අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?

0
100

 

මීගමුව කට්ටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ප්‍රසිද්ධ හෝටලයක් වන “අන්සාර් හෝටලයේ” කෝකියෙකු ( ආප්ප බාස් ) ලෙස වසර ගණනාවක් සේවය කළ අරුනාචලම් කර්නන් නමැත්තා පසුගිය 05 වැනි බ්‍රහස්පතින්දා දින ( 05/03/2026 ) රාත්‍රී මීගමුව මහා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

එදින සවස ඔහු විසින්ම මීගමුව මහා රෝහලට පැමිණ රෝහල් ගත වී ඇත්තේ ඔහුට කලන්තය සහ කැරකිල්ල ගතිය නිසා ඇති වූ අසනීප තත්ත්වයක් මතය.

වැඩිදුරටත් වාර්තා වන පරිදි ඔහු රෝහල් ගත වී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු රෝහලට ඇතුලත් වීමේදී මරණයට පත්වීමට තරම් බරපතල අසනීප තත්ත්වයක් ඔහුට ඇති බවට වෛද්‍යවරුන්ට ඔහු විසින් ප්‍රකාශ කර නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් මීගමුව රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් කරන ලද පරික්ෂනයෙන් පසු මීගමුව හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතාට දන්වා ඇත්තේ මෙම මරණය සැක කටයුතු මරණයක් බවයි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ,මීගමුව රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් එම මෘතදේහය පරීක්ෂා කිරීමේදී හිස ප්‍රදේශයේ තදබල පීඩනයකින් සිදු වූ තැලීම් නිසා හිසට තුවාල සිදුවී ඇති ආකාරය නිරීක්ෂණයට ලක්වී තිබේ.

ඒ නිසා මෙය සැක කටයුතු මරණයක් ලෙසට අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් නිගමනය කර තිබේ.

ඒ අනුව මීගමුව හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා විසින් මීගමුව පොලිසියට නියෝග කර ඇත්තේ මෙම මරණය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු බවයි.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ අද දිනයේ (07/03/2026) එම විමර්ශනය පැවැත්වීමට නියමිතව ඇති බවයි.

වැඩිදුරටත් වාර්තා වන පරිදි මෙලෙස සැක කටයුතු ලෙස මියගිය අරුනාචලම් කර්නන් නමැත්තා 61 හැවිරිදි තිදරු පියෙකි.

ඔහු රක්වාන, පුංචි වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකි. ඔහු වසර ගණනාවක් සිය බිරිඳගෙන් සහ දරුවන්ගෙන් වෙන්ව ,මීගමුව ප්‍රදේශයේ.එනම් මීගමුව අන්සාර් හෝටලයේ රැකියාව කරමින් සිට ඇති බවද වාර්තා වුණි

ඒ අනුව වසර 15 ක පමන කාලයක් තිස්සේ මීගමුව අන්සාර් හෝටලයේ කෝකියෙකු ලෙස එනම් ආප්ප බාස් කෙනෙකු ලෙස ඔහු සේවය කර තිබේ. දැනට වසර 03 කට පමණ පෙර ඔහු නැවත සිය බිරිඳ සහ දරුවන් සමඟින් සමගි වී ඔවුන් සමග සබඳතා පවත්වාගෙන ගොස් තිබේ. ඔහු නවාතැන් ගන්නේද එම හෝටලයේම කොටසක හෝටල් සේවකයන් වෙනුවෙන් සකසා දී ඇති කාමරයක් තුළය.

එලෙසම වැඩිදුරටත් වාර්තා වූයේ ඔහු සමග හෝටලයේ සේවය කරන කිසිවෙකු හෝ ඔහු අනතුරකට ලක් වූවාද නොවෙසේ නම් ඔහු යම් රෝගී තත්ත්වයකින් පෙළුනාදැයි කිසිවක් නොදැන සිටීමයි.

එලෙසම ඔහුගේ හිස ප්‍රදේශයේ තැලුම් තුවාල ඇති බව හෝ එම තැලුම් තුවාල සිදුවූ ආකාරය පිළිබඳව හෝ ඔහු විසින් රෝහල් ගත වීමේදී වෛද්‍යවරුන්ට පවසා නොතිබුණු බවද වාර්තා වුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here