මඩකලපුවේ මංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිනම ICCPR පනත යටතේ අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ලැබී තිබෙනවා. ඒ අනුව 2025 දෙසැම්බර් 8 වැනිදා මෙම නඩුව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතයි
යම් කෙනකුට හිතෙන්න පුළුවන් “ඇයි මේ එක පාරට එයාට මෙහෙම කරන්නෙ? දේශපාලන පළිගැනීමක්ද?, දින කිහිපයකට පෙර මඩකළපුවේ සිදු වෙච්ච සිදුවීම් වලට මේක සම්බන්ධයිද” කියලා. සමහර විට හෙට ඇතැම් දේශපාලඥයන්, සංවිධාන, පුද්ගලයන් මේ ගැන කතා කරයි. මේක අර පුරාවිද්‍යා සිද්ධීන් එක්ක එකතු කරලා කතාවක් හදයි. මේක දේශපාලන පළිගැනීමක් කියලා කියයි.
නෑ!! මේක පළිගැනීමක් හෝ එකපාරට වෙච්ච සිද්ධියක් නෙමෙයි. 2023 සිදු කරන ලද පැමිණිල්ලකට අනුව තමයි අද නීතිපති මේ නියෝගය දීලා තියෙන්නෙ. අප ප්‍රශ්න කළ යුත්තේ ඇයි මෙතරම් ප්‍රමාද? කියන කාරණාව විතරයි.
මේ 2023 විවිධ තර්ජන මැද්දේ ‘අනිද්දා’ පුවත්පතට මේ සිද්ධිය සම්බන්ධයෙන් ලියපු ලිපිය.
——————————————-
(2023 – 11 – 19 / අනිද්දා)
🛑 අම්පිටියේ සුමන හිමි ඉන්නේ නීතියටත් පොලිසියටත් උඩින්ද
// වෛරීය ප්‍රකාශ කළ අය වෙනුවට පොලිසිය වාර්තා කළ මාධ්‍යවේදීන් පසුපස පන්නයි //
ශ්‍රී ලංකාවේ තිබෙන නීතීන් බැලූ බැල්මට සර්ව සාධාරණ හා යුක්ති සහගත ලෙස පෙනුනද ඒවා ක්‍රියාත්මක කරනුයේ එසේමදැයි ශ්‍රී ලංකාවේ ජනතාවට විශාල කුකුසක් ඇත. එයට සාක්ෂි සපයන හොදම නිදර්ශකය වන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් (ICCPR) පනතයි.
පහුගිය කාලය මුළුල්ලේ මෙම පනත භාවිතා කළේ ආණ්ඩු විරෝධීන් හෝ දේශපාලනික වශයෙන් විරුද්දත්වයක් දරන්නාවූ පිරිස් මර්දනය කිරීම සඳහා බවට පෙනෙන්නට තිබුණු කරුණු හේතුවෙනි. මෙය හුදු හිතළුවක් නොවන බවට සනාථ වන්නේ පසුගිය කාලය පුරාවටම මේ පනත පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබී තිබූ පැමිණිලි රාශියද හේතුවෙනි.
නීතීන් තමන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක කරවීම එසේ නොමැති නම් යුක්තිය අයුක්ති සහගත ලෙස ක්‍රියාත්මක කරවීම රාජපක්ෂ සමයේ සිට ආරම්භ වූවක්යයි යමෙකු ප්‍රකාශ කරන්නේ නම් එය අතිශෝක්තියක් නොවේ. රාජපක්ෂ ආණ්ඩුවේ ඝාතන, පැහැරගෙනයාම් සහ පහරදීමේ සංස්කෘතියට පසු යහපාලන ආණ්ඩුවත් ඊට පසුව පැමිණි දෙවන රාජපක්ෂ රජයත් මර්ධනයට භාවිතා කළේ මේ කියන්නාවූ (ICCPR) පනතයි. එය කුමන කරුණු මත සම්මත වුවද එය ශ්‍රී ලංකාවේ භාවිතා වූයේ සැබවින්ම පුද්ගලයන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සඳහායි. ඉතිහාසයේ මෙයට කෙතරම් උදාහරණ තිබුණද අපි එයින් උගත්තක් නොමැත. මෙයට පෙන්වාදියහැකි ආසන්නතම සිදුවීම නම් අම්පිටියේ සුමන හිමියන් සම්බන්ධ ක්‍රියාවලියයි.
👉 අම්පිටිය සුමන හිමිගේ අ යනු ආ යනු ගැලපෙන්නෙ මෙසේය.
අම්පිටිය සුමන හිමියන් විසින් ඉකුත් ඔක්තෝබර් 25 වැනිදා මඩකලපුව ජයන්තිපුර ප්‍රදේශයේ සිංහල ජනතාව මිහිදන් කර ඇති සුසාන භූමිය මඩකලපුව මහනගර සභාව විසින් ‘හිතාමතාම’ විනාශකර දමා ඇති බවට මඩකලපුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඉන්පසුව ඔහු සමාජ මාධ්‍ය හරහා ඔහුගේ මවගේ සොහොන ඇතුළු තවත් සොහොන් විශාල ප්‍රමාණයක් මහ නගර සභාව විසින් කඩා ඇති බවට චෝදනා කළේය. “දකුණේ ඉන්න හැම දෙමළෙක්ම කප කපා සිංහලයෝ මැරෙනවා” යනු තර්ජනාත්මක ප්‍රකාශය ද සිදු කරන්නේද එම අවස්ථාවේදීය.
ඔබ මදක් සිතන්න. මෙවැනි සිදුවීමක් ගාලුමෝදර අරගලයේදී හෝ එසේත් නොමැති නම් ඊට ආසන්නතම හෝ ඊට අනුබද්ධිත සිද්ධියකදී සිදුවූවා නම් තත්ත්වය කෙසේ වනු ඇත්ද ?
පාර අයිනට වී බෝඩ් ලෑල්ලක් උස්සගෙන සිය අව්‍යාජ විරෝධය පෑ තරුණ තරුණියන් බස්රථ වලට පොලිසිය කුදලාගෙන ගියත් මේ අම්පිටියේ සුමන හිමියන්ට එවැනි තත්ත්වයක් උදා නොවීම පිළිබඳව රටේ ජනතාව සිතන්නේ කෙසේද ?
විරෝධතාවයන් වලට පොලිසිය පැමිණ පහරදී එය එළවා දැමීමත් එයට බාධා කිරීමත් අම්පිටියේ සුමන හිමියන්ගේ සිදුවීමත් දෙකක්ය. එය දෙකක් වන්නේ මෙනිසාය.
අම්පිටියේ සුමන හිමි ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට අනුබද්ධිත පුද්ගලයෙකුගේ අතකොළුවක් වීමට වැඩි ඉඩක් ඇති නිසාය. එසේ නොවන්නේ නම් චීවරයට හෝ බුද්ධාගමට හෝ ශ්‍රී ලංකාවේ නීතියට ඉහළින් සිටීමට කිසියම් වූ නිෂේධ බලයක් අපි නොදන්නා ආකාරයකට පැවරී ඇති නිසාය. අම්පිටියේ සුමන හිමිගේ මේ ජාතිවාදී, මිනිස්සුන්ව ප්‍රචණ්ඩත්වයට පොලඹවනසුලු ප්‍රකාශ හේතුවෙන් උන්වහන්සේ ICCPR පනත යටතේ අත්අඩංගුවට ගත්යුතු බවට මධ්‍යස්ථ මතධාරීන් කිසිවකු එකඟ නොවන්නේ යැයි මම සිතමි. එසේ වන්නේ පසුගිය සමයේ ICCPR පනත ක්‍රියාත්මකවූ සිදුවීම් දෙස විමසිල්ලෙන් බැලීමේදීය.
1966 මාර්තු මස බලාත්මක වීමෙන් පසු 1976 දෙසැම්බර් 16 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පාර්ශවකරුවෙකු බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.
1980 ජූනි 11 දින, ශ්‍රී ලංකාව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එකඟව එය අපරානුමත කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2007 වසරේ සිට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR Act ) දේශිය නීතියක් පාර්ලිමේන්තුවේ සම්මතව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම ආරම්භ විය. ICCPR සම්මුතියේ සඳහන් වන සිවිල් සහ දේශපාලන මානව අයිතීන් වලට ගෘහස්ථ නීතිය තුල (In domestic law) ආරක්ෂා කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
“දකුණේ ඉන්න සියලුම දෙමළ ජනතාව කප කපා සිංහල අපිත් මැරෙනවා” යනු ප්‍රකාශය, කළුතර හෝ මාතර ප්‍රදේශයේ පන්සලක වැඩම සිටින හාමුදුරු කෙනෙකු ප්‍රකාශ කිරීමෙන් රටේ ඇතිවන කලබලයට වඩා මඩකලපුව වැනි ප්‍රදේශයක සිවිල් යුද්ධයකටත් මුහුණ දෙමින් නොයෙක් තාඩන පීඩන මධ්‍යයේ දකුණේ සිංහලයාගේ අනුකම්පාවද දිනාගනිමින් දුර ඈත පන්සලක වැඩම සිටින අම්පිටිය සුමන වැනි හිමිනමක් ප්‍රකාශ කිරීම යනු ඉතාමත් භයානකයි සහ එම ප්‍රකාශයෙන් දකුණේ සිංහල බෞද්ධයන් ප්‍රකෝපවීමේ ප්‍රවණතාවය වැඩිය.
පොලිස් පොතේ ICCPR ඉතිහාසය
33 හැවිරිදි නවකතා රචකයෙකු වන ශක්තික සත්කුමාර 2019 අප්‍රේල් 1 වන දින අත්අඩංගුවට ගෙන, දින 130 කට පසු 2019 අගෝස්තු 8 වන දින ඇප මත නිදහස් කරන ලදී. “අර්ධ” නම් කෙටිකතාවක් ලියා සිය ෆේස්බුක් ගිණුමේ පළ කිර තිබීම හේතුවෙන් 2019 වසරේ අප්‍රේල් මස 01 වැනිදා ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන තිබුණි. කෙසේ වෙතත්, 2021 පෙබරවාරි 9 වන දින ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් කරන ලද්දේ නීතිපතිවරයා විසින් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට මෙම නඩුව විභාග කිරීමට හේතුවක් නොමැති බව පැවසීමෙන් පසුවය. මෙහි විශේෂත්වය වන්නේ ශක්තිකට විරුද්ධව සිදු වූ අසාධාරණකම් සියල්ලටම හේතුව පොල්ගහවෙල පොලීසියට භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් සිදුකළ පැමිණිල්ලක් පමණයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව පිළිබඳව සමස්ත ජනයා තුළ භීතියක් සහ සැකයක් ඇතිවීමට පටන් ගැනිණි. 2019 මැයි 17 වන දින පොලිසිය විසින් නැවක සුක්කානමක හැඩයක් සහිත ඇදුමේ ධර්ම චක්‍රය තිබුණා යැයි පවසමින් මහියංගනය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි මසාහිනා නමැති කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබුවේය.
මහියංගන පොලිසිය ඇයට විරුද්ධව නඩු පවරන්නේ ICCPR හි 3 (1) වගන්තිය යටතේ නිසා මසාහිනාට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට නොහැකි වන අතර ඇයට ඇප ලබාගැනීමට හැකි වන්නේ මහාධිකරණයෙන් පමණි. මසාහිනා බදුල්ල බන්ධනාගාරයේ රඳවා සිටි අවස්ථාවේ “ඇය බුද්ධාගමට අපහාස කළා යැයි සඳහන් කරමින් බන්ධනාගාර නිලධාරීන් සහ සෙසු රැඳවියන් විසින් ඇයට හිරිහැර සිදුවූ බවද” ඇයගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වේ. කෙසේ වෙතත්, මසාහිනා අත්අඩංගුවට ගත් දින පෙරවරුවේ මහජනතාවගෙන් පැමිණිලි රැසක් ලබාදුන් බව පොලීසිය පසුව සදහන් කළේය.
2020 අප්‍රේල් 09 වැනිදා රම්සි රාසික් නම් සමාජ ක්‍රියාකාරකයා අත්අඩංගුවට ගැනීමට හේතු වූයේ, ඔහු විසින් අප්‍රේල් 02 වැනිදා “මුස්ලිම්වරුන්ට විරුද්ධව සිදුවන සියලූ ජාතිවාදී ක‍්‍රියාකාරකම්වලට එරෙහිව මුස්ලිම්වරුන් මතවාදී යුද්ධයක් දියත් කළ යුතුයි’’ යන ෆේස්බුක් සටහනයි. මෙම සටහන යෙදූ විගස රම්සි රාසික්ට ෆේස්බුක් ඔස්සේ විශාල තර්ජන එල්ලවන්නට විය. ඔහු මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කළද අවසානයේ රම්සි යොමුකළ පැමිණිල්ල පිළිබඳ කිසිදු විමර්ශනයක් සිදු නොකර සිදුවූයේ ඔහු අත්අඩංගුවට ගැනීමයි. එය සිදුවූයේද රම්සිට තර්ජනය කළ පිරිසගේ පැමිණිල්ලක් මතය.
මෙහිදීද පොලිසිය රම්සිට එරෙහිව ICCPR පනත භාවිතා කළේය. දින 161කට ආසන්න කාලයක් සිරගතව සිටි රම්සි ඇප මත නිදහස් වූ අතර 2023 සැප්තැම්බර් මාසයේදී සියලු චෝදනාවලින් ඔහු නිදහස් විය.
මෙම සිදුවීම් දෙස සමීපයෙන් නිරීක්ෂණය කරන ඔබට මේ එකදු සිදුවීමක හෝ මනුෂ්‍ය ඝාතනයක් නොඑසේනම් වර්ගවාදී හිංසනමය ප්‍රකාශයක් හෝ වෙනත් ආකාරයක මනුෂ්‍යත්වයට එසේ නොමැති නම් ‘සිවිල් සහ දේශපාලන මානව අයිතිවාසිකම් වලට’ හිංසා කරන ආකාරයේ අන්තර්ගතයක් නොමැති බව දක්නට ඇත. එහෙත් සෘජුව දෙමළ මිනිසුන් ඝාතනය කළ යුතු යැයි පවසන අම්පිටියේ සුමන හිමිට ICCPR පනත ක්‍රියාත්මක නොවන්නේ මන්ද? දේශපාලනික උවමනාකම් වෙනුවෙන් ක්‍රියාත්මකවන ආගමික උවමනාකම් හේතුවෙන් සහ පුද්ගලික වාසි තකා නීතිය අවභාවිතා වනබව පෙන්වන්නට තවත් කරුණු උවමනාද ?
👉 අම්පිටියේ හිමිගේ අම්මගෙ සොහොන කැඩුවද ?
// අප මෙම චෝදනා සම්බන්ධයෙන් මඩකලපුව මහ නගර සභා කොමසාරිස් එන්. සිවලිංගම් මහතාගෙන් විමසීමක් සිදු කළේය.
“අම්පිටියේ හාමුදුරුවෝ කියන විදියට අපි කිසිම සොහොන් කැඩුවෙ නෑ. අවුරුදු විස්සක් විසිපහක් පරණ අතහැර දමා ඇති සුසාන භූමියක් එක. ඒකෙ තියෙන සොහොන් කොත් රැකබලා ගැනීමට තරම් මිනිස් බලයත් මේ ප්‍රදේශයේ නෑ. එම නිසාම ඒවා ස්වභාවිකවම කැඩී ගොස් තිබෙනවා. ඉතිං මෙහෙම අත ඇරලා දාපු ඉඩමට ජයන්තිපුර ප්‍රදේශයේම වෙනත් තැනක කඩා ඉවත්කරන ලද කාණු පද්ධතියක සුන්බුන් කිහිපයක් නැවතත් ගැනීමේ අරමුණෙන් ගෙනැවිත් දමා තිබුණා.
එලෙස සුන්බුන් දමාගිය අවස්ථාවේ එම සුසාන භූමිය ආසන්නයේ පිහිටි ජයන්තිපුර බෞද්ධ මධ්‍යස්ථානයේ භික්ෂුන් වහන්සේ නගර සභාවට පැමිණ එම සුසාන භූමියේ තිබෙන සුන්බුන් ඉවත් කර වැටක් ඉදිකර වෙනම සුසාන භූමියක් සිංහල ජනතාවට ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ඉන්පසු අප ඒ සඳහා මාසයක කාලයක් ඔවුන්ගෙන් ඉල්ලා තිබූ අතර පසුව දෙපිරිසම එකඟතාවයකට පැමිණ එම ප්‍රශ්නය සමථයකට පත්කරා. මෙසේ එකඟතාවයකට පැමිණි ප්‍රශ්නයක් තමයි යළිත් අම්පිටිය සුමන හිමියන් ඇවිස්සුවේ. එහි අම්පිටිය සුමන හිමිගේ මවගේ සොහොන තියෙනවා කියලවත් අපි දන්නෙ නෑ.”
එමෙන්ම එම ස්ථානය අපි පිරිසුදු කරන අවස්ථාවේ එහි තිබූ සොහොන් කිහිපයකට සුළු හානි සිදුවුණා. එය චේතනාවෙන් සිදුකළ දේවල් නොවේ. එමෙන්ම හාමුදුරුවන් චෝදනා කරන ආකාරයෙන් කිසිදු දේශපාලන මැදිහත් වීමක් එහි නොමැති බවත් එම සුසාන භූමියට මහනගර සභාවේ අනුමැතියකින් තොරව ගොඩනැගිලි අවශේෂ බැහැර කළ කොන්තරාත්තු භාරව කටයුතු කළ පුද්ගලයන් දෙදෙනකුට එරෙහිව මහ නගර සභාව පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර මේ වන විටත් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
// මේ බව අප ජයන්තිපුරම් බෞද්ධ මධ්‍යස්ථානාධිපති කඩහිරිගම තම්මසිරි හිමියන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ සඳහන් කළේ,
“සිංහල ජනතාවගේ සුසාන භූමිය පිහිටි ඉඩමට ගොඩනැගිලි අවශේෂ බැහැර කර සොහොන් කොත් කඩා දැමීම සම්බන්ධයෙන් පසුගිය 22 වැනිදා පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවත් පසුව එහි පැමිණි නාගරික කොමසාරිස්වරයා සිංහල ජනතාවගේ කොටසට වෙනම වැටක් ඉදිකර දෙන බවට සහතික වුණු බවත් සඳහන් කළා. එමෙන්ම සුමන හිමියන්ගේ මැදිහත්වීම පිළිබඳව විමසූ විට තම්මසිරි හිමි පැවසුවේ “ඔහුගේ මවගේ සොහොන යම් පිරිසක් විසින් විනාශ කළා නම් ඒ වෙනුවෙන් පොලිසියට පැමිණිලි කිරීම උන්වහන්සේගේ අයිතියක්” බවයි.
👉 පැමිණිළි සහ ශ්‍රී ලංකා පොලීසිය
අම්පිටිය හිමියන්, ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය ඇති කිරීම සම්බන්ධයෙන් කළුවාංචිගුඩි පොලිස් ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් ඉකුත් 29 වැනි දා කළුවාංචිගුඩි පොලිස් ස්ථානයට සහ
නීතිඥ දනුක රණංජක කහඳගමගේ විසින් ඉකුත් 27 වැනිදා පොලිස් මූලස්ථානයට අම්පිටිය හිමිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා.
// මේ සම්බන්ධයෙන් දනුක රණංජක මහතා පැවසුවේ,
“මම පසුගිය 27 වැනිදා පොලිස් මූලස්ථානයේදී උන්වහන්සේගේ මතයට එරෙහිව ICCPR පනත යටතේ පියවර ගන්නා ලෙස පැමිණිල්ලක් කළා. නමුත් පොලිසිය දිගින් දිගටම පරීක්ෂණ ප්‍රමාද කරන තත්ත්වයක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒ නිසා මේ හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගිය 6 වැනිදා පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.” යනුවෙනි.
// එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් විසින් පොලිස්පතිවරයාට ලිපියක් ලබාදී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් තම X පිටුවේ අම්පිටිය සුමන හිමිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඉකුත් 31වැනිදා සඳහන් කර තිබුණා. තවද, උතුරු නැඟෙනහිර ජනඅරගලය සඳහා වන සහයෝගිතා ව්‍යාපාරය අම්පිටියේ හිමිගේ ප්‍රකාශයට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් ද ලබා දී තිබුණා.
මේ පිළිබඳව නැඟෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින බවයි. තවද, එම වීඩියෝව උඩුගත කළ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ සහ වීඩියෝ සාක්ෂි ලබා ගැනීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් ඉතිරි කාරණා විමර්ශනයට පසු දැනුම් දෙන බවත් ඔහු පැවසුවේය.
අප මේ පිළිබඳව අම්පිටියේ සුමන හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ කියා සිටියේ “තමන්ගේ මවගේ සොහොන කඩා දමා ඇටකටු පවා එළියට ඇද දමා තිබූ ආකාරයක් දුටු බවත් එය දැකීමෙන් කනස්සල්ලට පත් වූ තිසාවෙන් තමා එසේ ආක්‍රමණශීලීව කතා කල බවත් එහි සිටි ෂානක්කියන්ගේ මාධ්‍යවේදීන් සහ මඩකලපුව පොලීසිය විසින් තමන්ව එවැනි ආකාරයේ කතා කිරීමට උසිගැන්වූ බවත් චෝදනා කළා. එමෙන්ම එම සුසාන භූමිය සම්පූර්ණයෙන්ම ඩෝසර් කර ඇති අතර එය චේතනාවෙන් සිංහල ජනතාවට විරුද්ධව සිදු කළ ක්‍රියාවක් බවත් සඳහන් කළා.
// මඩකලපුව මාධ්‍ය සංවිධානයේ ප්‍රධානී සහ එහි රූගත කිරීම් කරමින් සිටි මාධ්‍යවේදියෙකු වන බාලසිංහම් ක්‍රිෂ්ණකුමාර් සඳහන් කළේ.
“හාමුදුරුවෝ කියන විදියට අපි කවුරුත් හාමුදුරුවන්ව එහෙම කතා කරන්න පොළඹවා ගත්තේ නැහැ. තත්ත්වය පිළිබඳ තොරතුරක් ලැබුණු වහාම අපි එතනට ගියා. යනකොටත් උන්වහන්සේ පොලිසිය සමඟ ගැටුමක පැටලුණා. අපි හාමුදුරුවන්ට මොකුත් නොකියා සිද්ධිය රූගත කළා. එතකොට තමයි උන්වහන්සේ දෙමළ මිනිසුන්ව මරනවා කියලා තර්ජනය කළේ. එතන හිටපු පොලිස් නිලධාරියෙක් මේ ඔක්කොම වීඩියෝ කරගෙන හිටියා. පසුගිය 07 වැනිදා මම මඩකලපුව පොලිසියට ගිහින් කටඋත්තරයක් සහ වීඩියෝව දීලා ආව. හාමුදුරුයි පොලිසියයි උත්සාහ කරනවා ඒ වීඩියෝ එක පළකරපු මාව අපරාධකාරයෙක් විදිහට පෙන්නන්න. හැබැයි ඒ ප්‍රකාශය කරපු හාමුදුරුවෝ තවම නිදැල්ලේ ඉන්නවා.”
උක්ත කරුණු සියල්ල අවසානයේ නැගෙන ප්‍රශ්නය නම්, අම්පිටියේ සුමන භික්ෂුවක් වීම නිසාද නීතියේ ප්‍රමාදයක් සිදුවන්නේ? දමිළ හෝ මුස්ලිම් ජාතිකයෙකු විසින් අම්පිටිය සුමන විසින් සිදුකළ අදහස විග්‍රහ කළේනම් ගෙවෙන තප්පරෙන් ඔහු හෝ ඇය වෙත නීතිය ක්‍රියාත්මක නොවී තිබේද?
– ෂබීර් මොහොමඩ්
#AMPITIYA #ICCPR #Batticaloa












