කන්ටේනර් රථයට ගිනි තැබුවේ යැයි සැක 12 දෙනෙකුට ඇප …

0
98

 

පසුගිය 30 වැනි දින (30/07/2026) අලුයම් කාලයේ මීගමුව, බෝලවලාන-කදිරාන ප්‍රදේශයේ බී.සී.අයි. (BCI) නැමැති පෞද්ගලික විශ්ව විද්‍යාලය ආසන්නයේ අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදි 02 ක කන්ටේනර් රථයක් ගැටි
තරුණයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබිණි. ඉන් පසුව එම සිද්ධියට සම්බන්ධ කන්ටේනර් රථයට ගිනි තබා අලාභ හානිද සිදු කර තිබණි. එලෙස එම කන්ටේනර් රථයට ගිනි තබා අලාභ හානී සිදු කළ කළ බවට චෝදනා ලත් සැකකරුවන් 12 දෙනෙකු කටාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ දින (03/07/2026) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබණි. එහිදී මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා ඉදිරියේ පවත්වන ලද පෙරට්ටුවේදී සාක්ෂිකරු විසින් කිසිදු සැකකරුවකු හඳුනා නොගන්නා ලදී.

මෙම සිද්ධියට සම්බන්ධව සැකකරුවන් 03 නෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද තවත් සැකකරුවන් 09 දෙනෙකු ඇතුළු සැකකරුවන්
12 දෙනකු මෙම පෙරට්ටුවට ඉදිරිපත් කර තිබණි. ඒ අනුව ,මෙම සැකකරුවන් 12 දෙනා මෙදින මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය වෙත ඉදිරිපත් කළ පසු අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් එක් කණ්ඩායමකට සැකකරුවන් 04 දෙනා බැගින් , පෙරට්ටු 03 ක් පවත්වන ලෙසට නියෝග කලාය.

මෙම පෙරට්ටුවේදී හඳුනා ගැනීම සඳහා සාක්ෂිකරුවන් 02 නෙකු කටාන පොලිසිය විසින් නම් කල අතර එහෙත් මෙම අවස්ථාවේ පෙරට්ටුවට ඉදිරිපත් වූයේ එක් සාක්ෂිකරුවකු පමණි. එම සාක්ෂිකරු විසින් සැකකරුවන් 12 දෙනාගෙන් එක් අයකු හෝ මෙම පෙරට්ටුවේදී හඳුනා ගෙන නොතිබිණි.

පසුව මෙම සැකකරුවන් 12 දෙනා කටාන පොලිසිය විසින් මීගමුව , අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය වෙත විවෘත අධිකරණයේදී ඉදිරිපත් කළහ. ,එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දන්ත නිරන්ජන මහතා පැවසුවේ මෙම සැකකරුවන්ගෙන් බොහොමයක් මියගිය දෙදෙනාගේ ඥාතීන් බවත්, ඔවුන්ට මෙම ස්ථානයේදී කලබලයක් ඇති කිරීමට හෝ කිසිදු විනාශයක් සිදු කිරීමට හෝ අවශ්‍යතාවයක් නොතිබූ බවයි. එම අවස්ථාවේදී එහි ඇතිවූ තත්ත්වය දැකබලා වේදනාවෙන් සිටියා මිස මෙම අය කිසිදු කලබලයකට සම්බන්ධ වී නැති බවත් .එබැවින් ඇප ආඥා පනතේ තිබෙන ආකාරයට මොවුන්ව සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවත් සඳහන් කළේය. එලෙසම එහිදී වැඩිදුරටත් ජ්‍යෙෂ්ඨ නීතිඥ දන්ත නිරන්ජන් මහතා පැවසුවේ විමර්ශන වලට කිසිදු බාධාවක් නොකරන බවත් , ඒ සඳහා අවශ්‍ය සහය දක්වන බවට මෙම අය ඉදිරිපත් වන බවයි

මෙහිදී ප්‍රකාශයක් කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කලේ , යම් කිසි දෙයක් සිදුවු විට කිසිදු අයෙකුට නීතිය අතට ගෙන කටයුතු කරන්නට නොහැකි බවත් සිදු කර ඇත්තේ විශාල හානියක් බවත්, මෙවැනි දේවල් සමාජයේ සිදු වුව හොත් යම් කිසි සිද්ධියකින් පසු මෙවැනි දේ අනුමත වුව හොත් ඒවා පූර්ව ආදර්ශ බවට පත්වෙන බැවින් මෙවැනි ක්‍රියා අධිකරණය අනුමත නොකරන බවයි. අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළේ මෙම සාක්ෂිකරුද මෙම ස්ථානයේ නොසිටිය කෙනෙකු බව පොලිසිය විසින් සඳහන් කර ඇති බැවින් සිද්ධිය වන අවස්ථාවේ එම ස්ථානයේ නොසිටි කෙනෙක් සාක්ෂිකරුවකු වුවහොත් ඔහුට කිසිවකු හඳුනාගන්ට හැකිද යන්නයි .
මේ අවස්ථාවේ සියලුම කරුණු සලකා බලා එක් අයෙකුට රුපියල් ලෂ්ස පහ 05 බැගින් වන ශරීර ඇප 02ක් මත, සැකකරුවන් 12 දෙනාව රුපියල් ලක්ෂ 120 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.
එලෙසම අගතියට පත් පාර්ශවයට කිසිදු හිංසනයක් නොකරන ලෙස ට සැකකරුවන්ට අවවාද කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය යම් සිද්ධියක් වාර්තා වුවහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කරන බවද එහිදී දන්වා සිටියාය.
මෙලෙස එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප 02 ක් මත මුදාහරනු ලැබුවේ, පසිඳු චන්ද්‍රසිරි ,නිමේෂ මධුසංක, මාලිංග ප්‍රනාන්දු,ධනුෂ්ක ප්‍රභාත්,ජනිදු සත්සර ,නෙත්මින බුලත් සිංහල,දීපාල් වසන්ත ,සසික උදයංග,
මලිදු සම්පත් ,ආකාස බණ්ඩාර , ෂෙහාන් රශ්මිත,මනෝජ් ප්‍රනාන්දු, යන දාගොන්න සහ කිඹුලපිටිය ප්‍රදේශවල පදිංචි 12 දෙනෙකි.

කටාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක ප්‍රියන්තලාල් ,සැරයන් ලලිත් කුමාර, සැරයන් නාමල්,යන නිලධාරින් විසන් මෙම සිදුවීමට අදාළ පැමිණිල්ල මෙහෙයවූූ අතර සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ දන්ත නිරන්ජන සහ අලාභ හානියට පත් කන්ටේනර් රථයේ අයිතිකරු වෙනුවෙන්
ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා පෙනී සිටියේය
මෙම නඩුවට අදාළව නැවත විභාගය එළඹෙන සැප්තැම්බර් 02 වෙනි (02/09/2026) දිනට කල් තබන ලදී.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here