මීගමුව බන්ධනාගාර ගැටුමේ සුලමුල සොයා, සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටු අඛණ්ඩව . …

0
40

 

පසුගිය ජූලි 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ සිදුවූ දරුණු ගැටුම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකාර රඳවියන් පසුගිය 22 වැනිදා (22/09/2026) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ හඳුනාගැනීමේ පෙරට්ටු සඳහාය. මේ වනවිටත් රටේම අවධානය දිනාගෙන ඇති මෙම සිදුවීම පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුවෙමින් පවතින අතර, මෙදින අධිකරණයේ සිදුවීම් බොහෝ කරුණු හෙළිදරව් කළේය.

මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මියගේ නියෝග ප්‍රකාරව, වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා ඉදිරියේදී ආවරණය කරන ලද සැකකරුවන් 06 දෙනෙකු හඳුනාගැනීමේ පෙරට්ටු සඳහා ඉදිරිපත් කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙදින මහේස්ත්‍රාත්වරිය හමුවේ කරුණු දක්වමින්, හඳුනාගැනීමේ පෙරට්ටු සඳහා ඉදිරිපත් කිරීමට නොහැකි වූ තවත් සැකකරුවන් 05 දෙනෙකු ඉදිරි පෙරට්ටු දිනයකදී ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටියේය.

තවද, මෙම නඩුවට අදාළ 72 වැනි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2026 සැප්තැම්බර් 21 වන දින මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවත්, අද දින ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කරන බවත් සඳහන් කරන ලදී. කාන්තා සැකකාරියන්ගේ හඳුනාගැනීමේ පෙරට්ටුව සැප්තැම්බර් 29 වන දින පැවැත්වීමට සූදානම් බවද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් අතර, මහේස්ත්‍රාත්වරිය ඒ සඳහා අවසර ලබා දුන්නේය.

මෙම නඩුවට අදාළ සැකකරුවන් හඳුනාගැනීම සඳහා 38 සිට 44 දක්වා නව සාක්ෂිකරුවන් හය දෙනෙකු සාක්ෂි ලැයිස්තුවට ඇතුළත් කිරීමටද අවසර ඉල්ලා සිටියේය. අධිකරණයට ඉදිරිපත් නොවූ 37 වැනි සාක්ෂිකරුට වෙනම සිතාසියක් යවන ලෙසද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය. දෙපාර්ශවයේ එකඟතාවය පරිදි නඩුව නැවත විභාගය සැප්තැම්බර් 29 වන දිනට කල් තබන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී චන්දන කළුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක, උප පොලිස් පරීක්ෂක දුලිත මදුරංග, උප පොලිස් පරීක්ෂක මධුසංක, පොලිස් කොස්තාපල්වරුන් වන දුලංග, ජයසූරිය, බණ්ඩාර, අනිල්, අසේල, සහ හේරත් යන නිලධාරීන් පිරිසක් විසින් වැඩිදුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූහ.

පසුගිය ජූලි 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, 100 කට අධික පිරිසක් තුවාල ලැබූහ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන අතර, පොදු දේපල පනත යටතේ, ගිනි අවි ආඥා පනත යටතේ සහ මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ මෙම නඩු ගොනු කර ඇත. ඒ අනුව මෙම නඩුව එළඹෙන 29 වන දින (29/09/2026) යලි කැඳවීමට නියමිතව ඇත.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here