කිලෝ ගණන් හෂීස් ගෙනා සරසවි සිසුවා අත්අඩංගුවට

0
1531

 

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම හෂීස් මත්ද්‍රව්‍ය තොගය ඊයේ (19/06/2026) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ. කිලෝ ග්‍රෑම් 37යි , ග්‍රෑම් 639 බරැති මෙම හෂීස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් තිස් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් හෙවත් රුපියල් මිලියන 377 ක් පමණ වන බවද වාර්තා විය. මෙම මත්ද්‍රව්‍ය තොගය
23 හැවිරිදි වියේ පසුවන ඩොමිනිකන් රාජ්‍යයේ පුරවැසිභාවය හිමි, එරට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විසින් මෙරටට රැගෙනවිත් තිබේ.


වැඩිදුරටත් වාර්තා වන පරිදි මෙම විශ්ව විද්‍යාල සිසුවා, මෙම හෂීස් මත් ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් ලබාගෙන, ඩුබායි වෙත පැමිණ, එතැන් සිට ඊයේ දින (19/06/2026) රාත්‍රී 11.15 ට පමණ ඩුබාහි සිට මෙරටට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ.648 දරන ගුවන් යානයෙන් , කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබිණි.
එලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි 23 හැවිරිදි මෙම විශ්ව විද්‍යාල සිසුවා, විශේෂ ගුවන් මඟීන් මුදල් ගෙවා පහසුකම් සලසා ගන්නා “ගෝල්ඩ් රූට්” ( Gold Route ) මගී පර්යන්තයේ පහසුකම් ලබාගෙන මෙම හෂීස් මත්ද්‍රව්‍ය තොගය ගුවන්තොටුපලෙන් පිට කරගෙන යෑමට සැලසුම් කළද, එම විශේෂ ගුවන් මගීන්ගේ ගමන් මලු ද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් විසින් ස්කෑන් යන්ත්‍ර පරීක්ෂා කිරීමකට ( Scan Test ) ලක් කිරීම නිසා මෙලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබිණි. එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ කිලෝ ග්‍රෑම් 37 යි, ග්‍රෑම් 639 බරැති මෙම හෂීස් මත්ද්‍රව්‍ය තොගය පැකට් 146 ක් තුළ අසුරා සූක්ෂම ලෙස සඟවා තිබිණි.
මෙලෙස විශාල වටිනාකමක් සහිත හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් පළමු අවස්ථාවක් මෙය වන අතර ඇමරිකන් ඩොලර් 206 ක් වැනි විශාල මුදලක් ගෙවා ” ගෝල්ඩ් රූට් ” ( Gold Route ) විශේෂ ගුවන් මගී පර්යන්තය භාවිතා කරමින් මෙරට තුළට මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒමට භාවිතා කළ පළමු වතාව මෙය බවත් ගුවන්තොටුපළ රේගු නිලධාරී හු පවසති.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවට ගත් හෂිෂ් මත්ද්‍රව්‍ය තොගය සහ එම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ ඩොමිනිකන් ජාතික විශ්ව විද්‍යාල සිසුවා ද කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් වෙත භාර දීමට පියවර ගෙන තිබිණි.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු.

ඡායාරූප .-.
ටී.ජී.කේ. කපිල
(( කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිට ))

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here