ඡායාරූප කලාවේ විශිෂ්ටත්වය සැමරූ “ලෝක ඡායාරූප දින” ජාතික උළෙල මෙවර වැලිසරදී . …..

0
376

 

සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය සහ ගම්පහ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ අනුග්‍රහයෙන්, 14 වැනි වරටත් සංවිධානය කරන ලද “2026 ලෝක ඡායාරූප දින” ජාතික සැමරුම් උත්සවය අද දින (18/08/2026) පෙරවරුවේ වැලිසර “වේව් ඇන්ඩ් ලේක්” හෝටලයේ ප්‍රධාන ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පිහිටුවා ගෙන ඇති දිස්ත්‍රික් ඡායාරූප ශාලා හිමියන්ගේ සංගම්වල විශාල සාමාජික පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී විය. තවද, උසස් රාජ්‍ය නිලධාරීන්, මෙරට ප්‍රකට ව්‍යාපාරික ආයතන හිමිකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.

ලොව ප්‍රථම ඡායාරූපය ගෙන වසර 200 ක් සපිරීම නිමිත්තෙන් එම සුවිශේෂී සැමරුම පාදක කර ගනිමින්,සමස්ත ලංකා වෘත්තීය ඡායාරූපශාලා හිමියන්ගේ සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලෝක ඡායාරූප දින ජාතික උත්සවය මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට තීරණය කරන ලදී. ඒ අනුව, මෙම වැඩසටහන වැලිසර ප්‍රදේශයේදී අද දින පෙරවරුවේ සිට සවස දක්වා පැවැත්විණි.

මෙම උත්සවයේදී ලොව ප්‍රථම ඡායාරූපය, ඡායාරූපයට නගා වසර 200ක් පිරීම සැමරීම වෙනුවෙන් සහ ලෝක ඡායාරූප දින” ජාතික උළෙල සැමරීම සඳහා
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීමද සිදු විය. එහිදී, එම සමරු මුද්දරය සහ මුල් දින කවරය ප්‍රථමයෙන්ම විජිත හේරත් අමත්‍යවරයාට පිරිනැමීණි.

උත්සවය අමතා අදහස් දැක්වූ විජිත හේරත් අමාත්‍යවරයා, වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ට දැනට මුහුණ දීමට සිදුව ඇති ගැටලු සහ වෘත්තියේ පැවැත්මට බලපාන කරුණු සාකච්ඡා කිරීම සඳහා නුදුරේදීම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට තමන් මැදිහත්වන බව ප්‍රකාශ කළේය. හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර සඳහා ඡායාරූප ලබාදීමේ පහසුකම නැවත ඡායාරූප ශාලාවලට ලැබී ඇති බවත්, එය ද විශාල අභියෝගයන්ට මුහුණ දී ලබාගත් ජයග්‍රහණයක් බවත් අමාත්‍යවරයා පැවසීය. එලෙසම, නව රියදුරු බලපත්‍ර සඳහා ඡායාරූප ලබාගැනීමේදී ඡායාරූප ශාලාවලට මේ වන විට යම් අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇති බව දැන ගන්නට ලැබුණු බවත්, එම අභියෝගයද ජයග්‍රහණය කිරීමට තමන් ඉදිරියේදී මැදිහත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. ඡායාරූපයක් යනු අපගේ ඉතිහාසය අනාගතයට රැගෙන යන්නක් බවත්, තාක්ෂණයත් සමඟ කැමරාවත්, ඡායාරූපකරණයත් වෙනස් වන අතරම නවීන ලෝකයේ ඩිජිටල්කරණය සහ ඒ හරහා සැදි ඒ. අයි. (AI) තාක්ෂණය වැනි තවත් නවීන සහ තියුණු තාක්ෂණික ක්‍රම අනාගතයේදී කැමරාවට එකතු වන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එලෙසම වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගෙන් මානව සංහතියට සිදුවන අනගිභවණීය වු සේවාව පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී, මෙලෙස අදහස් පළ කළේය.
“” මේ හැම තාක්ෂණික දියුණුවකින්ම අවසානයේ නිරූපණය කරන්නේ මේ අපේ ජීවිතය, අපේ පවුල , අපේ ජීවන රටාව, අපේ සංස්කෘතිය, ඒ වගේම අපේ සතුටුදායක අවස්ථාවන්, දුක්බර අවස්ථාවන්,ශෝචනීය අවස්ථාවන්, මේ සියල්ලම ඔබේ කැමරා කාචයේ සටහන් වෙනවා.ඒවා ඉතිහාසයේ සාක්ෂි විදිහට ගැනෙනවා.මනුෂ්‍ය ජීවිතය සදාකල් පවතින්නේ නැහැ. මනුෂ්‍ය ජීවිතය යම් කෙටි කාලයක් තුළ අවසන් වෙනවා. හැබැයි ඔබ, ඔබේ දෑතින් ගත්ත ඡායාරූපය චිරාත් කාලයක් විරාජමානව පවතිනවා. ඒ ඡායාරූපය තමයි , ඉතිහාසය පිළිබඳව සාක්ෂි දරන්නේ. අද ඔබ ගන්න ඡායාරූපය අනාගතයේ සාක්ෂියක් බවට පත්වෙනවා. හෙට බිහිවෙන අනාගත පරම්පරාව ඔබේ දෑතින් ගත්ත ඡායාරූපය ඒ ඓතිහාසික වටිනාකමත් එක්ක පාවිච්චි කරනවා. එය ඓතිහාසික උරුමයක් විදිහට භාවිතා කරනවා. ඒ අතින් ගත්තහම ඔබ මේ සමස්ත මානව සමාජය වෙනුවෙන් කරන ලද සේවාව වචනයෙන් විස්තර කරන්න බැහැ. වචනයේ පරිසමාස්ථ අර්ථයෙන්ම එම සේවාව අනගි භවනීයයි.”” යනුවෙන් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
අවසාන වශයෙන්,අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වෘත්තීය ඡායාරූපකරණය මෙරට අභිමානවත් වෘත්තියක් බවත්, එම වෘත්තියේ ගෞරවය ආරක්ෂා කිරීමට තම රජය කැපවී කටයුතු කරන බවයි.

මෙම උත්සවයේදී ගම්පහ දිස්ත්‍රික් ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ හිටපු සභාපතිවරුන් සහ ලේකම්වරුන් ඇතුළු එම සංගමයේ හිටපු ඉහළ ධූරයන් හෙබවූ සාමාජිකයන් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීමක්ද සිදු විය. ඒ අනුව, 2014 වසරේ සිට 2017 වසර දක්වා පුරා වසර 03ක කාලයක් එම සංගමයේ ආරම්භක සභාපති ධූරය හෙබවූ මීගමුවේ ප්‍රකට ඡායාරූප ශාලාවක් වන ඩිනාලි ස්ටුඩියෝ හී අධිපති සරත් විජේරත්න මහතාට විජිත හේරත් අමාත්‍යවරයා විසින් මෙහිදී විශේෂ සම්මානයක් පිරිනමන ලදී.

මෙම උත්සවයට සමගාමීව, වෘත්තීය ඡායාරූප ශාලාවලට සහ වෘත්තීය ඡායාරූප ශිල්පීන්ට අවශ්‍ය වන නවීන තාක්ෂණයෙන් යුත් කැමරා, කැමරා ආම්පන්න, උපකරණ, ඡායාරූප මුද්‍රණ යන්ත්‍ර, ඡායාරූප රාමු ඇතුළු එම වෘත්තියට සහ කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපකරණ මෙන්ම එම සේවාවන් සපයන වෙළඳ ආයතනවල විශේෂ අලෙවි කුටි ගණනාවකින් සමන්විත වන ජාත්‍යන්තර මට්ටමේ අලෙවි ප්‍රදර්ශනයක් ද උත්සව ශාලා පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබිණි. මෙම ප්‍රදර්ශන පරිශ්‍රය තුළ, ඡායාරූප රාමු කිරීමේ සේවාව වඩාත් විධිමත්ව සහ ආකර්ෂණීයව සිදු කරමින් දශක ගණනාවක් පුරා ඉහල පාරිභෝගික විශ්වාසය දිනාගත් මීගමුව පුරවරයේ ප්‍රකට ඡායාරූප ශාලා 02 ක් වන ඇපලෝ ස්ටුඩියෝ සහ ඩිනලී ස්ටුඩියෝ හි අලෙවි කුටි 02 ක්ද මෙම අලෙවි ප්‍රදර්ශන පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබෙනු දැකගත හැකි විය.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here