ආලෝකා සහ කලූ

0
26

 

ඇමරිකාවේ සිට මෙරටට පැමිණෙන , පෙර කාලයේ ඉන්දියාවේ වීදි සරණ සුනඛයෙකු වූ ” ආලෝකා” නම් සුනඛයා පිළිබඳව මේ දිනවල අප රට තුළ මහත් ආන්දෝලනයකට හා කතාබහකට ලක් වී තිබේ. ඒ එම සුනඛයාගේ විශේෂත්වය සහ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම මෙරටදි එම සුනඛයාගේ ආරක්ෂාව සැලසීම ආදී කරුණු කාරණා මූලික කරගෙනය

එලෙසම මේ වන විට රට තුළ ආලෝකා වැනි වීදි සරණ සුනඛයන් පිළිබඳවද යම් විමසුම් සහගත අවධානයකට ලක් වෙමින් තිබේ.

සමස්ත වීදී සරණ සුනඛයන් පිළිබඳව වඩාත් අවධානයට ලක්වන මෙවන් කාලයක , වසර 07 කට ටත් වඩා වැඩි කාලයක් මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේ , පාසල් පටුමගේ, වෙසෙන “” කලූ “” නමැති සුරතල් නාමයෙන් හඳුන්වන මේ අහිංසක සුනඛයාව සිය වාස භූමි ප්‍රදේශයෙන් අනීතිකව පන්නා දැමීමට එම පාසල් පටුමගේම වෙසෙන මනුසත් බවක් නොමැති පුද්ගලයෙකු කැසකවන සිද්ධියක් පිළිබඳව පසුගිය දිනවල එම පටු මගේ වෙසෙන බොහෝ දෙනෙකුගේ කතාබහට ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබිණි.

ඒ පිළිබඳව කළ සොයා බැලීමේදී ,වැඩිදුරටත් දැන ගන්නට ලැබුණු ආකාරයට කොරෝනා වසංගත සමයට මෙම සුරතල් සුනඛයාව , කුඩා සුනඛ පැටවකු සිටි කාලයේදී හදා වඩාගෙන ඇත්තේ ජර්මනීයේ සිට මෙරටට පැමිණ, මීගමුව ප්‍රදේශයේ කෙටි කාලයක් විසූ ජර්මන් ජාතික කාන්තාවක් විසිනි. පසුව මේ කාන්තාව නැවත ජර්මනිය බලා පිටත්ව යාමට පෙර මේ සුනඛයාව ජර්මනිය බලා රැගෙන යාමට කටයුතු කර තිබිණි. එහෙත් කුමන හෝ නීතිමය කරුණු කාරණාවන් ඉස්මතු වීම නිසා එම ජර්මන් ජාතික කාන්තාවට මේ සුනඛයාව , ජර්මනියට රැගෙන යාමට නොහැකි පසුබිමක් උදාවී තිබිණි.

අවසානයේ මේ සුනඛයාව මෙරට තනිකර දමා එම කාන්තාවට ජර්මනියට පිටත් වීමට සිදුවිය. එදා පටන් මෙරට ( මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේ ) අසරණ වූ මේ සුනඛයා, කොරෝනා වසංගත සමයත් සමඟ ඒත්තුකාල පාසල් පටුමග, සිය ස්ථීර වාස භූමිය බවට පත්කර ගත්තේය. එතැන් පටන් මේ සුනඛයා හැදී වැඩුණේ එම පාසල් පටුමගේ මනුස්සකම දත්, සතා සිවුපාවුන්ට ආදරය කරන ,විශේෂයෙන්ම වීදි සරණ සුනඛයන්ට සෙනෙහස කරුණාව දක්වන යහපත් මිනිසුන් කිහිපදෙනෙකුගේ පෝෂණය , ආදරය හා රැකවරණය තුළය..

එම කරුණාවන්ත යහපත් මිනිසුන් මේ සුනඛයාට අවශ්‍ය කෑම බීම පමණක් නොව විවිධ වූ රෝගාබාධයන් සඳහා බෙහෙත් හේත් වැනිි දේ පිළිබඳව සොයා බලා සපයන්නට වූහ. සමේ පැහැය කළු පැහැය නිසා මේ සුනඛයාට ඔවුන් විසින් “” කලූ “” යයි සුරතල් නාමයක් ද නම්පට බැඳීය.

එලෙස ,සත්වයන්ට කරුණා දක්වන මිනිසුන් පිරිසකගේ ආදරය සහ රැකවරණය මත පාසල් පටුමගේ වෙසෙන කළු නමැති මෙම සුනඛයාව එම ප්‍රදේශයෙන් , විශේෂයෙන්ම එම පාසල් පටුම⁣ගෙන් පන්නා දැමීමට හෝ ඉවත් කිරීමට එම පටුමගේම වෙසෙන පුද්ගලයෙකු මේ දිනවල විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටින බවට මෙහිදී අප වෙත දැන ගන්නට ලැබීණි.

දැනට මේ කලු නමැති සුනඛයා වෙසෙන්නේ එම පටුමගේ සංචාරක නිකේතනයක් ( ගෙස්ට් හවුස් එකක් ) ආසන්නවය. එම සංචාරක නිකේතනය ආසන්නව වෙසෙන හිතක් පපුවක් නොමැති මේ පුද්ගලයාගේ නිවසට විශාල මුදලක් වැයකර සමාජයේ සම්මත ව ඇති හොඳ වර්ගයේ යැයි කියන සුනඛයෙකු මිලදී ගෙන ඇත.

ඔහුගේ එම මිල අධික සුනඛයාට, කලු නමැති මෙම වීදි සරණ සුනඛයා නිතරම කේන්තියෙන් බුරන නිසා ඔහුගේ එම මිල අධික සුනඛයාට නිදහසේ සැරිසැරීමට නොහැකි වී තිබීම නිසා , මේ වීදි සරණ සුනඛයාව වහාම එම පාසල් පටුමගින් ඉවත්කර වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට කටයුතු කර තිබේ.

ඔහු මුලින්ම මේ සඳහා ප්‍රදේශයේ මත් ලෝලීන් දෙදෙනෙකු සූදානම් කර ඇතත්, ඔවුන් දෙදෙනා අතින් එය හරි හැටි ඉටු නොවීම නිසා, ඔහු මේ වන විට මීගමුව පොලිස් ස්ථානයට කලු නැමැති මෙම සුනඛයා පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ද දැන ගන්නට ලැබීණි. ඔහු එම පැමිණිල්ල මගින් ප්‍රකාශ කර ඇත්තේ කලු නමැති මෙම සුනඛයා මෙම පාසල් පටුමගේ රැඳීසිටීම, එම පටුමගේ වෙසෙන අයට බාධාවක් අපහසුවක් වී ඇති බවයි.

එමෙන්ම ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී මේ පටුමගේ වෙසෙන ඔහුට හිතවත් , පිරිසකගේ අත්සන්ද ලබාගෙන , පෙත්සමක් ලෙස මීගමුව පොලිසියට ඉදිරිපත් කර ඇති බවද එහිදී වැඩිදුරටත් දැනගන්නට ලැබිණි.

එහෙත් අපට දැන ගන්නට ලැබුණේ කලූ නමැති මේ සුරසල් අහිංසක සුනඛයාගෙන් එම පාසල් පටුමගේ වෙසෙන කිසිදු පුද්ගලයෙකුට කිසිදු කරදරයක් අපහසුතාවයක් සිදු නොවන බවයි. එහෙත් කලු නැමැති මේ සුනඛයා ,තවත් සුනඛයෙකු දකින විට බුරන ස්වභාවයක් දැකගත හැකි වන අතර එවැනි තත්ත්වයක් නිරෝගි සුනඛයෙකු සතු ස්වභාවික තත්ත්වයකි. එවැනි තත්ත්වයක් හැරෙන්නට මේ සුනඛයාගෙන් එම ප්‍රදේශවාසීන්ට කිසිදු හිරිහැරයක් හෝ කරදරයක් නොවන බව එම පටුමගේ බොහෝ දෙනකුගේේ අදහස වී තිබේ .

කෙසේ වෙතත් අපට දැන ගන්නට ලැබුණු පරිදි මෙරට සත්ව හිමිකම් සහ සත්ව අයිතිවාසිකම් පිළිබඳ වූ නීති රීති සංග්‍රහයක් පවතී. ඒ අනුව
යම් පාරක , මාවතක, පටු මඟක හෝ වෙනත් පොදු ස්ථානයක් ආශ්‍රිතව වෙසෙන වීදි සරණ සත්වයෙකු විශේෂයෙන්ම වීදි සරණ සුනඛයෙකු, එම සත්වයා වෙසෙන, සහ එම සත්වයාට හුරු ස්ථානයකින් හෝ ප්‍රදේශයකින් තවත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට රැගෙන යාම හෝ පන්නා දැමීම සහ පන්නා දැමීමට උත්සාහ කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එමෙන්ම එය සත්ව හිමිකම් සහ සත්ව අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව දඬුවම් ලැබිය හැකි වරදකි.

සාමාන්‍ය ජන ජීවිතයට තර්ජනයක් , අවදානමක් නොමැතිව අහිංසකව වෙසෙන වීදි සරණ සුනඛයෙකු , එම සත්වයාට හුරු ප්‍රදේශය හෝ ස්ථානයෙන් , නුහුරු ප්‍රදේශයකට හෝ ස්ථානයකට රැගෙන යාම හෝ පන්නා දැමීමට කටයුතු කිරීම තුළ එම සත්වයාට මුහුණ දීමට සිදුවන අසරණභාවය සහ අපහසුතාවය පිළිබඳව වචනයෙන් පවා විස්තර කළ නොහැකිය.එවන් ශෝචනීය අසරණ තත්ත්වයකට ම වීදි සරණ සුනඛයෙකු පත්කිරීම ඇත්තෙන්ම ස්වභාව ධර්මය පවා නුහුලන තිරිසන් ක්‍රියාවකි. උතුම් වූ මනුෂ්‍ය ස්වභාවයට නිගා දෙන අමනුෂ්‍ය ක්‍රියාවකි. එමෙන්ම එය විශාල පාපයකි.
එවන් තත්ත්වයක් තුළ උතුම් වූ මිනිසත්කමට පවා නිගා දෙමින් පොලිසිය සහ නීතිය තමන්ගේ සාක්කුවේ යැයි සිතමින්, කටයුතු කරන පුද්ගලයෙකුගේ පටු පෞද්ගලික අදහසකට කලූ නමැති මේ අහිංසක සුනඛයා පිළිබඳව මීගමුව පොලිසිය ඉදිරි කාලයේදී ගන්නා වූ ක්‍රියා මාර්ගය පිළිබඳව සතුන්ට ආදරය කරන විශේෂයෙන්ම වීදි සරණ සුනඛයන් පිළිබඳව උනන්දුවක් දක්වන මීගමු ජනතාව සමඟ අපද මහත් වූ විමසිල්ලෙන් බලා සිටින පමණක් පැවසිය යුතු වෙමු.

ස්ටීවන් ප්‍රනාන්දු
ඒත්තුකාල , මීගමුව. .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here