ඥාතීන් නොමැති අවසන් ගමන ….

0
42

 

මීගමුව බන්ධනාගාර ගැටුමේදී මියගිය ඉන්දීය ජාතික රැඳවියාගේ දේහය මිහිදන් කෙරේ. …

පසුගිය ජුලි මස 05 සහ 06 යන දෙදින තුල මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී ජීවිතක්ෂයට පත් වූ ඉන්දීය ජාතික රැඳවියෙකු වන අම්නිතන් සරත් චන්ද්‍රන් (UMNITHAN SARATH CHANDRA) නැමැත්තාගේ මෘතදේහය, අධිකරණයෙන් ලද නියෝගයකට අනුව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත, මීගමුව මහා නගර සභාවට අයත් මඤ්ඤොක්කාහේන පොදු සුසාන භූමියේදී පසුගිය සැප්තැම්බර් 02 වැනි දින (02/09/2026) විශේෂ ආරක්ෂාවක් යටතේ මිහිදන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දෙනු ලැබුවේ මීගමුව බන්ධනාගාරයේ සිදු එම ගැටුම සම්බන්ධයෙන් වන නඩුකරයට අදාළව තවත් එක් නඩු විභාගයක්, පසුගිය සැප්තැම්බර් 08 වැනි දින (08/09/2026) මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ, මියගිය රැඳවියා හැඳ සිටි ඇඳුම සහ පාවහන් යුගලය රස පරීක්ෂක වාර්තාවකට යැවීම සඳහා නඩු භාණ්ඩ ලෙස අධිකරණයට භාර දෙන බවයි. එමෙන්ම,එම මෘතදේහය රජයේ වියදමින් මිහිදන් කළ බවද එම නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්හ.

මෙම ඉන්දීය ජාතික රැඳවියාගේ මෘතදේහය මිහිදන් කිරීම සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය අගෝස්තු 28 වැනි දින මීගමුව මහා නගර සභාවේ නගරාධිපතිවරයාටද නියෝගයක් නිකුත් කර තිබුණි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ එම ගැටුම සම්බන්ධ නඩුකරයට අදාළව තවත් එක් නඩු විභාගයක් පසුගිය අගෝස්තු 28 වැනි දින යලි කැඳවනු ලැබූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකර ඇති සහ තවදුරටත් සිදුවෙමින් පවතින විමර්ශන කටයුතු පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් විශේෂ කරුණු දැක්වීමක් සිදුකර තිබුණි.

එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, මියගිය මෙම ඉන්දීය ජාතිකයාගේ මෘතදේහය හඳුනා ගැනීම සඳහා ඥාතීන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය පසුගිය අගෝස්තු 25 වැනි දින ඊ-මේල් පණිවිඩයක් මගින් දැනුම් දී ඇත්තේ මියගිය ඉන්දියානු ජාතිකයාගේ ඥාතීන් නොමැති බවයි. එම ඊ-මේල් පණිවිඩයද එම නිලධාරි විසින් එදින අධිකරණයට ඉදිරිපත් කරමින්, ඉල්ලා සිටියේ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මීගමුව අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

තවදුරටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් එදින අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ආණ්ඩුවේ වියදමින් මෙම ඉන්දීය ජාතිකයාගේ මෘතදේහය මීගමුව පොදු සුසාන භූමියේ, මීගමුව මහා නගර සභාවේ නගරාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ මිහිදන් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත්, එලෙසම මෘතදේහය භූමදානය කරන ස්ථානය පිළිබඳ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සහ අධිකරණයට ලබා දෙන ලෙසටද, මීගමුව මහා නගර සභාවේ නගරාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

පසුගිය ජූලි 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ එම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 100 කට අධික පිරිසක් එම ගැටුමෙන් තුවාල ලැබූහ.

සටහන.-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here