ඉන්ධන මිල අඩු වුවද එහි වාසිය ජනතාවට ලබා ගැනීම ගැටලුවක් ???

0
471

 

ඊයේ මධ්‍යම රාත්‍රී සිට එනම් අද අලුයම (01/09/2025) රජය විසින් ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව මෙතෙක් රු. 305 .00 ක් වු ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6.00 කින් අඩු කර ඇති අතර එහි ලීටරයක නව මිල රු. 299.00 ක් බවට පත්වී තිබේ.
එහෙත් අද උදෑසන සිට මීගමුව, නගරයේ සහ ඊට සදාසන්නව ඇති ඉන්ධන පිරවුම්හල් කිහිපයක ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් තොග අවසන් බවත්, ඔක්ටේන් 92 පෙට්‍රල් නොමැති බවත් ප්‍රකාශ කර තිබූ බවට වාර්තා වුණි. එහිදී මීගමුව නගරයේ සහ ඊට අසන්නම ප්‍රදේශවල පිහිටි සමහර ඉන්ධන පිරුම්හල්වල ඔක්ටෙන් 92 පෙට්‍රල් කිසිදු ගැටලුවකින් තොරව පාරිභෝගිකයන් වෙත ලබා දී තිබේ. නමුත් සමහර ඉන්ධන හල් වල ඔක්ටෙන් 92 පෙට්‍රල් නොමැති බව හෝ ඉන්ධන තොග අවසන් බව දැනගත් බොහෝ පාරිභෝගිකයන් යුහුසුළුව ඔක්ටෙන් 92 පෙට්‍රල් නිකුත් කරන පිරවුම් හල් සොයා ගොස් එම ඉන්ධන හල් අසල පෝලිම් ගැසී සිටින ආකාරය දැක ගත හැකි විය. විශේෂයෙන් යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සමගින් පැමිණි බොහෝ පිරිසක් ඔක්ටේන් 92 පෙට්‍රල් අලෙවි කරන ඉන්ධන හල් අසල තම රථ වාහන හා යතුරුපැදි තබාගෙන සිටින ආකාරයද අද උදෑසන සිට දැකගත හැකි විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොහෝ දෙනකු ප්‍රකාශ කළේ සමහර ඉන්ධන හල් හිමියන් ඉන්ධන මිල වැඩිවීමේදී කිසිදු ගැටලුවකින් තොරව තමන් සතු ඉන්ධන තොග පාරිභෝගිකයාට නිකුත් කිරීමට පෙලඹෙන නමුත්, ඉන්ධන මිල අඩුවීමේදී තමන් සතු ඉන්ධන තොග නිසි ලෙස පාරිභෝගිකයාට නිකුත් නොකරන බවයි. එමෙන්ම තවත් පිරිසක් ප්‍රකාශ කළේ ඉන්ධන හල් තුලින් පාරිභෝගික ජනතාවට ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව නිසි ලෙස සොයා බැලීම සඳහාත් ඉන්ධන හල් විමර්ශනය කිරීම සඳහා රජයට මෙතෙක් කිසිදු අදහසක් හෝ නොමැති බවයි.

සමහර ඉන්ධන හල් හිමියන් බොහෝ වෙලාවට මිල ගණන් අඩුවේ යැයි සිතා ඉන්ධන තොග සාමාන්‍ය පරිදි ඇනවුම් නොකරන බවද දැනගන්නට ලැබීණි.
කෙසේ වුවත් මෙවැනි තත්ත්වයක් තුළ පීඩාවට හා අපහසුතාවයට පත්වන්නේ පාරිභෝගික ජනතාවයි. ඉන්ධන මිල අඩුකිරීමෙන් රජය විසින් ලබාදෙන එම වාසිය පාරිභෝගියාට කරදරයකින් හා අපහසුතාවයකින් තොරව ලබාගැනීමට මෙවැනි තත්ත්වයක් තුළ බාධාවන් මතුවෙයි. එය පාරිභෝගිකයාට සිදුවන විශාල අසාධාරණයකි. එලෙසම මෙවැනි තත්ත්වයක් තුළ පාරිභෝගිකයාට අවශ්‍ය දෛනික ඉන්ධන ලබා ගැනීමට නොහැකිව, සමහර අවස්ථාවලදී තමන්ට දුරින් පිහිටි ඉන්ධන හල් වෙත ගොස් පෝලිමේ සිට ඉන්ධන ලබාගත යුතු ඇති නිසා පාරිභෝගිකයන්ගේ වටිනා කාලයද ඒ සඳහා කැප කිරීමට සිදුවන අතර ,මෙවැනි තත්ත්වයක් තුළ පාරිභෝගික ජනතාව දැඩි ලෙස පීඩාවකට හා අපහසුතාවයකට පත්වන බවද සඳහන් කළ යුතුව ඇත.
තවද මෙවන් තත්ත්වයක් තුල ඔක්ටේන් 92 පෙට්‍රල් ගැටළුවකින් තොරව නිකුත් කල ඉන්ධන හල් වල තිබූ සම්පූර්ණ ඉන්ධන තොග මේ වන විට අවසන් වී තිබේ . ඒ නිසා සමහර පාරිභෝගිකයන්ට සිදුවී ඇත්තේ තම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ඔක්ටේන් 92 වෙනුවට වැඩි මුදලක් වැයකර ඔක්ටේන් 95 පෙට්‍රල් මිලදී ගැනීමටය
අද දහවල් වන විටද සමහර ඉන්ධන පිරවුම් හල් අසල පෝලිම් තත්වයක් දක්නට ලැබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here