මීගමුව, මාරිස් ස්ටෙල්ලා ශිෂ්‍ය නායකයන්ගෙන් මීගමුව වෙරළට නව ජීවයක්. ..

0
155

 

ශතවර්ෂයක අභිමානවත් සංවත්සරය සනිටුහන් කීරීමට සැරසෙන, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ශිෂ්‍ය නායක සංගමය ඊයේ දින (22/08/2026) පෙරවරුවේ මීගමුව වෙරළ තීරයේ දැවැන්ත පවිත්‍රතා වැඩසටහනක් සාර්ථකව සංවිධානය කර තිබිණි. 1927 සිට 2027 දක්වා දිවෙන ඔවුන්ගේ සියවසක ගමනට සමගාමීව සංවිධානය වූ මෙම වැඩසටහන, මීගමුව වෙරළ තීරය ආශ්‍රිත එම වෙරළ පරිශ්‍රයට නව ජීවයක් ලබා දෙමින්, ප්‍රජා සේවයේ විශිෂ්ටත්වය යළි යලිත් සමස්ත සමාජයටම පසක් කළහ.

ඊයේ දින උදෑසන සිට එනම් පෙ.ව. 6:30 සිට පෙ.ව. 10:30 පමන කාලය දක්වා පැවති මෙම පාරිසරික මෙහෙයුම, මීගමුවේ ගෝල්ඩි සෑන්ඩ්ස් හෝටල් වෙරළ කලාපයේ සිට මීගමුව වෙරළ උද්‍යානය (බීච් පාර්ක්) දක්වාත්, පෝරුතොට වෙරළ පරිශ්‍රය දක්වාත් විහිදුණු කිලෝමීටර 2.5 ක මුහුදු වෙරළ තීරයක් ආවරණය කළේය. මෙම වැඩසටහනේ පූර්ණ සංවිධානය සහ මෙහෙයවීම මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ශිෂ්‍ය නායක සංගමය විසින් සිදු කල අතර අභිමානවත් වසර 100 කට ආසන්න කාලයක් ශිෂ්‍ය ප්‍රජාවට නායකත්වය දෙමින්, ප්‍රජා කේන්ද්‍රීය ක්‍රියාකාරකම් හරහා කැපී පෙනෙන සේවාවක් ඉටු කරන මෙම සංගමය, තම අඛණ්ඩ කැපවීම සහ නායකත්ව හැකියාව මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන මඟින්ද මනාව ප්‍රදර්ශනය කළේය. වෙරළ පවිත්‍රතා වැඩසටහන සැලසුම් කිරීම, සම්බන්ධීකරණය, සහ ක්‍රියාත්මක කිරීමේ පූර්ණ වගකීම එම සංගමය භාරගත් අතර, එය පරිසරයට සහ සමස්ත මීගමුව ප්‍රජාවට දිගුකාලීන ප්‍රතිලාභ අත්කර දීම අරමුණු කර ගත් වැඩසටහනක් විය.

මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහනේ මූලික අවධානය යොමු වූයේ ජෛව ක්‍රියාවලියකට නතු නොවී දිරාපත් නොවන අපද්‍රව්‍ය මීගමුව වෙරළ තීරයෙන් හා එම පරිසරයෙන් ඉවත් කිරීමයි. දේශීය වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම සහ මුහුදු වෙරළ පරිසර පද්ධතියේ වැදගත්කම පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීම ද මෙහි ප්‍රධාන අරමුණක් විය. එලෙසම, මෙවන් පවිත්‍රතා වැඩසටහන් සඳහා මහජන සහභාගීත්වය වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම සහ ප්‍රජාවන් බලමුලු ගැන්වීම ද මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරිණි.

පොදු ජනතාව වෙත විවෘත වූ මෙම පවිත්‍රතා වැඩසටහන සඳහා විශාල පිරිසක් සහභාගී වූහ. තවද ආවේ මරියා, නිවුස්ටෙඩ් , ශාන්ත පීතර, හරිස්චන්ද්‍ර , විද්‍යාලංකාර සහ ලොයෙලා වැනි මීගමුවේ සහ මීගමුව අවට පිහිටි පාසල් 21 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ශිෂ්‍ය නායකයින් 360 කට වැඩි පිරිසක් මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහනට එක් වූහ. මීගමුව අවට ප්‍රදේශවාසීන් සහ ස්වේච්ඡා සේවකයින් ද විශාල වශයෙන් මෙම වැඩසටහනට දායක වූ අතර, වෙරළ තීරයේ සහ එම පරිශ්‍රයේ තිබූ කැලි කසල මෙන්ම ෂොපින් බෑග්, ලන්ච් ෂීට්, පොලතින් සහ ප්ලාස්ටික් බෝතල් වැනි දිරා නොයන අපද්‍රව්‍ය ඉවත් කිරීමට මේ සියලු දෙනා සක්‍රීයව දායක වූහ.

මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන සඳහා මාරිස්ස්ටෙලා විද්‍යාලයේ වත්මන් විදුහල්පති ගරු සුනන්ද ද අල්විස් සහෝදර තුමා, එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් සහ හිටපු ශිෂ්‍ය නායකයෙකුද වන වත්මන් මීගමුව නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වුහ. එලෙසම මීගමුව, ඒත්තුකාල ගෝල්ඩි සෑන්ඩ්ස් හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂක එරික් සූරියසේන මහතා ද වැඩසටහනේ සමාරම්භය සඳහා සහභාගී වූ අතර, ගෝල්ඩි සෑන්ඩ් හෝටලය විසින් මෙම වැඩසටහනට විශේෂ අනුග්‍රහයක් ද ලබා දී තිබුණි. එලෙසම මීගමුවේ ප්‍රකට සංචාරක හෝටල් වන ජෙට් වින්ග්ස් සහ හෙරිටන්ස් යන හෝටල් ද මේ සදහා විශේෂ අනුග්‍රහකත්වයක් ලබා දී තිබිණි.

එමෙන්ම, රජය මගින් ක්‍රියාත්මක වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන මගින් ද මෙම පවිත්‍රතා වැඩසටහන සඳහා විශේෂ සහයක් ලැබුණු අතර, එහි නිලධාරීහු කිහිපදෙනෙකු ද මෙම වැඩසටහනට සහභාගී වූහ. මීගමුව මහා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චමින්ද කුමාර මහතා, මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න මහතා, මහා නගර සභා සෞඛ්‍ය සේවකයින්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, මීගමුව සංචාරක පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්, සහ මාරිස්ස්ටෙලා විද්‍යාලයේ මෙන්ම තිඹිරිගස්කටුව මාරිස්ටෙල්ලා ශාකා විද්‍යාලයේ ගුරුවරුන් හා කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මෙම දැවැන්ත වෙරළ පවිත්‍රතා වැඩසටහනට සිය දායකත්වය ලබා දුන්හ.

මාරිස්ස්ටෙලා විද්‍යාලයීය ශිෂ්‍ය නායක සංගමය විසින් සංවිධානය කරන ලද මෙම දැවැන්ත මුහුදු වෙරළ පවිත්‍රතා වැඩසටහන, ඔවුන්ගේ සියවසක නායකත්වයේ පරිණතභාවය මෙන්ම, පරිසරය සුරැකීම සඳහා ඔවුන් දක්වන අසීමිත කැපවීම ද මනාව පිලිඹිබු කරයි. මෙමගින් මීගමුව වෙරළ තීරයේ සුන්දරත්වය තවදුරටත් ආරක්ෂා කිරීමටත්, පිරිසිදු පවිත්‍ර මුහුදු වෙරළ පරිශ්‍රයක ඇති වැදගත්කම පිළිබඳව සමාජය දැනුවත් කිරීමටත් හැකි වනු නොවනුමානය .

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here