කරවල නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමාණයට ලුණු නොලැබීම සහ ලුණු වල මිල අධික ලෙස ඉහළ යෑම නිසා මීගමුව කරවල ව්‍යාපාරිකයන් දැඩි දුෂ්කරතාවයකට ලක්වී තිබිණි.
එහිදී මීගමුව භාරව කටයුතු කරන සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා දින 10 ක කාලයක් ලබා දෙන ලෙසත්, එම දින 10 ඇතුළත පෞද්ගලික ආනයනකරුවෙක් හරහා ලුණු ආනයනය කර හෝ මීගමුවේ කරවල නිෂ්පාදනය කරන අය වෙත ලබා දෙන බවට ප්‍රකාශ කර තිබුනේ මාර්තු 26 වෙනිදාය.
ඒ අනුව මීගමුව, ධීවර දෙපාර්තමේන්තු කාරයාලයේ ලියාපදිංචි සමිති 05 ක් සහ ලියාපදිංචි නොවූ තවත් සමිති 03 ක් ද ඇතුළුව කරවල නිෂ්පාදනයේ යෙදී සිටින සමිති 08 ක් සඳහා පෞද්ගලික ආනයනකරුවෙකු ලවා කිලෝ ග්‍රෑම් 50 ඇසුරුම් 500 ක් අඩංගු කන්ටේනරයක් බැගින් කන්ටේනර් 07 ක් මේ වන විට ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇතැයි වාර්තා විය.. එම කන්ටේනර් 07 න් , කන්ටේනර් 06 ක ඇති ලුණු කිලෝ ග්‍රෑම් 2500 ක් මෙම කරවල නිෂ්පාදනය කරන අය වෙත ලබාදීමට සැලසුම් කර ඇති බවද එහිදී වැඩිදුරටත් වාර්තා වුනි.
එහෙත් එම ලුණු තොගය වරායේ රඳවාගෙන ඇති බවත් ඒවා කරවල ව්‍යාපාරිකයන් වෙත ලබාදීමට උත්සුක නොවන බවත් පවසමින් මීගමු ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයන් විසින් පසුගිය දෙසතියේදී විවිධාකාරයේ මැසිවිලි නගන්නට විය. එහිදී බොහෝ කරවල ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළේ මේ වන විට එම ලුණු තොගය පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන බව වාර්තා වූ බවද සඳහන් කළේය.
එනම් මෙම ලුණු තොගයේ ආසනික් නැමති විෂ රසායනය ඇති බවට සැකයක් ඇතිවී ඇති බවත්, ඒ පිළිබඳව පරීක්ෂණයක් කර නිගමනයකට එළඹෙන තුරු මෙම ලුණු තොගය කරවල ව්‍යාපාරිකයන් හට ලබා නොදෙන බවත් එම ව්‍යාපාරිකයන් වැඩිදුරටත් අප වෙත පැවසූහ.
එහෙත් එම සිදුවීම ද සිදුවී දැන් සතියක් පමණ කාලයක් ගත වී තිබේ.
එහෙත් එම ලුණු තොගය කරවල නිෂ්පාදනය කරන අය වෙත ලබාදීමක් හෝ එම ලුණු තොගය වෙනුවට වෙනත් ලුනු තොගයක් හෝ ඉන්දියාවෙන් ආනයනය කර කරවල ව්‍යාපාරිකයන්ට ලබාදීමට මෙතෙක් කිසිදු වගකිවයුත්තෙක් උත්සුක වී නොමැති බවද මීගමු කරවල ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරති.
ලුණු නොමැති වීම නිසා මීගමුව තුළ කරවල වේලීමේ ව්‍යාපාරය අඛණ්ඩව නිසි ලෙස සිදු කිරීමට නොහැකි වන බවත් පවසන කරවල ව්‍යාපාරිකයන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඉදිරි සතිය ඇතුළත හෝ කරවල නිෂ්පාදනය සඳහා සුදුසු ලුණු තොග නිසි ලෙස නොලැබුණහොත් තම කරවල නිෂ්පාදන කටයුතු නවතා දැමීමට සිදු වන බවයි.