ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින්, FIFA ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මූල්‍ය ආධාර යටතේ අතිනවීන ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක් මීගමුවේ ඉදිකිරීමට කටයුතු සූදානම් කර ඇති බව මාලිමා ක්‍රියාකාරින් සිය සමාජ මාධ්‍ය පිටු හරහා වාර්තා කර තිබේ..
මෙම ව්‍යාපෘතිය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පසුගිය අගෝස්තු 19 වන දින ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ගේ ප්‍රධානත්වයෙන් මීගමුව මහ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට මීගමුව නගරාධිපති දුලිප් චාමර ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිටි අතර , ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් සහ මීගමුව නාගරික කොමසාරිස් නුවණි සුදසිංහ ද ඒ පිරිස අතර විය.
ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් අවසන් වූ පසු ලෝක මට්ටමේ ජාත්‍යන්තර පාපන්දු තරඟාවලි රැසක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ අවස්ථාව උදා වන බව වාර්තාවේ.
ජාත්‍යන්තර තරඟ පැවැත්වීමත් සමඟ මීගමුව සහ අවට ප්‍රදේශවල හෝටල්, ප්‍රවාහන සහ අනෙකුත් ව්‍යාපාරවලට නව ආර්ථික අවස්ථා උදා වනු ඇත.
නවීන පහසුකම් යටතේ දිස්ත්‍රික් මට්ටමේ සහ ජාතික මට්ටමේ තරුණ පාපන්දු ක්‍රීඩකයින්ට පුහුණු වීමට විශාල අවස්ථාවක් මෙයින් විවර වනු ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් කොළඹින් බැහැර ප්‍රදේශවල ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය දක්වන කැපවීම පිළිබිඹු වන බව නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මෙහිදී අවධාරණය කළේය


















