ශාන්තුවරයන්ගේ පුරාවෘත්තය”
සෑම වසරකම නොවැම්බර් මස 01 වැනි දිනට යෙදෙන සියලු සාන්තුවරයන්ගේ මංගල්‍යයට (All Saints’ Day) සමගාමීව සහ ලොව පුරා තරුණ පරපුර අතර ජනප්‍රිය වෙමින් පවතින “හැලෝවින්” (Halloween) සංකල්පයට විකල්පයක් ලෙස, සැබෑ ආධ්‍යාත්මික වටිනාකම් සහ ශුද්ධවරයන්ගේ ජීවන පුවත් සිසු දරු දැරියන්ට සමීප කරවීමේ උතුම් වූ අරමුණින්, මීගමුව ලොයෙලා විද්‍යාලය මෙවර සුවිශේෂී ප්‍රදර්ශනයක් සංවිධානය කළේය. “LEGACY OF SAINTS” (ශාන්තුවරයන්ගේ පුරාවෘත්තය) නමින් නම් කර තිබූ මෙම ප්‍රදර්ශනය, අද දින ( 04 /11/2026 ) පෙරවරුවේදී විද්‍යාලීය මධ්‍ය පාසල් ගොඩනැගිල්ලේදී මහත් උත්කර්ෂවත් අයුරින් විවෘත කෙරිණි.
ගරු ආචාර්ය මැක්ස්වෙල් සිල්වා , කොළඹ සහයක රදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව සඳහා මීගමුව කලාපීය අනුනායක ගරු ශාන්ති කුමාර වැලිවිට පියතුමා, මීගමුව දිසා නායක ගරු සාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා, ලොයෙලා විද්‍යාලයේ විදුහල්පති ගරු ආචාර්ය කෙනඩි පෙරේරා පියතුමා සහ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අංශය භාර ගරු මහිම ගුණවර්ධන පියතුමා ද එමෙන්ම අවට පාසල් වල විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, දෙමව්පියන් සහ ලොයෙලා විද්‍යාලයේ මෙන්ම අවට පාසල් වල සිසු දරු දැරියන් පිරිසක් ද එක්ව සිටියහ.
ශාන්තුවරයන්ගේ ජීවිත 16ක්,
ප්‍රදර්ශන කුටි 16කින්
මෙම ප්‍රදර්ශනයේ සුවිශේෂත්වය වන්නේ, කතෝලික සභාව විසින් ශුද්ධවරයට ඔසවනු ලැබූ ශාන්තුවරයන් හා ශාන්තුවරියන් 16 දෙනෙකුගේ චරිතාපදානයන්, ප්‍රදර්ශන කුටි 16ක් ඔස්සේ ඉතා නිර්මාණාත්මකව ඉදිරිපත් කර තිබුණි. විද්‍යාලීය සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සකස් වූ මෙම කුටි තුළ, එම ශාන්තුවරයන්ගේ ළමා කාලය, ඔවුන් ලද ආධ්‍යාත්මික අත්දැකීම්, පවුල් පසුබිම මෙන්ම ඔවුන් ලොවට දායාද කළ දේව පණිවිඩ සහ ප්රාතිහාර්යයන් පිළිබඳව පුළුල් දැනුමක් ලබාගැනීමට පැමිණි පිරිසට අවස්ථාව ලැබුණි.
විශේෂයෙන්ම, ඡායාරූප, චිත්‍ර සහ ප්රක්ෂේපන යන්ත්‍ර මගින් පමණක් නොව, විද්‍යාලීය දරු දැරියන් විසින් ශාන්තුවරයන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් සජීවීව රඟදැක්වීම ද ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අයගේ නොමඳ අවධානය දිනාගත්හ.
කැපී පෙනෙන චරිත සිතුවම්
ප්‍රදර්ශනයේ කුටි අතරින් කිහිපයක් විශේෂ අවධානයක් දිනා ගත්තේය. ලොව ප්‍රකට ශාන්තුවරයෙකු ලෙස සැලකෙන ,ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ , ඉතාලියේ පාදුවා නගරයේ පිහිටි බැසිලිකාවේ (Pontifical Basilica of Saint Anthony of Padua) ඇති උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති ආකාරය දැක්වෙන අනුරුවක් සහිත ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිතුමාගේ චරිතාපදාන ප්‍රදර්ශන කුටිය ඉතා සිත්ගන්නා සුළු ලෙස ඉදිරිපත් කර තිබුණි.

එමෙන්ම ක්‍රිස්තු වර්ෂ 03 වන සියවසේදී පැරණි රෝම අධිරාජ්‍යයට අයත් රෝමයේ ධනවත් රදළ පවුලක උපත ලබා, එහිදීම කිතුනු ඇදහිල්ල උදෙසා ප්‍රාණපරිත්‍යාගී වූ කතෝලික සභාව තුළ සංගීතයට සහ සංගීතඥයන්ට අධිපති ශුද්ධවන්තිය ( Patron Saint of Musicians and Music) ලෙස ගෞරවයට පාත්‍ර ව සිටින ශාන්ත සිසිලියා මුනිතුමියගේ චරිතාපදානය සහිත කුටියද මෙහිදී සුවිශේෂ කුටියක් ලෙස හඳුන්වා දිය හැකිය.
එලෙසම 1651 වසරේ අප්‍රේල් 21 වන දින ඉන්දියාවේ ගෝවේ සැන්කෝලේ (Sancoale) ග්‍රාමයේ උපත ලබමින් 1676 දී පූජකවරය ලබා ලන්දේසි පාලන සමයේදී මෙරට අඩපණ වී තිබූ ලක් කිතු සසුන නැවත නගාසිටුවීම සඳහා කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ, “ලක්දිව අපෝස්තුළුවරයා” ලෙස හැඳින්වෙන සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශුද්ධවන්තයා ලෙස ප්‍රකට ශුද්ධවු ජුසේවාස් මුනිඳුන්ගේ ප්‍රදර්ශන කුටිය ද විශේෂ වැදගත්කමකින් යුත් ප්‍රදර්ශන කුටියක් ලෙස හැඳින්විය හැක. උන්වහන්සේ මෙරටට පැමිණ මන්නාරම ප්‍රදේශයෙන් ඇරඹු එම දහම් මඟ පිළිබඳව මනා දැනුවත් වීමක් එම ප්‍රදර්ශන කුටිය තුළින් ලබාගත හැකි විය.
තවද ,1910 අගෝස්තු 26 වන දින මැසිඩෝනියාවේ ස්කොප්ජේ (Skopje) නගරයේ, ඇග්නස් ගොන්ක්සා බෝජක්සියු (Anjezë Gonxhe Bojaxhiu) ලෙස උපත ලබා වයස අවුරුදු 18 දී අයර්ලන්තයේ “ලොරේටෝ කන්‍යාරාමයට” ඇතුළත් වෙමින් කන්‍යා සොහොයුරියක් බවට පත්ව පසුව ඉන්දියාවට පැමිණ කල්කටාවේ (කොල්කටා) පැල්පත්වාසීන්ගේ දුප්පත්කම සහ අසරණකම දැක ,දැඩි සේ කම්පාවට පත් ව, 1948 දී කන්‍යාරාමයෙන් ඉවත් වී වීදි පුරා සිටි අනාථ, සහ විශේෂයෙන්ම ලාදුරු රෝගයෙන් මියයමින් සිටි අසරණ ජනයාට සේවය කර 1979 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන්ද, 1980 දී ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන “භාරත් රත්න” සම්මානයෙන් ද පිදුම් ලබා, ස්වර්ගස්ථ වීමෙන් පසු, 2016 සැප්තැම්බර් 04 දින ශුද්ධවන්තියක ලෙස නම් කල ලෝක පූජිත වූ ශුද්ධ වූ තෙරේසා මව්තුමියගේ ජීවන තොරතුරු ඇතුළත් කුටිය, මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිස් වෙත මනා අවබෝධයක් ලබා දුන්නේය.
මෙම ප්‍රදර්ශනයට පැමිණි සැම වෙනුවෙන් එම ශාන්තුවරයන්ගේ තතු විත්ති ඇතුළත් පොත් පිංචක් නොමිලේ ලබාදීමට ද සංවිධායකයන් කටයුතු කර තිබීම ප්‍රසංශනීය වේ.
“හැලෝවින්” වෙනුවට “හෝලි වින්”
(Holy Win)
මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන සංවිධායකවරයා වන ලොයෙලා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අංශය භාර ගරු මහිම ගුණවර්ධන පියතුමා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ හැලෝවින් ” වෙනුවට ” හෝලි වින් ” යන ආකල්පය පෙරදැරිව ,අධ්‍යාත්මිකව දරුවන් පෝෂණය කිරීම මුඛ්‍ය පරමාර්ථය බවට පත්කර ගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කළ බවයි.
ඒ අනුව මෙම සුවිශේෂී ප්‍රදර්ශනය සවස් කාලය දක්වාම පැවැති අතර මෙම ප්‍රදර්ශනය, දරුවන්ට සිය ඇදහිල්ල පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දුන් ප්‍රදර්ශනයක් මෙන්ම ආදර්ශවත් ජීවිතාදර්ශ තුළින් සමාජයට යහපත් පණිවිඩයක් ලබා දුන් මා හැඟි වැඩසටහනක් ලෙස ද හඳුන්වා දිය හැකිය.
(( මීගමුව, ලොයෙලා විද්‍යාලයේ ගුරුභවතෙකු ලෙස සේවය කරන ආචාර්ය මෙරිල් පීරිස් මහතාට අපගේ විශේෂ ස්තුතියි පළ කරමු. ))
සටහන සහ ඡායාරූප .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු



























