spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අල්ලපු වැටේ ජාතික පාසලක් තියාගෙන කිලෝමීටර 45 ක් දුරින් පිහිටි මලියදේව ඉල්ලන ‘දොස්තර විහිලු‘ !

Must read

dr_list_3තමන්ගේ දරුවන් ජනප‍්‍රිය පාසල් සදහා ඇතුළත් කරගැනීමේදී අසාධාරණයක් සිදු වී ඇති බව කියමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංඛේත වැඩවර්ජනයක් දියත් කළේ පසුගිය 15 වැනිදාය. වෛද්‍යවරුන්ගේ වැඩවැරුම හේතුවෙන් ප‍්‍රතිකාර අපේක්ෂාවෙන් රෝහල් වෙත පැමිණි බඩදරු මව්වරුන්, ඉහ නිකට පැසුණු වැඩිහිටියන් සහ ළමා ළපටීන් ඇතුඵ රෝගීහු දහස් ගණනක් නොකළ වරදක් වෙනුවෙන් දඩුවම් ලැබූහ. පපුවේ අමාරුවට, සීනි වැඩිවුණාට, පෙසර් නැග්ගාට සහනයක් බලාපොරොත්තුවෙන් ඕපීඩියට හෝ කිලිනික් එකට ගොඩ වූ අහිංසක රෝගීන් ගණනාවකට පැනඩොල් පෙත්තක් හෝ නැතිව හිස් අතින්ම ගෙදර යන්නට සිදු විය. දොස්තර මහත්තුරු නොදන්නවා වුණාට මෙවැනි ඇතැම් රෝගීන් පෝලිම්වල ලැග තිබුණේ පාන්දර දෙකේ තුනේ සිටය. කලින් දා රාත්‍රියේ රෝහලට පැමිණ ලී බංකුවක් මත උක්කුටි වී රැය පහන් කළ රෝගීන්ද නොසිටියා නොවේ. තමන්ගේ දරුවන්ට හොදම පාසල නොදීමේ වරදට දොස්තර මහත්වරුන් පළිගත්තේ මෙවැනි අහිංසකයන්ගෙනි.

දොස්තර මහත්තුරුන්ගේ උවමනා එපාකම් පිරිමසාගනු පිණිස ලෙඩ්ඩුන් දඩුවම් ලැබූ පළමු වතාව මෙය නොවේ. තමන්ට වැඩි පඩි ඉල්ලා ඔවුහු ලෙඩ්ඩුන්ට අවුරුද්දකට දෙතුන් සැරයක්වත් දඩුවම් දෙති. තව මොනවා හෝ දීමනාවන් ඉල්ලන අවස්ථාවලදීත් කටවල් වහගෙන දඩුවම් විදීමට අපේ රටේ ලෙඩ්ඩුන්ට සිදු වී තිබේ. තමන්ට වැඩි පඩි ඉල්ලනවාට අමතරව රෝහල් ක්ෂේත්‍රයේ අනෙක් වෘත්තින්වල අයට පඩි වැඩි කරනවා සහ ඒ අයගේ වෘත්තිය තත්වයන් උසස් කරනවාට විරුද්ධවද අපේ රටේ දොස්තර මහත්වරුන් විසින් ලෙඩ්ඩුන්ට දඩුවම් දී තිබේ. මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිවත් දොස්තර මහතුන් සටනට බැස ඇති බැවින් අද හෙටම නැවත වතාවක් දඩුවම් විදීමට ලෙඩුන් තම තමන්ගේ ශරීර කූඩු සූදානම් කරගෙන සිටිය යුතුය.

දොස්තර මහත්තුරු විසින් ඒ අයගේ දරුවන් සදහා ඉල්ලා සිටින පාසල්වල නම් ගම් සහිත ලැයිස්තුවක් මුහුණුපොත ඔස්සේ මේ වන විට හුවමාරුවෙමින් පවතී. එම ලැයිස්තුව සත්‍ය එකක් නම්
දොස්තර මහත්තුරුන් විසින් කරන මේ ඉල්ලීම නම් අතිශය ආත්මාර්ථකාමී, අයුක්තිසහගත සහ අසාධාරණ ඉල්ලීමක් බව කණගාටුවෙන් වුවද කිව යුතුය.

පුදුමයකට මෙන් දොස්තරලා සියලු දෙනාම තමන්ගේ දරුවන් සදහා ඉල්ලා සිටින්නේ කුරුණෑගල පමණක් නොව වයඹ පළාතේ හොදම පාසල් දෙක වන මලියදේව විද්‍යාලය සහ මලියදේව බාලිකා විද්‍යාලය පමණි. ජාතික පාසල් ගණනාවක්ද ඇතුලුව කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ තවත් පාසල් බර ගණනක් පිහිටා ඇතත් දොස්තරලා විසින් ඒවා පාසල් ලෙස සලකන්නට සූදානම් බවක් පෙනෙන්නේ නැත. “නැත අන් සරණා – ඔබ හැර මෙමටා “යැයි මනමේ කුමරිය කීවා වගේය. අදෝමැයි !!

මලියදේව මත්තේ නැහෙන්නට හදන වෛද්‍යවරුන් ගණනාවක් අතරින් සාධාරණ සහ කාලෝජිතයැයි සැලකිය හැක්කේ ත්‍රිකුණාමලයේ, දඹුල්ලේ සහ ගල්ගමුවේ සිට ස්ථානමාරුවීම් ලැබ කුරුණෑගලට පැමිණ සිටින වෛද්‍යවරුන්ගේ තිදෙනෙකුගේ ඉල්ලීම් පමණි. ඒ හැර අන් සියලු වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සලකා බැලීමේදී උපදවන්නේ හාස්‍යයකි.

පහත දැක්වෙන ලැයිස්තුවලට අනුව පොල්පිතිගම දිසා රෝහලේ සිට පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ස්ථාන මාරුවීම් ලැබූ වෛද්‍යවරයෙකු ( හෝ වෛද්‍යවරියක )තම දියණිය තෙවැනි ශ්‍රේණියට ඇතුළත්කරගැනීම සදහා ඉල්ලා සිටින්නේ මලියදේව බාලිකා විද්‍යාලයයි. හාස්‍යයට කාරණාව වන්නේ ප්‍රදේශයේ ප්‍රමුඛතම පාසල වන පොල්පිතිගම ජාතික පාසලේ ප්‍රාථමික අංශය පිහිටා ඇත්තේ පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලට අල්ලපු වැටේවීමය. අල්ලපු වැටේ තිබෙන ජාතික පාසලේ සීනුව වදින හඩ පවා ඇසෙමින් තිබියදී ඊට කිලෝමීටර් 45 කටත් වැඩි දුරකින් පිහිටි මලියදේව බාලිකා විද්‍යාලයට දරුවා ඇතුළත් කරන්නයැයි ඉල්ලා වර්ජනය කළ වෛද්‍යවරුන්ගේ වර්ජනයේ සැබෑ තත්වය මෙයයි. පොල්පිතිගම පාසලත් ජාතික පාසලක්දැයි දොස්තර මහත්තුරු කල්පනා කරනවා විය යුතුය.dr_list_1

වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් අතර තවත් විහිලු සහගත කරුණු බොහෝය.

ස්ථාන මාරුවීම් ලබා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිට වෙනත් දිස්ත්‍රික්කයන් වෙත ගිය වෛද්‍යවරුන්ද පතන්නේ මලියදේව පමණකි. හරියට ඒ පළාත්වල පාසල් නැතිවා වගේය. ගලේවෙලට, දඹුල්ලට, කෑගල්ලට පමණක් නොව කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක් කෙලවරක පිහිටි නිකවැරටියට ගිය දොස්තර මහතැන්ලාද පොළවේ අඩි ගසමින් ඉල්ලන්නේද මලියදේවයමය.

තම දියණිය සදහා මලියදේව බාලිකා විද්‍යාලය ඉල්ලන තවත් දොස්තර නෝනෙකු ස්ථාන මාරුවීම් ලබා සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ සිට කුරුණෑගල ශික්ෂණ රෝහල වෙතය. කුරුණෑගල පුවක්ගස් හන්දියේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ සිට ඊට මදක් ඔබ්බෙන් වූ කුරුණෑගල ශික්ෂණ රෝහල පැය ගණනක් ගතවෙන, බස් හතර පහකින් ගෙවා දැමිය යුතු දීර්ඝ ගමනක් යා යුතු බැවින් මේ ඉල්ලීම අතිශය සාධාරණය. එබැවින් ස්ට්‍රයික් කරලා නොව ලෙඩ්ඩු දෙතුන් දෙනෙක් මරා දමලා හරි මෙවැනි සාධාරණ ඉල්ලීම් දිනාගන්නට දොස්තර මහත්තුරුන් කටයුතු කළහොත් කාටවත් ඒ ගැන කටක් අරින්නට බැරිය.

එකින් එකට විග්‍රහ කරන්නට බැරි මුත් පහත දැක්වෙන ලැයිස්තුව සීරුවෙන් නිරීක්ෂණයක් කළහොත් තවත් දොස්තර විහිලු ගණනාවක්ම එතුළින් සොයාගත හැකිය.dr_list_2

රටේ සියලු වෘත්තීන් එක සමානයැයි රටේ අගමැතිවරයා ප්‍රකාශ කර ඇති නමුත් මෙරට ජනතාව තුළ වෛද්‍ය වෘත්තිකයින් කෙරෙහි සුවිශේෂි ආදර ගෞරවයක් පවතින බව නොරහසකි. ඒ ඕනෑම කෙරුමෙකුට සියලු කෙරුම් අවසානයේදී පණ බේරාගැනීම පිණිස අන්තිමට යන්නට සිදුවන්නේ වෛද්‍යවරයෙකු ළගටවීමේ කාරණාවටත් වඩා වෛද්‍යවරයෙකු වීම යනු බුද්ධිමතුන් අතලොස්සකට පමණක් සුවිශේෂි කැපකිරීමක් හරහා පත්විය හැකි වෘත්තියක් වන බැවිනි. අසාධාරණයක් සහ අයුක්තිය දුටු විටෙක පොලිසිය, දේශපාලනඥයින්, රාජ්‍ය පරිපාලන නිලධාරීන් වැනි ඕනෑම තරාතිරමක අයෙකු සමග ගැටුම් ඇතිකරගන්නා මෙරට ජනතාව වෛද්‍යවරුන් කෙරෙහි තවමත් දක්වන්නේ ආචාරශීලී පිළිවෙතකි. එබැවින් මස් රාත්තල ඉල්ලනවා මදිවාට , ඒ මස් රාත්තලට කටු බටු නැති ගාත් කොටස්ම ඉල්ලන ආත්මාර්ථකාමී වෛද්‍ය වැඩ වර්ජන හරහා තමන්ට සුවිශේෂි ස්ථානය තවදුරටත් රැකෙනු ඇතිදැයි අපේ රටේ දොස්තර මහත්තුරු දැන් කල්පනා කළ යුතුය.

www.wayambatoday.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article