මහජන ආරක්ෂක අමාත්‍යවරයා මීගමුව , පල්ලන්සේන සිරකඳවුරේ හදිසි නිරීක්ෂණ චාරිකාවක. …

0
37

 

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ  දින (15/08/2026) පෙරවරුවේ මීගමුව, දළුපත, පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී බන්ධනාගාර රැඳවියන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, අධික තදබදය ඇතුළු බන්ධනාගාරය තුළ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, මෙම මාසය තුළ රස පරීක්ෂන වාර්තා 9000 ක් ලබා ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි. මෙම පියවර හේතුවෙන් රැඳවියන් විශාල පිරිසකට ඇප ලබා ගෙන නිදහස් වීමට අවස්ථාව සැලසෙනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

අමාත්‍යවරයා බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් සමඟ සෘජුවම සාකච්ඡා කළ අතර, ඔවුන්ගේ ගැටලු, ආහාර සහ සනීපාරක්ෂක තත්ත්වයන් පිළිබඳවද සොයා බැලීමක් සිදු කලේය. එහිදී රැඳවියන් අමාත්‍යවරයාගෙන් ප්‍රධාන වශයෙන් ඉල්ලා ඇත්තේ රස පරීක්ෂක වාර්තා කඩිනම් කරන ලෙසයි.

අමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ අද දින පල්ලන්සේන බන්ධනාගාරයට පැමිණියේ, විශේෂයෙන් බන්ධනාගාර කමිටුවක් පිහිටුවීමේ අරමුණෙන් බවයි. මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, අධිකරණ අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසින් තමන් ඇතුළු පිරිසක් සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී මෙරට බන්ධනාගාර 33 හී රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා වු බවත් , ඒ අනුව, හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය හැකි කමිටුවක් අද දින පිහිටුවනු ලබන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒ අනුව එම කමිටුව පිහිටුවීමේ
ප්‍රධාන අරමුණ වන්නේද සිරකරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

එහිදී අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් අනාවරණය කලේ බන්ධනාගාර තුළ අධික තදබදයක් පවතින බව රජය පිළිගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සැලසුමක් සකස් කර ඇති බවයි.
මෙහිදී ඒ පිළිබඳව අදහස් පළ කළ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේ පැවසීය. .. “ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මාසය තුළ රස පරීක්ෂක වාර්තා 9000ක් ලබා ගෙන ඒවා අධිකරණ වෙත ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම පියවර පමණක් ප්‍රමාණවත් නොවන බැවින්, අපි සෘජුවම රැඳවියන් රඳවා සිටින වාට්ටු වෙත ගොස් සාකච්ඡා කළා

“අපි ඉදිරි දිනවලදීත් බන්ධනාගාර නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා. හැකි ඉක්මනින් මොවුන් අධිකරණයට ඉදිරිපත් කර, නැවත සමාජයේ යහපත් පුරවැසියන් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා” යැයි අමාත්‍යවරයා එහිදී පැවසීය.

එලෙසම බන්ධනාගාර නිලධාරීන්ගේ ගැටලු පිළිබඳව ද සාකච්ඡා කළ බවත් , බන්ධනාගාර රෝහල පිළිබඳව ද සොයා බැලීමක් සිදු කල බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. රැඳවියන් සමඟ යහපත් සබඳතාවක් ගොඩනැඟුණු බවත්, අධිකරණ අමාත්‍යවරයාගේ වැඩපිළිවෙළ රැඳවියන්ගේ පැසසුමට ලක් වූ බවත්, බාහිර පාර්ශ්වයන් විසින් ප්‍රචාරය කරනු ලබන විවිධ අදහස් පිළිබඳව ද විමර්ශනය කරන බවත් පැවසූ අමාත්‍යවරයා රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් පීඩාවට පත් නොවන ආකාරයට රජය කටයුතු කරන බවත් බන්ධනාගාර තුළ නැවත ගැටලු ඇති නොවනු ඇතැයි විශ්වාස කරන බවද අවධාරණය කළේය. තවද අමාත්‍යවරයා අවසන් වශයෙන් සඳහන් කලේ රජය මේ වන විට සියලු කරුණු නිවැරදි කර ඇති බවයි.
එලෙසම මෙම බන්ධනාගාර කමිටුව පිහිටුවීමේ සාකච්ඡාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමඟින් ගම්පහ දිස්ත්‍රික් අතිරේක ලේකම්, ආසිරි වීරසේකර මහතා, මීගමුව ප්‍රාදේශීය ලේකම් ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් පිරිසක් ද සහභාගි වූහ.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here