අද, සවස, (02/06/2025) කටාන, ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේදී එම ප්‍රාදේශීය සභාවේ නවක සභාපතිනිය ලෙස ඉලංදාරිපුරදේවගේ නිෂානි ඉරේෂා ජයකොඩි මහත්මිය සිය රාජකාරී ආරම්භ කළාය.
කදිරාන, ශ්‍රී විජයාරාමාධිපති, ගරු අඬිඅම්බලමේ මහානාම හිමියන්ගේ සහ අක්කරපනහ, ජේසු නිකායික පූජක නිවසේ ගරු පැට්‍රික් ස්ටීවන් ප්‍රනාන්දු පියතුමාගේ ආගමික වතාවත් වලින් අනතුරුව ඇය සිය සභාපති තනතුරේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළාය.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි, කටාන ප්‍රාදේශීය සභාවේ ලේකම් එම්.ඒ.එස්.සමන්ත සහ එහි උප සභාපතිවරයා ලෙස නම් කර ඇති අජිත් ප්‍රියදර්ශන යන මහත්වරුන්ද සහභාගි වූහ.
එලෙසම ,කටාන ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ ජන බලවේග පක්ෂයේ මන්ත්‍රී කඩ්ඩායමේ සාමාජික සාමාජිකාවන්ද, එම ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයේ පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
1984 වසරේ ජනවාරි මස 05 වැනි දින කටාන ,ප්‍රදේශයේදී උපන් නිෂානි ඉරේෂා මහත්මිය ,මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ආදි සිසුවියකි. උසස් පෙල අධ්‍යාපනයෙන් පසු ජනසන්නිවේදන මාධ්‍ය පිළිබඳව විවිධ වූ ඩිප්ලෝමා පාඨමාලාවන් හදාරා ඇති ඇය මාධ්‍යවේදිනයක් ලෙස ජනමාධ්‍යයන් කිහිපයකම වසර ගණනාවක් කටයුතු කර ඇත. විශේෂයෙන්ම මෙරට ප්‍රකට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන ලාල් හේමන්ත මාවලගේ මහතා යටතේ, ජාතික රූපවාහිනියේත්, සියත පෞද්ගලික රූපවාහිනි නාලිකාව තුළත් ඇය මාධ්‍යවේදිනීයක ලෙස සේවය කර ඇත.
දරුවන් තිදෙනකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් දියණිය ලෙස ඇය දේශපාලනයට අත්පොත් තබන්නේ සිය පියාගේ දේශපාලන දැනුම සහ ආභාෂයෙනි.
එලෙසම සිය සැමියා වන දුෂ්මන්ත විශ්වජිත් මහතාගේ දේශපාලන ආභාෂය සහ මූලිකත්වයෙන් මෙන්ම ඔහුගේ අප්‍රතිහත සහයෝගය මත ඇය පසුකාලීනව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුනාය.
මීට වසර 03 කට පමණ පෙර ජාතික ජන බලවේග (NPP) පක්ෂයට සම්බන්ධ වූ ඇය ප්‍රථම වතාවට පළාත් පාලන මැතිවරණයකට තරඟ කළේ පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණය සඳහායි.
එහිදී ඇය කටාන ප්‍රාදේශීය සභාවේ, කඳවල කොට්ඨාශය නියෝජනය කරමින් තරඟ කළාය. එහිදී පක්ෂයේ බහුතර කැමැත්ත මත ඇය කටාන ප්‍රාදේශීය සභාවේ නව සභාපතිනිය ලෙස තේරී පත්විය.