහුව රතු පළස් මත පිලිගැනීම ආවරණය කිරිම සදහා දෙස් විදෙස් මාධයවේදීන් හා යූ ටියුබ් නාලිකාවල වාර්තාකරුවන් 80 ක් පමණ පැමිණ සිටි අතර රිතික් රෝෂන් අදාල සීමාව පසුකර ශාලාවට ගිය පසු ආරක්ෂකයින් ඉන් එහාට මාධ්‍යවේදීන්ට පැමිණීම අවහිර කර නැවත හරවා යවා තිබෙනවා. ආරාධනයෙන් පැමිණි මාධ්‍යවේදින් කන්නට බොන්නට නොමැතිව පැය ගණනාවක් බලා සිටි ඇති අතර ඇතැමුන් නැවත හැරී පැමිණ තියෙනවා. බොහෝ වෙලා බඩගින්නේ බලා සිටිය පසු ඇතැම් මාධ්‍යවේදීන් සංවිධායකයින්ට දොස් පවරමින් පැමිණිලි කිරීමෙන් පසු සංවිධායකයින්ගේ “නියෝජිතයෙක්” පැමිණ “ජෝන් කීල්ස්” කැන්ටිමෙන් ආහාර රැගෙන ලබා දුන් බව එහි සිටි මාධ්‍යවේදින්ගෙන් අපට දැනගන්නට ලැබෙනවා.

ලංකාවේ සංචාරක කර්මාන්තය හා ආදායම් ඉපදවීම සදහා ‘‘ජාත්‍යන්තර කැසිනෝ’’ ව්‍යාපාර පැවැත්වීම ආයෝජනයක් වුවද එවැනි කණ්ඩායම් මාධ්‍යවේදීන්ව අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ ඇත්තේ අප‍්‍රසාදයකි. එහි යම් වගකීමක් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ටද ඇති බව මතක් කරන්නට කැමැත්තෙමි.

වෘත්තීය මාධ්‍යවේදීයෙක් විදිහට හා මාධ්‍ය සංවිධාන ක්‍රියාකාරිකයෙක් විදිහට මේවා ගැන නොලියා, විවේචනය නොකර කට වහගෙන හිටියා කියන්නෙ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගෞරවය හෙට මීටත් වඩා පහලට දාන්ඩ බලන් ඉන්න සල්ලිකාර වයාපාරිකයින්ට අනුබල දීමක් හා දැන්වීම් වෙනුවෙන් කොන්ද කඩා ගත් අපේ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්වද අනුමත කිරීමක් වෙනවා.

( ජායාරූප උපුටා ගැනීම : හිටපු 07 වන ජනපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු නිල ජායාරූප ශිල්පී සාරංග ලක්මාල් ඩි මෙල්ගේ ජායාරූපයක් හා සිටි ඔෆ් ඩ්‍රීම් නිල ෆේස් බුක් අඩවියේ නිල ජායාරූපයක්)

FB IMG 1754290703115FB IMG 1754290710950

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here